ඉන්දියාව පරද්දන්නේ කවුද?

ඒ ඓතිහාසික තරගය පැවැත්වුණි. පාකිස්ථානය සහ ඉන්දියාව නැවත වතාවක් මුහුණට මුහුණ හමු විය. පාකිස්ථානය සහ ඉන්දියාව අතර පැවැත්වෙන අටවැනි ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයයි. පාකිස්ථානය මෙතෙක් දිනා ඇත්තේ එකක් පමණි. මෑත කාලයේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර තීරණාත්මක තරග සියල්ලෙදිම පාහේ දක්නට ලැබුණේ එක ප්‍රතිපලයකි. ඒ, එදිනෙදා භාෂාවෙන් කීවොත් ඉන්දියාව වඩාගෙන පහරදීමයි.

දැන් මෙවැනි තරගවලදී ඉන්දියාවට ජයග්‍රහණය පිළිබද විශ්වාසය ඉතා දැඩිය. පාකිස්ථානය පරාජය වන බව ස්ථීර වන තරමටම පාකිස්ථානය මෙවැනි තරගවලට දැඩි පීඩනයකින් සහ ආතතියකින් යොමු වන බව දක්නට ලැබේ.

ක්‍රීඩා ප්‍රේක්ෂකයන් ලෙස අපට අවශ්‍ය කුමක්ද? ඉන්දියාව විශිෂ්ඨ බව ඇත්තය. එහෙත් ඉන්දියාව ක්‍රීඩාවේ ‘බුලි කරන්නා‘ ලෙස හැගෙන නිසාම ඇතැම් ප්‍රේක්ෂකයන් ඉන්දියාව කාගේ අතින් හෝ පරාජය වනතුරු බලා සිටී. 2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගය පරාජය වීමෙන් පසු විස්සයි විස්ස, එක්දින තරගවලදී ඉන්දියාව පරාජයක් ලබා නැත. තරග 16ක් අපරාජිතය. වසර දෙකකට වැඩි අපරාජිතයන් පිරිසකි, ඉන්දියාව. ඉතින් පාකිස්ථානය මෙතැනදී ජයග්‍රහණය කරනු දැකීම ඉන්දියානුවන් හැර ලොකු පිරිසකගේ ආසාව විය හැක. (පාකිස්ථානය මුස්ලිම් රටක් වන නිසා මුස්ලිම් විරෝධය මත පාකිස්ථානය පරාජය වනු දැකීමට කැමති අය හැර.)

කතාන්දරයක වුව අප වීරයාගේ චරිතය ලියන්නේ, අඩුපාඩු සහිතවය. සුපර්මෑන් වැනි සියලු දෙයින් පර්ෆෙක්ට් වීරයන්ට ප්‍රේක්ෂකයාගේ ආදරය ලැබෙන්නේ නැත. චිත්‍රපටියක වුව අප දකින්නේ හිත හොද වුවත්, මොන දේ තිබුනත් යම්කිසි දෙයකින් අඩුපාඩුවක් සහිත වීරයෙකු සියලු අභියෝග ජයගන්නා හැටි දැකීමටය. ශරීරයෙන් කුඩා, බාහුබලය අඩු ඩේවිඩ් ගොලායත් නම් රණශූරයාව පරදවනු දැකීමටය. ඉන්දියාව යනු පරාජය කළ නොහැකි වීරයෙකි. පාකිස්ථානය අඩුපාඩු ගොඩක් ඇති දුර්වලයෙකි. එහෙත්, අප පිටියේදී දුටුවේ පාකිස්ථානය නම් දුර්වලයාව ලෙහෙසියෙන් පරාජය කරන ඉන්දියාව නම් වූ දැවැන්තයාය.

තරගය නරඹන්නට පැමිණි ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රීඩාංගණයේ විශේෂ අසුනක සිටින අයුරු දක්නට ලැබුණි. ඒ ආරාධිත අමුත්තන් සමගය. ජනාධිපතිවරයා තරගය ගැන සමාජ මාධ්‍යවල ලියූ සටහනේදී ක්‍රීඩාංගණය හදුන්වා තිබුණේ ‘ඛෙත්තාරාම‘ ක්‍රීඩාංගණය ලෙසය. ඒ එම ක්‍රීඩාංගණයට යෙදූ පැරණි නාමයයි. ඇතැමුන් ඒ ගැනම කේන්ති අරගෙන ඇති බව පෙනේ. දැන් දීර්ඝ සටහන් ලියැවෙන්නේ අනුර කුහකයෙකු බවයි. එහෙත්, පුද්ගලික ජෙට් යානාවලින් පැමිණි ඉන්දීය සුපිරි ධනවතුන් ඇතුළුව දැවැන්ත සංචාරකයන් පිරිසක් තරගය නැරඹීමට ලංකාවට පැමිණ තිබුණි.

