ඇතැම් භික්ෂුන් වහන්සේලා අද ප්රශ්න විසඳ ගැනීමට උත්සාහ කරන්නේ පාරට බැහැලා ඇඟේ හයියෙන් බව අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි දර්ශනපති බලපිටියේ සිරි සීවලී නාහිමියෝ පවසති.
භික්ෂුන් වහන්සේ නමක් තුළ වීර්යය වැඩිවෙලා සමාධිය අඩු වුණොත් මහා කලබලකාරී උද්දච්ච චරිතයක් ගොඩ නැගෙන බවද උන්වහන්සේ කීහ.
ලේඛකාධිකාරි නාහිමියන් මේ බව පැවසුවේ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති පූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල් නායක ස්වාමින්ද්රයන් වහන්සේගේ ආදහන පූජෝත්සවයේදීය. මෙහිදී සිරිසීවලී නාහිමියන් මෙසේද පැවසූහ. කැප්පිටියාගොඩ සිරිවිමල අනුනායක ස්වාමින්ද්රයන් වහන්සේ තමන් නියෝජනය කළ සංඝ සමාජයටත් ගිහි සමාජයටත් අත්යවශ්යය චරිතයක් වුණා. හාමුදුරුවරු අවශ්යය වුණාට හැම හාමුදුරුවරු නමක්ම ගිහි සමාජයටත් පැවිදි සමාජයටත් අත්යවශ්යය වෙන්නේ නැහැ. හාමුදුරු නමක් අත්යවශ්යය වෙන්නේ නැත්නම් උන්වහන්සේ තමන් නියෝජනය කරන සංඝ සමාජයෙන් වගේම ගිහි පින්වතුන්ගෙනුත් මග හැරෙනවා. නමුත් අවුරුදු 95 ක ජීවිත කාලය තුළ සිරිවිමල නායක ස්වාමින්ද්රයන් වහන්සේ තමන් නියෝජනය කළ සංඝ සභාවට වගේම ගිහිදායන මහ සමාජයටත් අත්යවශ්යය වුණා. කොහොමද හිමිනමක් අත්යවශ්යය වෙන්නේ. ඒ සඳහා භික්ෂුවකට කරුණු හතරක් සමතුලිත කර ගැනීම සිදු වෙනවා. මුලින් ශ්රද්ධා සහ ප්රඥා සම්පත්තිය සමබර කර ගන්න ඕන.
පැවිදි ජීවිතයේදී ශ්රද්ධාව වැඩි වෙලා ප්රඥාව අඩු වුණොත් මහා මෝඩ චරිතයක් හැදෙනවා. අනෙක් පැත්තෙන් ගත්තම ප්රඥාව වැඩිවලො ශ්රද්ධාව අඩු වුණොත් ගොඩ නැගෙන්නේ මහා කපටි චරිතයක්. පන්සලේ ලොකු හාමුදුරුවෝ කපටි හෝ මෝඩ චරිතයක් වුණොත් ඒ හාමුදුරුවන්ට කවුරුවත් සලකන්නේ නැහැ.උන්වහන්සේ අත්යවශ්යය වෙන්නෙත් නැහැ. අපේ කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් මේ ශ්රද්ධාවයි ප්රඥාවයි සමාන කරගත් නිසා උන්වහන්සේගේ අවුරුදු 95 ක ජීවිතය තුළ කිසිම මෝඩ වැඩක් හෝ කපටි වැඩක් කළේ නැහැ. හාමුදුරුනමක් ආධ්යාත්මක වශයෙන් තමන්ගේ සමාධිය දියුණු කරගන්න ඔ්න. ඊළඟට ශාසනික කටයුතු කරන්න වීර්යය වඩන්න ඔ්න. බැරි වෙලාවත් සමාධිය වැඩිවෙලා වීර්යය අඩු වුණොත් මහා අලස කම්මැලි චරිතයක් හැදෙනවා. ගොඩක් පින්වතුන් හිතාගෙන ඉන්නේ හාමුදුරුවරු හරිම කම්මැලියි කියලා. පන්සලට එන්නේ නැති මිනිස්සු හිතාගෙන ඉන්නේ හාමුදුරුවන්ට දානේ ටික ලැබෙන නිසා හැම වෙලාවෙම සැතපිලා ඉන්නවා කියලා. එහෙම චරිතත් ඉන්නවා.
කැප්පිටියාගොඩ අනුනාහිමියන් සමාධියයි වීර්යයයි සමාන කරගත් නිසා කවදාවත් කම්මැලි චරිතයක් වුණේ නැහැ. හිමිනමකගේ වීර්යය වැඩිවෙලා සමාධිය අඩු වුණොත් මහා උද්දච්ච කලබලකාරී චරිතයක් හැදෙනවා. අද වර්තමානයේ දකින ඇතැම් භික්ෂු චරිත ප්රශ්න විසඳගන්න හදන්නේ පාරට බැහැලා ඇඟේ හයියෙන්. එහෙම චරිත මහ සමාජයෙන් මග හැරෙනවා. මම හිතන්නේ සිරිවිමල නාහිමියන්ගේ චරිතයෙන් මා දකින හොඳම ආදර්ශය තමයි හිමිනමක් රාජරාජ මහාමාත්යාධින් හා දේශපාලනඥයින් සමඟ ඇසුරු කරන්නේ කොහාමද කියක එක. ඒ වගේම ජාතික, ආගමික හා ශාසනික වශයෙන් ව්යසනයක් විපතක් අර්බුදයක් ආවම ඒවා ඔවුන් සමඟ විසඳගන්නේ කොහොමද කියක එක. රටේ ජාතික ප්රශ්න වලදී උන්වහන්සේ නොබියව අදහස් දැක්වූවා. නමුත් කවදාවත් කලබල වෙලා උද්ඝෝෂණ කරන්න, පාරේ බැහැලා පාගමන් යන්න, හන්දි ගානේ බෝඩ් අල්ලගෙන පිකට් කරන්න ගියේ නැහැ. අතීත මහා භික්ෂු චරිත වීර්යය හා සමාධිය සමතුලිත කරගත් නිසා මහා සමාජයේත් රට කරවන ප්රධාන ඇත්තන්ගේත් සිත් දිනා ගනිමින් ශාසනික අර්බුද වලට විසඳුම් ලබා ගත්තා.
