රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආශ්‍රිතව පැවති සත්‍යග්‍රහය සහ ගැටුම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බලංගොඩ කස්සප අද (26) අධිකරණය මඟින් ඇප මත මුදා හැරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඔවුන්ගේ හඬ නිහඬ කිරීමට මාංචු කුට්ටම් ශක්තිමත් මදි බවත්, මාරාන්තික උපවාසයකට භික්ෂූන් වහන්සේලාට පහර දී සිදු කරගත් දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාකය අනිවාර්යෙන් තව දින කීපයකින් ලැබෙන බවත්ය.
තමන් රුවන්වැලි රුවන්වැලි මහා සෑයට ජීවිතය පූජා කර ඇති බැවින් කිසිදු බියකින් තොරව සටන ඉදිරියට ගෙන යන බවත් උන්වහන්සේ අවධාරණය ඔහු අවධාරණය කර සිටියේය.
නොවැම්බර් 7 වැනිදා සත්‍යග්‍රහය ආරම්භ කළ බවත්, පසුව 11 වැනිදා එය මාරාන්තික උපවාසයක් දක්වා පරිවර්තනය කළ බවත් සඳහන් කළ කස්සප, 12 වැනිදා ඇති වූ ගැටුමේදී හෙල්මට් සහ ජැකට් පැළඳි පිරිසක් පැමිණ පහර දුන් බවට චෝදනා කළේය. රාමඤ්ඤ නිකායෙන් නෙරපන ලදැයි පැවසෙන රාජාංගණයේ සද්ධාරතන නමැත්තෙකු සිවුරු පොරවාගෙන පැමිණ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බවද මෙහිදී ඔහු මාධ්‍ය හමුවේ පවසා සිටියේය.
එසේම, අනුරාධපුර පොලිසියේ නිලධාරීන්ගේ හැසිරීම දැඩි ලෙස විවේචනය කළ කස්සප, පැමිණිලි භාර නොගැනීම, අසභ්‍ය වචනයෙන් බැණ වැදීම සහ චීවර මාසයේ උපසම්පදා භික්ෂූන්ට කඨින පින්කම් අහිමි වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළේය. කෙසේ වෙතත්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිගන්නා බවත්, සිද්ධියට අදාළ සැලසුම් සහ පසුබිම පිළිබඳ සාක්ෂි සුදුසු අවස්ථාවේදී ඉදිරිපත් කරන බවත් බලංගොඩ කස්සප වැඩිදුරටත් සඳහන් කළේය.
බලංගොඩ කස්සප නමැත්තා විසින් රුවන්වැලි මහා සෑය ඉදිරිපිට සිදුකළ සත්‍යග්‍රහය නම් ක්‍රියාව, මාරාන්තික උපවාසය යනුවෙන් සිදු කළ දේ සහ එහිදී ඇති වූ ගැටුමෙන් පසුව කරන ලද ප්‍රකාශ කිහිපයක් බෞද්ධ දර්ශනයේ පැවසෙන මූලික ඉගැන්වීම් සමඟ සංවාදයකට තුඩු දේ.
මෙම ලියවිල්ල බලන්ගොඩ කස්සපව සීරියස් ලෙස බාර ගැනීමකින් ලියන ලියවිල්ලක් නොවන අතර කස්සපලා බුදු දහම රකින්නට සිටින ආරක්ෂකයින් ලෙස පිළිගන්නා අය සිටින්නේ නම් ඔවුන් උදෙසා ලියන්නට සිතුවකි.
මෙහිදී විශේෂ අවධානය යොමු කළ හැකි කරුණු තුනකි.
- දිට්ඨ ධම්මවේදනීය කර්මය යනු කුමක්ද? එය පුද්ගලයකුට දඬුවම් ලැබෙන බවට කරන තර්ජනයක් හෝ ශාපයක් ලෙස භාවිත කළ හැකිද?
- චෛත්‍යයක් වෙනුවෙන් ජීවිතය පූජා කිරීම යන ප්‍රකාශය බුදු දහමේ ඉගැන්වීම් සමඟ ගැළපෙන්නේද?
- බෞද්ධ සිවුර, ආගමික ස්ථාන සහ සත්‍යග්‍රහය වැනි සමාජ ක්‍රියාකාරකම් දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කිරීම බුදු දහමේ සදාචාර මූලධර්ම අනුව විග්රහ කළ හැක්කේ කෙසේද?
මෙම කරුණු විමසීමේදී පුද්ගලයන් පිළිබඳ දේශපාලන පක්ෂපාතීත්වයකින් හෝ පෞද්ගලික විරෝධයකින් නොව, බුදුන් වහන්සේ දේශනා කළ බවට පැවසෙන ධර්මයේ මිනුම්දඬු භාවිත කිරීම වැදගත්ය.
දිට්ඨ ධම්මවේදනීය කර්මය
බලංගොඩ කස්සප නමැති භික්ෂුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්නේ මාරාන්තික උපවාසයක නිරත වූ භික්ෂූන් වහන්සේලාට පහරදීමෙන් සිදුකරගත් පාපකර්මයේ දිට්ඨ ධම්මවේදනීය විපාකය තවත් දින කිහිපයකින් අනිවාර්යයෙන් ලැබෙන බවයි.
මෙම ප්‍රකාශය තුළ බරපතළ ගැටලුවක් තිබේ. පළමුව, දිට්ඨ ධම්මවේදනීය කර්මය යනු බුදු දහමේ කර්ම විපාක පිළිබඳව ඉගැන්වෙන සංකල්පයකි. එහි අර්ථය වන්නේ යම් කර්මයක විපාකය මේ ජීවිතයේදීම අත්විඳීමට සිදුවීමයි.
පාලි භාෂාවේ ‘දිට්ඨ ධම්ම’ යන්නෙන් මෙලොව හෙවත් වර්තමාන ජීවිතය, ‘වේදනීය’ යන්නෙන් විඳීමට හෝ අත්විඳීමට සිදුවන බව සහ ‘කම්ම’ යන්නෙන් චේතනාත්මක ක්‍රියාව යන අරුත් ගෙන දෙන අතර, ඒ අනුව දිට්ඨධම්මවේදනීය කර්මය යනු පුද්ගලයෙකු විසින් කරනු ලබන චේතනාත්මක ක්‍රියාවක ප්‍රතිඵලය එම වර්තමාන ජීවිත කාලය තුළදීම විඳීමට හෝ අත්විඳීමට සිදුවන කර්ම සංකල්පය පැහැදිලි කළ හැකිය.
බුදු දහමේ කර්මය පිළිබඳ ඉතා වැදගත් දේශනාවක් වන අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයේදී බුදුන් “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් දේශනා කරමින්, මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි යනුවෙන් පෙන්වා දී ඇත. මෙම ඉගැන්වීමට අනුව කර්මය යනු හුදෙක් බාහිරව සිදුවන ක්‍රියාවක් පමණක් නොව, එම ක්‍රියාව පිටුපස පවතින චේතනාව, අරමුණ සහ මානසික ස්වභාවය මත පදනම් වූවක් බැවින් කර්මය තේරුම් ගැනීමේදී ඒවා අතිශයින් වැදගත් වේ. ඒ අනුව කිසියම් පුද්ගලයකු තවත් පුද්ගලයකුට පහරදීමක් වැනි ක්‍රියාවක් සිදු කරන්නේ නම්, එහි කර්මීය අගය විමසා බැලිය යුත්තේ හුදෙක් පහරදීම මත පමණක් නොව, එම ක්‍රියාව තුළ පවතින චේතනාව, ද්වේෂය, හානියක් කිරීමේ අරමුණ සහ ක්රියාවේ ස්වභාවය යන කරුණු පදනම් කරගෙනය.
එහෙත් එම කර්මයේ විපාකය අනිවාර්යයෙන් දින කිහිපයක් ඇතුළත ලැබෙන බවට පුද්ගලයකුට නිශ්චිත අනාවැකියක් පළ කළ හැකිද යන්න වෙනම ප්රශ්නයකි.
දිට්ඨ ධම්මවේදනීය කර්මය ශාපයක් ද?
අභිධර්ම හා අටුවා සම්ප්රදාය තුළ කර්ම විපාක ලැබෙන කාලය අනුව කර්ම වර්ගීකරණයක් දැකිය හැකිය.
