රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරන ලෙස ඉල්ලා එම පනත් කෙටුම්පතට එරෙහි පළමු පෙත්සම මාධ්‍යවේදීන් වන ෆසීර් මොහොමඩ් සහ තරිඳු උඩුවරගෙදර වෙනුවෙන් ගෞරි තවරාජා ඇසෝසියේට්ස් ආයතනයේ නීතිඥ දර්මජා තර්මරාජා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබෙනවා.
පෙත්සම වෙනුවෙන් නීතිඥ හෙජාස් හිස්බුල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට නියමිත අතර ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ වින්දිතයෙකු වීම විශේෂත්වයක්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථා යටතේ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර නීතිපතිවරයා එහි වගඋත්තරකරු ලෙස නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් පවසන්නේ තමන් මෙම පෙත්සම පුද්ගලික අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව ශ්‍රී ලංකාවේ මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීම සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන මහජන හිතකාමී අරමුණු මත ඉදිරිපත් කරන බවයි.
2026 සැප්තැම්බර් 18 දිනැති ගැසට් අතිරේකයක් මගින් ප්‍රකාශයට පත් කළ මෙම පනත් කෙටුම්පත අද, ඔක්තෝබර් 6 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා.
අද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කළා.
පෙත්සමේ ප්‍රධාන තර්කයක් වන්නේ පනත් කෙටුම්පත මගින් දැනට පවතින අපරාධ නීති යටතේද ආවරණය වන සමාන හෝ එකම ආකාරයේ ක්‍රියා සම්බන්ධයෙන් වෙනම නීතිමය ක්‍රියාපටිපාටියක් නිර්මාණය වන බවත් ඒ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමානත්වය පිළිබඳ අයිතියට බලපෑම් සිදුවන බවයි.
එමෙන්ම “ජාතික ආරක්ෂාව” සහ “හදිසි තත්ත්වය” වැනි පදනම් මත එවැනි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර නොමැති අවස්ථාවක පවා මූලික අයිතිවාසිකම්වලට දැඩි සීමා පැනවීමට පනත් කෙටුම්පත ඉඩ සලසන බව පෙත්සම්කරුවන් පවසනවා.
විධායකයට මහජනතාවගේ අධිකරණ බලය සම්බන්ධ බලතල පවරන විධිවිධානද එහි ඇති බවත් සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය සහ වරදකරු බව ඔප්පු වන තෙක් නිර්දෝෂී ලෙස සැලකීමට ඇති අයිතියටද සමස්ත පනත් කෙටුම්පතෙන් බලපෑම් සිදුවන බවත් පෙත්සමේ සඳහන් වනවා.
පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියේ ඇති “ත්‍රස්තවාදය” පිළිබඳ අර්ථ දැක්වීම අපැහැදිලි සහ අතිශය පුළුල් බවද පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.
“unduly compelling” සහ “likelihood of danger to life or substantial economic loss” වැනි යෙදුම් ප්‍රමාණවත් නිරවද්‍යතාවයකින් නිර්වචනය කර නොමැති නිසා ඒවා විවිධ ආකාරයෙන් හෝ අත්තනෝමතික ලෙස යොදාගැනීමේ ඉඩක් ඇති බව පෙත්සම්කරුවන් පෙන්වාදෙනවා.
ත්‍රස්තවාදයට අදාළ ප්‍රකාශන බෙදාහැරීම, සන්නිවේදනය කිරීම හෝ සන්තකයේ තබාගැනීම අපරාධ බවට පත් කරන විධිවිධානද පෙත්සමෙන් විශේෂයෙන් අභියෝගයට ලක්කර තිබෙනවා.
එහි යොදා ඇති “සෘජුව හෝ වක්‍රව පෙළඹවීම” සහ ත්‍රස්ත ක්‍රියාවකට “ප්‍රයෝජනවත්” ප්‍රකාශනයක් වැනි සංකල්ප නිශ්චිතව අර්ථ දක්වා නැති බැවින් සැබෑ ත්‍රස්ත ක්‍රියාවක් සිදුවීමේ වෛෂයික අවදානමක් නොමැති ප්‍රකාශන සහ සන්නිවේදන පවා අපරාධ නීතිය යටතට ගෙන ඒමේ ඉඩක් ඇති බව පෙත්සමෙන් කියා සිටිනවා.
එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ සහ ප්‍රකාශනයේ නිදහසට බලපෑම් සිදුවිය හැකි බව පෙත්සම්කරුවන්ගේ ස්ථාවරයයි.
තවත් පුද්ගලයෙකු ත්‍රස්තවාදී වරදකට සූදානම් වන බව හෝ එවැනි වරදක් කර ඇති බව දැනගෙන හෝ එසේ විශ්වාස කිරීමට හේතු තිබියදී පොලිසියට තොරතුරු නොදීම වසර හතක් දක්වා සිරදඬුවමක් හෝ රුපියල් මිලියන හතක් දක්වා දඩයක් හෝ දෙකම පැනවිය හැකි අපරාධයක් බවට පත් කරන 15 වැනි වගන්තියද අභියෝගයට ලක් කර තිබෙනවා.
තොරතුරු නොදුන්නේ “සාධාරණ හේතුවක්” නිසා බව ඔප්පු කිරීමේ බර චූදිතයා මත පැවරීම නිර්දෝෂීභාවය පිළිබඳ ව්‍යවස්ථාමය පූර්ව නිගමනයට බලපාන බව පෙත්සමේ සඳහන්.
ජනාධිපතිවරයාට සංවිධානයක් තහනම් කරමින් එහි සාමාජිකත්වය, රැස්වීම්, ක්‍රියාකාරකම්, ප්‍රචාරණය සහ ප්‍රකාශන ආදිය සීමා කිරීමට ඉඩ සලසන විධිවිධානද, එවැනි තහනම් නියෝගයකට පෙර අධිකරණ අනුමැතියක් ලබාගැනීම අනිවාර්ය නොවීමද සංගම් නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සමඟ ගැටෙන බව පෙත්සමෙන් කියා සිටිනවා.
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා යොදවා ඇති අවස්ථාවලදී පවා සන්නද්ධ හමුදා සහ වෙරළාරක්ෂක නිලධාරීන්ට සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ බලතල ලබාදීම මගින් සාමාන්‍යයෙන් පොලිසිය විසින් ක්‍රියාත්මක කරන බලතල පුළුල් පරාසයකට ගෙන යන බවද පෙත්සමේ තර්ක කර තිබෙනවා.
එමෙන්ම පෙත්සම්කරුවන් පවසන්නේ, පොලිස් නිලධාරියෙකුට හදිසි සහ ජාතික ආරක්ෂක හේතු මත අධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව රැස්වීම්, පෙළපාලි සහ ඇතැම් ක්‍රියාකාරකම් සීමා කිරීමට ඉඩ සලසන විධිවිධාන මගින් අදහස් ප්‍රකාශ කිරීමේ, සාමකාමී රැස්වීමේ සහ ගමන් කිරීමේ නිදහස සීමා විය හැකි බවයි.
නීතිපතිවරයාට නඩු පැවරීම වසර 20ක් දක්වා කල්දැමීමට හෝ දැනටමත් ආරම්භ කර ඇති නඩු කටයුත්තක් වසර 20ක් දක්වා අත්හිටුවීමට ඉඩ සලසන 52 සහ 53 වගන්තිද පෙත්සමෙන් දැඩිව අභියෝගයට ලක් කර තිබෙනවා.
“රාජ්‍ය ප්‍රතිපත්තිය”, “ජාතික අභිලාෂය” සහ “මහජන අභිලාෂය” වැනි පුළුල් නිර්ණායක මත එවැනි තීරණ ගැනීමට නීතිපතිවරයාට ඉඩදීම සමාන තත්ත්වයක සිටින සැකකරුවන්ට වෙනස් ආකාරයෙන් සැලකීමට හේතු විය හැකි බව පෙත්සමේ සඳහන්.
එමෙන්ම කිසියම් ස්ථානයක් පැය 72ක් දක්වා තහනම් ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට, අධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව විධායක නිලධාරියෙකුට බලය ලබාදීම ගමන් කිරීමේ නිදහසට සහ එම ස්ථානයට ප්‍රවේශ වීම මාධ්‍ය වාර්තාකරණයට අවශ්‍ය වන අවස්ථාවල ප්‍රකාශනයේ නිදහසට බලපෑම් කළ හැකි බවද පෙත්සමේ සඳහන් වනවා.
පනත යටතේ අත්අඩංගුවට ගත්, රඳවා තැබූ, රක්ෂිත බන්ධනාගාරගත කළ, ඇප ලැබූ, නිදහස් කළ, නඩු පැවරූ, වරදකරු කළ හෝ නිදොස් කළ සියලු පුද්ගලයන් පිළිබඳ මධ්‍යගත දත්ත ගබඩාවක් පවත්වාගෙන යාමට පොලිස්පතිවරයාට නියම කරන 64 වැනි වගන්තිය සම්බන්ධයෙන්ද පෙත්සම විරෝධතා මතු කර තිබෙනවා.
එමෙන්ම නිදොස් කළ හෝ නිදහස් කළ පුද්ගලයෙකුගේ තොරතුරු කොපමණ කාලයක් තබාගත හැකිද, කවුද ඒවාට ප්‍රවේශ විය හැක්කේ සහ ඒවා මකාදැමීමේ ක්‍රමවේදය කුමක්ද යන්න නීතියෙන් නිශ්චිතව දක්වා නොමැති බව පෙත්සම්කරුවෝ කියා සිටිනවා.
ඒ අනුව පනත් කෙටුම්පත හෝ එහි අදාළ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය කර ඒවා නීතියක් බවට පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය විශේෂ බහුතරය ලබාගත යුතු බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
පනත් කෙටුම්පතේ එක් හෝ වැඩි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ/හෝ 4 ව්‍යවස්ථාවලට පටහැනි බව තීරණය වන්නේ නම්, ඒවා නීතියක් බවට පත් කිරීම සඳහා විශේෂ බහුතරයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද ලබාගත යුතු බවට තීරණය කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා..
කෙසේවෙතත් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කර ඒ වෙනුවට මෙම නව නීතිය හඳුන්වා දීමට රජය සැලසුම් කර තිබෙනවා.
අගෝස්තු 10 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී ඇති අතර නීති කෙටුම්පත් සම්පාදකවරයා සකස් කළ කෙටුම්පතට නීතිපති නිෂ්කාශනය ලැබීමෙන් පසු එය ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබුණා.
මීට පෙර 2023දී ඉදිරිපත් කළ “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත” ද ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්වූ අතර එහි වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබූ බවද වත්මන් පෙත්සමෙන් සිහිපත් කර තිබෙනවා.
එම කෙටුම්පත අවසානයේ නීතියක් බවට පත් නොවූ අතර 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව පෙත්සමේ සඳහන් වනවා.