තරගය ආරම්භ වූයේම දෙපිලේ නායකයන් අතර අත් අතට දී ආචාර කිරීම (Handshake) ප්‍රතික්ෂේප වීමෙනි. ඉන්දියාවේ නවතම ප්‍රවණතාව එයයි. ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ආසියානු කුසලානයේදීත් එය සිදු කළේය. ඉන්දියාවට මෙන්ම ඉන්දියානුවන්ටත් පාකිස්ථානය යනු අතිශය දරුණු දුෂ්ට රාජ්‍යයකි. ඒ රාජ්‍යයට පාඩමක් ඉගැන්වීම මෙන්ම මිත්‍රත්වයක් නැති බව පෙන්වීමත් ඉන්දියාවේ වුවමනාවයි. ඉතින්, ඉතා පහසුවෙන් පාකිස්ථානයට පරාජය අත් කර දීම හුදෙක් ක්‍රීඩාවේ වුවමනාවක් නොවේ. එය එයින් එහා ගිය දේශපාලන වුවමනාවකි. ඒ අනුව පරාජිතයාට වුව ගෞරවයකින් නොව සතුරුකමකින් සැලකීමය ඉන්දියාවේ වුවමනාව.

කාසියේ වාසිය දිනූ පාකිස්ථානයට ඉතිරි වූයේ “හිස කසා ගැනීම” පමණි. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් ඉෂාන් කිෂාන් තනි සටනක නිරත විය. අනෙක් සියලු පිතිකරුවන් ලකුණු ලබා ගැනීමට දැඩි වෙහෙසක් ගත් එම මන්දගාමී තණතීරුවේ කිෂාන් පන්දු 40කදී ලකුණු 77ක් රැස් කළේ ලෝක මට්ටමේ ප්‍රහාරයක් එල්ල කරමිනි.

කිෂාන් දැවී යන විට ඉන්දීය ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාවෙන් 88.5%ක්ම ලබාගෙන තිබුණේ ඔහුය. කිෂාන් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් එල්ල කරද්දී, අනෙක් සියලුම ඉන්දීය පිතිකරුවන්ට එල්ල කළ හැකි වූයේ හතරේ පහර 3ක් පමණි.

ලකුණු 176ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානය ආරම්භයේදීම දුර්වල විය. හඹායෑම අඩක් අවසන් වීමටත් පෙර ඔවුන්ගේ කඩුලු 7ක්ම දැවී ගොස් තිබුණි. කිසිදු ධෛර්යයක් හෝ ශක්තිමත් බවක් ඔවුන් පෙන්නුම් කළේ නැත.

ක්‍රීඩාව යනු රගපා පෙන්විය හැකි දෙයක් නොවේ. එහි ධෛර්යය, ශක්තිය වැනි සියලු ගති ලක්ෂණ සැබෑ ලෙසම ක්‍රීඩා පිටියේදී පරීක්ෂාවට ලක් වෙයි.

පාණ්ඩ්‍යා සිය පළමු ඕවරයම “විකට් මේඩන්” ඕවරයක් ලෙස නිම කළ අතර, බුම්රා සිය දෙවන පන්දුවෙන්ම සයිම් අයුබ් දවාගත්තේය. මේ පන්දුවාර දෙකේදී මේ පන්දු යවන්නන් දෙදෙනාගේ සැම පන්දුවක්ම පහරදිය නොහැකි ඉතා අසීරු අභියෝගයක් ලෙස දිස් විය.

ඇත්තෙන්ම ඉන්දියාව දැන් ලොව හොදම පන්දු යැවීමත්, ලොව හොදම පිතිකරණයත් තමන් සතු බව දිගින් දිගටම පෙන්වන කණ්ඩායමකි. වේගපන්දු යවන්නන් දෙදෙනාගේ සැසිය අවසන් වූ විගස දග පන්දු යවන්නන් එන්නේ කඩුලු දවාගනිමින්මය.

නායක සල්මන් ආඝාගේ අසාර්ථකත්වය පාකිස්ථානයේ පරාජය ලිවීමට හේතු විය. පන්දු යැවීමේදී ආරම්භක ඕවරය යවමින් අභිෂේක් ෂර්මා දවාගත්තද, පිතිකරණයේදී ඔහු පාණ්ඩ්‍යා අතට උඩපන්දුවක් දී ලකුණු 4කට දැවී ගියේය. පාකිස්ථානය ලකුණු 114කට සීමා වූ අතර, උස්මාන් ඛාන් (44) හැර වෙනත් කිසිවෙකුට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත. ඒ තරම් අසරණ වීමක්, ඒ තරම් අවමානයක් පාකිස්ථානයට කවදාවත් නොලැබෙන්නට ඇත.

පාකිස්ථානය මේ තරගයට පැමිණිය යුතුව තිබුණේ මීට වඩා දැඩි අධිෂ්ඨානයකිනි. පාකිස්ථානය තරග කරන්නේ ක්‍රිකට් ලොව අංක එකේ කණ්ඩායම සමග පමණක් නොවේ, ඔවුන් තරග කරන්නේ ක්‍රිකට් ලොව දරුණුම බුලි කරන්නා සමගය.

ඉන්දියාව වර්තමානයේ ක්‍රිකට් ලොව පරාජය කළ නොහැකි බලවේගයක් බව සැබෑවකි. නමුත් ඔවුන්ගේ ක්‍රීඩා විලාසය තුළ සහ ක්‍රීඩාවෙන් බැහැර හැසිරීම් තුළ ගැබ්ව ඇති උද්දච්ච බව (Arrogance) අනෙක් හැමදෙනාම වේදනාවට පත් කරන්නකි.

සරලව කීවොත් ප්‍රතිවාදී කණ්ඩායම දෙස බලන්නේද අවඥාවෙනි. බුම්රා ක්‍රිකට් ලොව සීරියල් කිලර් කෙනෙක් වැනිය. ඔහු කඩුල්ලක් දවාගත් පසු බලන්නේද තමාගේ ආධිපත්‍යය තහවුරු කරන අවඥා සහගත බැල්මකිනි.

ඉන්දියාව සිය ජයග්‍රහණ පිටිය තුළ ලබන්නේ තමන් සතුව ඇති ක්‍රිකට් ලෝකයේ දේශපාලන බලය, මූල්‍ය සහ පරිපාලන බලය උපයෝගී කරගනිමින් නොවේ. ඔවුන් පිටිය තුළ ජයගන්නේ තමන්ගේ ක්‍රීඩකයන්ගේ විශිෂ්ඨත්වය නිසාය. අයිපීඑල් වැනි තරගාවලිවලින් නිතිපතා පරීක්ෂාවට ලක් වෙන, ආතතිය යටතේ ක්‍රීඩා කිරීමට මනාව හුරුපුරුදු වූ ක්‍රීඩකයන් නිසාය. එහෙත්, එයින් පිට ඔවුන් තරගාවලි තමන්ට රිසි සේ හසුරුවයි. දේශපාලන බලය පාවිච්චි කරයි. බංග්ලාදේශය එළියට විසිවුණේත් ඉන්දියාවේ දේශපාලන තක්කඩිකම් නිසාය. විශිෂ්ටයා නරුමයෙකු වූ විට ක්‍රිඩාවම එපාවෙයි.

“ඉන්දියාව විශිෂ්ඨය, අපරාජිතය. එහෙත් ඔවුන් සිය විශිෂ්ඨත්වය උද්දච්ච හැසිරීම් තුළින් වසාගනී. සියල්ලන් බලා සිටින්නේ ඉන්දියාව පරාජය වන තුරුය.”

ක්‍රිකට් ලෝකය පුරා අසන්නට ලැබෙන මෙම මතය ඉන්දියාව කෙරෙහි පවතින අප්‍රසාදය විදහා දක්වයි. දක්ෂතාවයෙන් ලොවම දිනුවද, ක්‍රීඩාවේ සැබෑ අර්ථය වන සුහදත්වය සහ ගෞරවය පෙන්වීමට ඔවුන් අපොහොසත් වී ඇත. ඔවුන් ඒ නිසාම ක්‍රිකට් ක්‍රීඩාවේ රසය නසමින් සිටී.

පළමු වටයේදී පරාජය වූ පාකිස්ථානයට නැවත සුපර් එයිට් වටයේදී හෝ අවස්ථාවක් ලැබෙනු ඇත. ඉන්දියාව පරාජය කිරීමට නෙදර්ලන්තයට හැකි වනු ඇතැයි නොසිතුණත්, සුපිරි අට වටයේදී කුමන හෝ කණ්ඩායමක් ඉන්දියාව පරදවනු ඇතැයි ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වනු ඇත.

සියලු කරුණු ලියැවී ඇත්තේ ඉන්දියාව අපරාජිතව ලෝක කුසලානය ගනු ඇතැයි සිතන්නටය. ඉන්දියාව විස්සයි විස්ස සහ එක්දින ලෝක කුසලාන 4ක් දිනා ඇත. එහෙත් ඕස්ට්‍රේලියාව 7ක් දිනා ඇත. ඒ එක්දින ලෝක කුසලාන හයක් සමගය. ඉතින් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තයා තවමත් ඕස්ට්‍රේලියාවය. ඉන්දියාව සිටින්නේ එය පසු කර යෑමේ දැඩි අධිෂ්ඨානයෙනි. ක්‍රිකට් ලෝකයම ඉන්දියාවට ඒ තෘප්තිය ලබා දීමට අකැමැත්තෙනි.

ඒ ඉන්දියාවේ දක්ෂතාවලට ඉරිසියාවකින් නොවේ. ඉන්දියාව මහා බුලි කරන්නා වන නිසාය.

Author

1 Comment

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading