සලේ හතරවැනි තට්ටුවට ගෙනියලා

හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අද (06) පස්වරුවේ කොළඹ ජාතික රෝහලෙන් මුදා හැර යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට රැගෙන ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා.

ඔහු යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනීම අද පස්වරුවේ සිදුකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන් අතර පසුව ඔහු රෝහලෙන් රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටියදී සෞඛ්‍ය තත්ත්වය පිරිහීමෙන් සුරේෂ් සලේ 2026 ජූනි 7 වැනිදා රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

ඒ අනුව ඔහු අද රෝහලෙන් පිටව යන්නේ රෝහල්ගත කළ දිනයේ සිට දින 121ක් ගතවීමෙන් පසුවයි.

ජූනි 7 දිනයද ඇතුළත්ව දින ගණනය කළහොත් අද ඔහුගේ රෝහල්ගත කාලයේ 122 වැනි දිනයි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහීමෙන් ජූනි 27 වැනිදා ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට මාරු කර තිබූ අතර ජූලි 23 වැනිදා හෘද ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහා උපකරණයක් සවි කිරීමේ හෘද ක්‍රියාපටිපාටියකට ලක් වී තිබුණා.

ඒ අනුව එම ක්‍රියාපටිපාටිය සිදුකර අදට දින 75ක් ගතවී තිබෙනවා.

සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැප්තැම්බර් 28 වැනිදා ඉදිරිපත් කළ අවසන් වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍යවරුන් දසදෙනෙකුට නිකුත් කර තිබූ නොතීසි අනුව නඩුව අද කැඳවූ අවස්ථාවේදී අද අධිකරණයේදී කරුණු හෙළි වුණා.

එම නොතීසි අනුව ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ඇතුළු වෛද්‍යවරු නවදෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියා.

චර්මරෝග විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා විදේශගතව සිටීම හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

වෛද්‍යවරුන් රජයේ නිලධාරීන් වන බැවින් ඔවුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මුලින්ම අධිකරණයට දැනුම් දුන්නා.

සුරේෂ් සලේ රෝහලෙන් මුදා හැරිය හැකි බව වෛද්‍යවරුන් මේ වනවිට නිර්දේශ කර ඇතැයි පවසමින් දිලීප පීරිස් මහතා අධිකරණයේදී මෙලෙස සඳහන් කළා.

“මේ වෛද්‍ය කමිටුව 2026/09/28 තුන්වන සැකකාර සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවසන් වෛද්‍ය වාර්තාවක් මේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ජාතික රෝහලේ අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර මහතා හරහා එම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාවට මෙම වෛද්‍යවරු 10 දෙනා අත්සන් කරලා තියෙනවා.”

එම වාර්තාව අනුව සලේට නිර්දේශිත ඖෂධ නියමිත වේලාවට ලබාදීම, සුදුසු පරිසරයක තැබීම, වෛද්‍ය අධීක්ෂණයට සහ සායනවලට යොමු කිරීම, ආසාත්මිකතා ඇතිවුවහොත් ප්‍රතිකාර ලබාදීම සහ හෘදයට සවි කර ඇති යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයේ ගැටලුවක් ඇතිවුවහොත් හෘද ඒකකයට යොමු කිරීම ඇතුළු කරුණු හයක් නිර්දේශ කර ඇතැයිද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

අනතුරුව ඔහු මෙලෙස සඳහන් කළා..

“තුන්වන සැකකරු මේ වනවිට ජාතික රෝහලේ 42 වාට්ටුවේ ඉන්නවා. දැන් වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා ඔහුව ජාතික රෝහලෙන් මුදා හරින්න සුදුසුයි කියලා. ඒ අනුව ඔහුව අද පස්වරුවේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනීමට කටයුතු කරනවා.”

සුරේෂ් සලේගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන්ද කරුණු දැක්වූ දිලීප පීරිස් මහතා, එම තත්ත්වය “පරිභාහිර කාරණා නොව ඔහුගේ ස්වයංව ජාන ක්‍රියාකාරීත්වය මත මතු වූ දෙයක්” බවත් එම තත්ත්වය උග්‍ර වුණේ ඔහු විසින්ම සිදු කරපු ස්වයං උපවාසය හේතුවෙන් බවත් අධිකරණයට පැවසුවා.

සලේ සිය ජංගම දුරකථනයේ මුරපදය අමතක වී ඇති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විවේචනයක් සිදු කළා.

“ඒත් මේ ස්වයං උපවාස කරපු පුද්ගලයා අභියාචනාධිකරණයේ නඩුවක් පවරනවා. එහි ලේඛන 46ක්, පිටු 9700ක්, පිටු 247ක දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. මේ දේවල් කරන්න ඔහුට මතකයි. හැබැයි තවමත් ඔහුට ඔහුගේ දුරකථනයේ මුරපදය මතක නැහැ.”

එහිදී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා,“එහෙම කැත කතා කියන්න එපා, වැදගත් විදිහට කතා කරන්න” යනුවෙන් පැවසුවා.

අනතුරුව දිලීප පීරිස් මහතා තවදුරටත් කරුණු දක්වමින්,

“ස්වාමිනි මෙතන වින්දිතයන් ගැන අමතක වෙලා තියෙනවා. ඔවුන් ගැන කවුද අහන්නේ? ඔවුන්ගේ ප්‍රතිකාර ගැන කවුද අහන්නේ? හැබැයි මොහු ගැන හැමෝම කන්සර්න් කරනවා. මොහුගේ රංගනයන්ට ආපහු රැවටෙන්නේ නැහැ. ඔහු ලෙඩ වුණා නෙමෙයි ලෙඩ කෙරෙව්වා.” යනුවෙන් පැවසූ අතර “මේ සැකකරු මේ විමර්ශනය දවස් 119ක්ම ව්‍යාර්ථ කරලා දැම්මා” යනුවෙන්ද සඳහන් කළා.

සලේගේ ජංගම දුරකථනයේ මුරපදය ලබාගැනීම සඳහා විශේෂඥ ක්‍රමවේද භාවිත කළ නොහැකිදැයි එහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා,

“සැකකරුගේ ජංගම දුරකතනය සහ ලැප්ටොප් පරිගණකය යන දෙකම ඇපල් වර්ගයේ උපකරණ. එම මෘදුකාංගවල ආරක්ෂණ ක්‍රියාවලිය හරිම සංකීර්ණයි. මුරපද විවෘත කිරීමට ඉතා අපහසුයි. නමුත් සැකකරු මතක නැහැ කියන ස්ථාවරයේ නම් ඉන්නේ, අපි වෙනත් විකල්පයට යනවා. ඊට ඇපල් සමාගමේ මව් සමාගම හා සම්බන්ධ විය යුතුයි. ඒ සම්බන්ධව සුදුසු ලෙස කටයුතු කරනවා.” යනුවෙන් දැනුම් දුන්නා.

සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඊට ප්‍රතිචාර දක්වමින්, තම සේවාදායකයාට අදාළ වෛද්‍ය වාර්තා විත්තියට මෙතෙක් ලබාදී නොමැති බවට චෝදනා කළා.

එහිදී “අපේ සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අපිට අඩුම තරමේ වෛද්‍ය වාර්තාවක්වත් නැහැ. අපිට නැති වාර්තා කොහොමද අගතියට පත් පාර්ශ්වය ලබා ගත්තේ?”යනුවෙන් ඔහු ප්‍රශ්න කළා.

එමෙන්ම මුරපද සම්බන්ධයෙන්ද කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා, “ඔහුගෙන් අද වෙනකන් කටඋත්තරයක් අරන් නෑ මුරපදයක් ගැන අහලා. රෝහලේ ඉද්දි ඇහුවා. ඒ අවස්ථාවේ අපිට මතකයේ තිබෙන විදිහට මුරපද තුනක් ලියලා දුන්නා.” යනුවෙන් සඳහන් කළා.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත්වරයා නඩුව ඔක්තෝබර් 21 වැනිදා යළි කැඳවීමට නියම කළා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading