ඥානසාරගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර ආඥාපනතට සිදුවූවක්! සිරගත හිමිවරු 63 දෙනාටම කළේ ඒකයි – ජම්පර් කතාවට නලින්දගෙන් පිළිතුරු

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර බන්ධනාගාර ඇඳුම ඇන්දවීම බන්ධනාගාර ආඥාපනතේ විධිවිධාන ප්‍රකාරව පමණක් සිදු වූවක් බවත් දැනට සිරදඬුවම් විඳින සෙසු භික්ෂූන් වහන්සේලා 63 දෙනා සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක කර ඇත්තේ එම සම්මත නීතිමය ක්‍රමවේදයම බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ නිල මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙහිදී කිසිදු පෞද්ගලික මැදිහත්වීමක් සිදු කර නොමැති බවත් ආඥාපනත අනුව නීත්‍යනුකූලව පැවරී ඇති නීති රීති ඒ අයුරින්ම අනුගමනය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණ මඟින් වරදකරුවන් කර මේ වන විටත් බන්ධනාගාරගතව සිරදඬුවම් ලබන භික්ෂූන් වහන්සේලා 63 දෙනෙකු සිටින බව පැවසූ අමාත්‍යවරයා, බන්ධනාගාර නීතිය අනුව එම සියලු දෙනාටම නියමිත ක්‍රමවේදයට අනුව ගිහි ඇඳුම හෙවත් සිරකරු ඇඳුමම ඇන්දවීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය බව පවසනවා.

ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු විශේෂ සැලකිල්ලක් දක්වා නොමැති බවත් බන්ධනාගාර ආඥාපනත ප්‍රකාරව දඬුවම් ලැබූ ඕනෑම සිරකරුවෙකු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අද (06) දින වෙනත් නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණය වෙත බන්ධනාගාර සිරකරු ඇඳුමින් ඉදිරිපත් කළ අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමස්‍ය් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඥානසාර හිමියන් ප්‍රකාශ කර තිබුණේ, තමන් මීට පෙර හතර පස් වතාවක් සිරගත වුව ද කිසිදු ආණ්ඩුවකින් සිවුර නොගැලවූ බවත් වත්මන් ආණ්ඩුව විසින් නිල නියෝගයක් මත මෙලෙස තම සිවුර ගලවා දැමූ බවයි.

හෝමාගම අධිකරණයට අපහාස කිරීමේ වරදට ඥානසාර හිමියන්ට නියම වී තිබූ වසර 6ක සිරදඬුවම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දී තිබූ පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් බලරහිත කිරීමෙන් පසු එම මුල් සිරදඬුවම ඊයේ (05) දින සිට යළි බලාත්මක කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading