නීති විරෝධී ඉදිකිරීමක් විවෘත කිරීමට වටගල හා නියෝජ්‍ය කථානායක ගිහින්

ඉලෙක්ටි්‍රසි ඩිස්ටි්‍රබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයාට හා කොළඹ ප්‍රාදේශීය ලේකම් විසින් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාට නීති විරෝධී ඉදිකිරීමක් බව දැනුම් දුන් නිවසක් විවෘත කිරීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල හා නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහභාගි වී ඇති බව වාර්තාවේ.

ඊයේ (ඔක්තෝබර් 05) දින මෙම නිවස විවෘත කිරීමේ උත්සවය පවත්වා ඇති අතර මෙම නීති විරෝධි ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකට ජුනි 24 හා කොළඹ නගරාධිපතිනියට අගෝස්තු 28 පැමිණිලි කර තිබී ඇත.

ඉලෙක්ටි්‍රසි ඩිස්ටි්‍රබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයාට අගෝස්තු 07 දින දන්වා ඇති අතර කොළඹ ප්‍රාදේශීය ලේකම් විසින් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාට මේ සම්බන්ධයෙන් සැප්තැම්බර් 14 දන්වා ඇත.

තිබූ ප්‍රමාණයට වඩා මාර්ගය දෙසට ඉදිකරමින් විදුලි පහන් කණුවක් හා විදුලි රැහැන් කණුවක් අවහිර කරමින් එම ඉදිකිරීම සිදුකර ඇති බැවින් එම ඉදිකිරීම මහජනයාට ආරක්ෂාකාරි බව ඇති කිරීම සඳහා නිවැරදි කරන ලෙස ඉලෙක්ටි්‍රසි ඩිස්ටි්‍රබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් එහිදී දැනුම් දී තිබුණි.

කොළඹ නගරාධිපතිනිය කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ සිදුකරමින් තිබූ ගොඩනැගිලි අලුත්වැඩියාවක් මීට පෙර අවස්ථාවක නවත්වා තිබූ අතර ඒ ඇයගේ පාලනය යටතේ කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම්වලට ඉඩ නැති බව සඳහන් කරමින්ය.

වත්මන් මාලිමා ආණ්ඩුව විසින් නිවාස වැඩි දියුණු කිරීම සඳහා ලබාදුන් මූල්‍ය ආධාරයක් මගින් එම නිවස යළි ඉදිකර ඇති අතර ඒ හේතුවෙන් කොළඹ මහ නගර සභාව මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට මැලිවී තිබේ.

මේ සම්බන්ධයෙන් එම ඉදිකිරීම සිදුකරන අවස්ථාවේ ‘වට්නිව්ස්’ කළ විමසීමකදී කොළඹ නගරාධිපතිනි වායි කැලි බල්තසාර් ඒ ගැන සොයා බලා පිළිතුරක් ලබාදෙන බව පවසා ඉන්පසු දිගින් දිගටම මඟහැරි අතර මීට දින කිහිපයකට පෙර කොළඹ නාගරික කොමසාරිස්වරයාගෙන්ද ඒ සම්බන්ධයෙන් විමසීමේදී අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා එසේ තොරතුරු යොමු කිරීමෙන් පසු පිළිතුරු ලබාදීම මඟ හැරියේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading