කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ රෝහලෙන් මුදා හැරිය හැකි බවට වෛද්‍ය මණ්ඩලයක් නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා අද (06) අධිකරණයට දැනුම් දුන්නා,
අද දින අධිකරණයේදි සුරේෂ් සලේ පිළිබද වෛද්‍ය වාර්තාවක් ලබා දුන් වෛද්‍යවරුන් 10 දෙනා අතරින් එක් වෛද්‍යවරයෙකු හැර අනෙක් සියලු වෛද්‍යවරුන් පෙනී සිටි අතර, රෝහල් අධ්‍යක්ෂවරයාද අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.
එම වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව සැකකාර සුරේෂ් සලේ අද සවස යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට නියමිත බවද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අද දින අධිකරණයේදී පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරීස් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
සුරේෂ් සලේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලය සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව මෙම නිර්දේශය ලබාදී ඇති බව සඳහන් වනවා.
එහිදී වෛද්‍ය මණ්ඩලය විසින් සැප්තැම්බර් 28 වැනිදා නිකුත් කළ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. එම වාර්තාවට අනුව සුරේෂ් සලේ මහතාව කොන්දේසි හයක් යටතේ මුදාහැරීමට නිර්දේශ කරනු ලැබුවා.
එම කොන්දේසි හය සැපිරිමේ හැකියාව තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙනු ලැබුවා.
සුදුසු පරිසරයක රදවා තැබීම, වෛද්‍ය අධීක්ෂණය සදහා අවස්තාව ලබා දීම, සායන සදහා යොමු කිරීම, අසාත්මිකතා ඇතිවේදැයි පරීක්ෂා කිරීම සහ හෘදයට සවි කළ නව යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇතිවුවහොත් දැනුම් දීම යන කොන්දේසි හය වනවා.
ඒ අනුව රෝහලෙන් මුදා ගැනීමෙන් අනතුරුව ඔහු යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමට නියමිතයි.
