හෝමාගම අපරාධ අංශයේ OIC අත්අඩංගුවට

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නමැති තරුණයා අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීමට අදාළව අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව මීට පෙර පියවර ගෙන තිබූ අතර ඉන් අනතුරුව අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ගනු ලැබුවා.

හෝමාගම පොලිස් භාරයේ සිටි තරුණයාගේ මරණයට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙසත් ඊට වගකිවයුතු සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් හෝමාගම මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මෙනෙවිය විසින් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත අද (28) නියෝග කර තිබුණා.

කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණේ, ඉෂාරගේ සිරුරේ ඉළඇට තුනක් කැඩී, බෙල්ලේ අස්ථියක් බිඳී, මොළය ඉදිමී හිස අභ්‍යන්තරයට ලේ ගැලීමක් සිදුව ඇති බවයි.

මොට ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් හටගෙන මෙම මරණය සිදුව ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාව මඟින් තහවුරු වුණා.

සිද්ධිය සිදුවී පැය 48කට වැඩි කාලයක් ගතවුවද වගකිවයුතු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ඊයේ මධ්‍යම රාත්‍රියේ මියගිය අයගේ පවුලේ ඥාතීන් සහ තරුණ ක්‍රියාකාරීන් කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් විරෝධතාවක් පළ කළා.

අද උදෑසන වන විට අදාළ නිලධාරීන් අත්අඩංගුවට නොගතහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවටද එහිදී අනතුරු අඟවා තිබුණා..

මෙම පහරදීම හා සාපරාධී ඝාතනය සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා මියගිය තරුණයාගේ සහෝදරයා සහ ඔහු සමඟ අත්අඩංගුවට ගෙන පහරකෑමට ලක්වූ අනෙක් තරුණයාගේ බිරිඳ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිල පැමිණිලි ඉදිරිපත් කරනු ලැබුවා.

ඉෂාර සමඟ අත්අඩංගුවට පත්ව හෝමාගම පොලීසිය තුළදී පහරකෑමට ලක්වූ මධුසංක නමැති අනෙක් තරුණයා මෙම සිදුවීමේ ප්‍රධානතම ඇසින් දුටු සාක්ෂිය වන අතර ඔහුටද කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ආරක්ෂාව තහවුරු කරන ලෙස පාර්ශ්ව කිහිපයක්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

Author

Leave a Reply

Related Posts