අහිංසක පුරවැසියන්ට පදනම් විරහිතව හා අසත්ය ලෙස නඩු නොපවරන ලෙසට සමස්ත පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් චක්රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා වෙත යළි නියෝගයක් නිකුත් කරන ලෙස පොලිස් නීති කොට්ඨාසය කළ ඉල්ලීම ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා අද (22) ප්රතික්ෂේප කළා.
විනිශ්චයකාරවරයෙකු විසින් එක්වරක් ප්රකාශයට පත් කළ නියෝගයක් නැවත වෙනස් කිරීමට එම විනිශ්චයකාරවරයාටම කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව අවධාරණය කරමින් මහේස්ත්රාත්වරයා මෙම තීරණය ගනු ලැබුවා.
පොලිස් නීති කොට්ඨාසය විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා පෙරවරුවේ ඉදිරිපත් කරන ලද මෝසමකට අනුව මෙම නඩුව අද පස්වරුවේ විශේෂයෙන් කැඳවනු ලැබුවා.
එහිදී පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් නීති කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී නිලුපුල් සෝමසිංහ මහතා සමඟ ප්රධාන පොලිස් පරීක්ෂක ප්රණීත ජයවර්ධන සහ පොලිස් පරීක්ෂක කෞෂික පෙරේරා ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී කරුණු දැක්වූ පොලිස් නීති කොට්ඨාසයේ අධ්යක්ෂවරයා අධිකරණයෙන් ප්රධාන ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කළ අතර එහිදී ඔහු සදහන් කළේ, මෙම නියෝගයට පාදක වූ අදාළ නඩුවල සහතික කරන ලද පිටපත් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසයි.
එමෙන්ම සාමාන්ය පුරවැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු නොපවරන ලෙස සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා වෙත නැවත වරක් නියෝගයක් නිකුත් කරන ලෙස අධ්යක්ෂවරයා අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළා.
එම ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා පෙන්වා දුන්නේ මෙම සිදුවීමට අදාළව මේ වන විටත් තමන් නියෝගයක් ප්රකාශයට පත් කර අවසන් බැවින් පොලිසිය අපේක්ෂා කරන ආකාරයේ නව නියෝගයක් නිකුත් කිරීමට තමන්ට කිසිදු නීතිමය ඉඩක් නොමැති බවයි.
එමෙන්ම රජයට එරෙහිව ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ නඩු තීන්දුව පූර්වාදර්ශයක් ලෙස උපුටා දක්වමින් මහේස්ත්රාත්වරයා පෙන්වා දුන්නේ විනිශ්චයකාරවරයෙකු විසින් ලබාදුන් තීන්දුවක් හෝ නියෝගයක් එම විනිශ්චයකාරවරයාටම වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් අධිකරණ නියෝග නිසි පරිදි ක්රියාත්මක නොකර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමට අදාළව අභියාචනාධිකරණය වෙත යොමු කළ නඩු ලිපිගොනුවේ සම්පූර්ණ පිටපතක් පොලිස් නීති කොට්ඨාසය වෙත නිකුත් කරන ලෙස මහේස්ත්රාත්වරයා මෙහිදී අධිකරණ රෙජිස්ට්රාර්වරියට නියෝග කළා.
ගම්පහ දෙවලපොළ ප්රදේශයේ පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව ගම්පහ දූෂණ මර්දන අංශය මඟින් අයිස් සහ හෙරොයින් ළඟ තබාගත් බවට එකම දිනයේ පදනම් විරහිතව ගොනු කර තිබූ අංක 1743 සහ 1744 දරන නඩු දෙකක් පරීක්ෂා කළ ගම්පහ මහේස්ත්රාත්වරයා, අදාළ නිලධාරීන් තිදෙනාට රුපියල් 25000 බැගින්ද පොලිස් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂයක මුදලක්ද විත්තිකරුට වන්දි වශයෙන් ගෙවීමට මීට පෙර නියෝග කළා.
අහිංසක පුරවැසියන්ට මෙලෙස අසත්ය හා නිස්සාරණ නඩු පැවරීම වළක්වමින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන්ට චක්රලේඛයක් නිකුත් කරන ලෙස ගම්පහ මහේස්ත්රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර මාස පහකට ආසන්න කාලයක් සහ නඩු දින කිහිපයක් ලබා දී තිබුණා.
පොලිස්පතිවරයා නිකුත් කළ යුතු රටම ආවරණය වන චක්රලේඛය වෙනුවට බස්නාහිර උතුර භාර නියෝජ්ය පොලිස්පතිවරයා ප්රදේශ කිහිපයකට පමණක් නිකුත් කළ මාර්ගෝපදේශ පත්රිකාවක් ඊයේ (21) අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟ මහේස්ත්රාත්වරයා දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කළා.
අධිකරණය රැවටීමට සහ හෑල්ලුවට ලක්කිරීමට උත්සාහ දැරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇතැයි තීරණය කළ මහේස්ත්රාත්වරයා, පොලිස්පතිට එරෙහිව නඩු පැවරීම සඳහා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට පියවර ගනු ලැබුවා.