- දිට්ඨ ධම්මවේදනීය කර්මය – මේ ජීවිතයේදීම විපාක දෙන කර්මය.
- උපපජ්ජවේදනීය කර්මය – ඊළඟ භවයේදී විපාක දෙන කර්මය.
- අපරාපරියවේදනීය කර්මය – ඉන් අනතුරුව වෙනත් භවයකදී විපාක දිය හැකි කර්මය.
- අහෝසි කර්මය – විපාක දීමට අවස්ථාව නොලැබීමෙන් විපාක රහිත වන කර්මය.
මෙම වර්ගීකරණය අනුව දිට්ඨ ධම්මවේදනීය කර්මය යනු කර්ම විපාකයක් මේ ජීවිතයේදීම ලැබීම පිළිබඳ සංකල්පයකි. නමුත් මෙහිදී අවධාරණය කළ යුතු කරුණක් තිබේ. එනම්, දිට්ඨ ධම්මවේදනීය කර්මය යනු තමන්ට විරුද්ධව කටයුතු කරන පුද්ගලයකුට ඉක්මනින් විපතක් සිදුවන බව ප්‍රකාශ කිරීම සඳහා භාවිත කළ හැකි ආගමික ශාපයක් නොවේ.
බුදු දහමේ කර්මය පිළිබඳ ඉගැන්වීමේ අරමුණ වන්නේ මිනිසා තුළ තම ක්‍රියා පිළිබඳ වගකීම සහ සදාචාරාත්මක අවබෝධය ඇති කිරීම යයි පැවසිය හැකිය. එය වෙනත් පුද්ගලයකුට දඬුවම් පැමිණවීමේ අයිතිය තමන්ට පවරා ගැනීමක් නොවේ.
තවද මෙහි සැලකිල්ලට ගත හැකි තවත් වැදගත් කරුණක් වන්නේ කර්මය පිළිබඳ බුදුන්ගේ ඉගැන්වීම පුද්ගලයාගේ චිත්ත පාරිශුද්ධිය සහ විමුක්තිය කරා යොමු වූවක් මිස, දේශපාලන විරුද්ධවාදියකුට විපතක් සිදුවන තෙක් බලා සිටීමේ මානසිකත්වයක් ගොඩනැගීම නොවන බවයි.
එබැවින් බුදු දහමට අනුව කර්මය පිළිබඳ කතා කරන භික්ෂුවකගෙන් අපේක්ෂා කළ යුත්තේ අනෙකාට ලැබෙන දඬුවම පිළිබඳ අනාවැකි කීම නොව, තමන්ගේ සිත, වචනය සහ ක්‍රියාව පිරිසිදු කරගැනීමේ මාර්ගය පැහැදිලි කිරීමයි.
රුවන්වැලි සෑයට ජීවිතය පූජා කිරීම
තමා බෞද්ධ යයි පවසන බලන්ගොඩ කස්සප මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් රුවන්වැලි මහා සෑයට ජීවිතය පූජා කර ඇති බැවින් කිසිදු බියකින් තොරව සටන ඉදිරියට ගෙන යන බවයි.
“අපි රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට ජීවිතය පූජා කරලා තියෙන්නේ. ආයේ අපිට එතනින් එහා කියන්න දෙයක් නැහැ. රුවන්වැලි සෑයට ජීවිතය පූජා කරා කියලා කියන්නේ අපි දැන් අමරණීය මිනිස්සු.“
මෙම ප්‍රකාශය ද බෞද්ධ දර්ශනයේ මූලික සංකල්ප කිහිපයක් සමඟ සංසන්දනය කළ යුතුය. බුදු දහම තුළ චෛත්‍ය වන්දනාවට සහ බුද්ධ ශාසනයට අදාළ පූජනීය ස්ථානවලට විශේෂ වැදගත්කමක් තිබෙන අතර චෛත්‍යයක් යනු බුදුන් වහන්සේ සිහිපත් කරන, උන්වහන්සේගේ ධාතු තැන්පත් කර ඇති හෝ බුද්ධ ශාසනයේ ඓතිහාසික හා ආගමික උරුමය නියෝජනය කරන පූජනීය ස්ථානයක් ලෙස සැලකිය හැකිය.
රුවන්වැලි මහා සෑය ද එවැනි ඓතිහාසික හා ආගමික වටිනාකමක් සහිත ස්ථානයකි. නමුත් මෙහිදී ප්රශ්නය වන්නේ චෛත්‍යයකට ගෞරව දැක්වීම සහ චෛත්‍යයක් වෙනුවෙන් ජීවිතය පූජා කිරීම යන දෙක එකම දෙයක් නොවීමයි. බුදු දහමේ චෛත්‍ය වන්දනාව යනු බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව, ගුණ සිහිපත් කිරීම, පින් රැස් කිරීම සහ ධර්මය අනුව ජීවත් වීම සමඟ සම්බන්ධ වූවකි. එහෙත් චෛත්‍යයක් වෙනුවෙන් තම ජීවිතය අත්හැරිය යුතු බවට සාමාන්‍ය බෞද්ධ ආචාරධර්මයක් හෝ අනිවාර්ය ආගමික නියෝගයක් නැත.
ධම්මපදයේ අත්ත වග්ගයේ 157 වැනි ගාථාව වන “අත්තානං චේ පියං ජඤ්ඤා – රක්ඛෙය්ය නං සුරක්ඛිතං” යන්නෙන් තමන් තමන්ට ප්‍රිය නම් තමන්ව මනාකොට ආරක්ෂා කරගත යුතු බව දේශනා කර ඇත. එම ගාථාවට අනතුරුව එන 158 සහ 159 යන ගාථා මඟින් පළමුව තමන් නිවැරදි මාර්ගයෙහි පිහිටුවාගෙන අනතුරුව අනෙකාට උපදෙස් දිය යුතු බවත්, අනෙකාට දෙන උපදෙස් පරිදි තමන් ද ක්‍රියාවෙන් ආදර්ශයක් පෙන්විය යුතු බවත් වැඩිදුරටත් අවධාරණය කෙරේ.
මෙහි අර්ථය බුදු දහම තුළ ජීවිතය කෙරෙහි ඇති වටිනාකම තේරුම් ගැනීමට බෙහෙවින් උපකාරී වේ. ජීවිතය යනු ධර්මාවබෝධය ලබාගැනීමටත්, සීලය, සමාධිය සහ ප්‍රඥාව වර්ධනය කරගැනීමටත් ලැබී ඇති දුර්ලභ අවස්ථාවකි. එබැවින් හුදු ආගමික අරමුණක් වෙනුවෙන් ජීවිතය අනවශ්‍ය අවදානමකට ලක් කිරීම පමණක් පුණ්‍ය ක්‍රියාවක් බවට පත් නොවන අතර, මරණයට බිය නොවීම සහ මරණය සොයා යාම යනු දාර්ශනික වශයෙන් එකිනෙකට හාත්පසින්ම වෙනස් කරුණු දෙකක් බව ද වටහා ගත යුතුය.
මෙහිදී සිතිය හැක්කේ, බුදු දහම තුළ නිර්භීතභාවය යනු ජීවිතය විනාශ කරගැනීමට ඇති සූදානම නොව, තෘෂ්ණාව, ද්වේෂය සහ මෝහය පරාජය කිරීමට ඇති හැකියාව යන්නය.
බෝධිසත්ව චරිතවල ජීවිත පරිත්‍යාගය සහ චෛත්‍ය වෙනුවෙන් ජීවිතය පූජා කිරීම
මෙහිදී ඇතැම් විට ප්‍රතිතර්කයක් මතු විය හැකිය. බෞද්ධ සාහිත්‍යයේ බෝධිසත්වයන් තම ශරීරය පවා අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කළ අවස්ථා තිබේ. ව්යාඝ්ර දම්නය වැනි ජාතක කතා සහ බෝධිසත්ව පාරමිතා පිළිබඳ සාහිත්‍යය තුළ එවැනි පරිත්‍යාග පිළිබඳ විස්තර හමුවේ.
නමුත් මෙහිදී පැහැදිලි වෙනස්කම් දෙකක් හඳුනාගත යුතුය. පළමුව, බෝධිසත්ව පාරමිතා සාහිත්‍යයේ එවැනි ජීවිත පරිත්‍යාග නිරූපණය වන්නේ සියලු සත්ත්වයන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් සහ අන්‍යයන්ගේ යහපත උදෙසා සිදුකරන උත්තරීතර පරිත්‍යාගයන් ලෙසය.
දෙවනුව, එම කතා පදනම් කරගෙන ඕනෑම පුද්ගලයකුට තම දේශපාලන හෝ සංවිධානමය අරමුණක් ඉටු කරගැනීම වෙනුවෙන් ජීවිතය පූජා කිරීම බුදු දහමින් අනුමත කළ ක්‍රියාවක් යැයි නිගමනය කළ නොහැකිය. ඒ අනුව, බෝධිසත්ව පාරමිතා පිළිබඳ උත්තරීතර ආදර්ශ සහ කුණු වෙන්න බීමත්ව පාරවල් ගානේ කුණුහරප කියමින් ඇවිදින ඥානසාරලාගේ දේශපාලන අරමුණක් වෙනුවෙන් සිදුකරන මාරාන්තික උපවාසයක් යන දෙක එකම සදාචාරාත්මක කාණ්ඩයකට ඇතුළත් කළ නොහැකිය.
එබැවින් රුවන්වැලි මහා සෑයට ජීවිතය පූජා කළ බවට කරන ප්‍රකාශය ආගමික භක්තිය ප්‍රකාශ කිරීමේ රූපකයක් ලෙස භාවිත කරන්නේ නම් එය එක් අර්ථයකි. නමුත් එය බුදුන් වහන්සේ විසින් දේශනා කළ අනිවාර්ය ආගමික යුතුකමක් හෝ චෛත්‍යයක් වෙනුවෙන් ජීවිතය විනාශ කරගැනීමේ අනුමැතියක් ලෙස ඉදිරිපත් කරන්නේ නම් එය වැරදි අර්ථකථනයකි.
සත්‍යග්‍රහය, මාරාන්තික උපවාසය සහ බුදු දහම
සත්‍යග්‍රහය යනු දේශපාලන හා සමාජ අරගලයකදී ප්‍රතිරෝධය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් වන අතර, එහිදී අසාධාරණයක් සිදුවී ඇතැයි විශ්වාස කරන පාර්ශ්වයක් තම විරෝධය සාමකාමීව ප්‍රකාශ කරයි. බුදු දහමේ එන අවිහිංසාව, මෛත්‍රිය, කරුණාව සහ සම්මා වාචාව වැනි සංකල්ප සමඟ එවැනි සාමකාමී විරෝධතා ක්‍රමවලට යම් සමානතාවක් තිබිය හැකි වුවද, හුදෙක් සත්‍යග්‍රහයක් පැවැත්වීම නිසාම එය බෞද්ධ ක්‍රියාවක් බවට පත් නොවේ. එය බෞද්ධ ප්‍රතිපදාවකට කොතෙක් දුරට එකඟ වන්නේද යන්න තීරණය කිරීම සඳහා එය සිදුකරන පුද්ගලයන්ගේ අරමුණ, ක්‍රමවේදය, භාවිත කරන භාෂාව සහ එම ක්‍රියාවෙන් අනෙකාට ඇතිවන බලපෑම ද විමසා බැලිය යුතුය.
ද්වේෂය, වෛරය, ප්රචණ්ඩත්වය, බියවැද්දීම් හෝ දේශපාලන ප්‍රතිවාදීන්ට තර්ජනය කිරීම සිදුකරන්නේ නම් එම ක්‍රියා බෞද්ධ සදාචාරය සමඟ කිසිසේත්ම ගැළපෙන්නේ නැති අතර මාරාන්තික උපවාසයක් සම්බන්ධයෙන් ද මෙම මූලධර්මය එලෙසම අදාළ වේ. උපවාසය යනු ඇතැම් ආගමික හා දාර්ශනික සම්ප්‍රදායන් තුළ දක්නට ලැබෙන ක්‍රියාවක් වුවද, ශරීරයට දුක් දීමෙන් පමණක් ආධ්‍යාත්මික පාරිශුද්ධිය හෝ ධර්මාවබෝධය ලැබෙන බව බුදු දහම පිළිගන්නේ නැත.
කස්සප බුදු පුතෙක් නම් ඒ පිළිබඳව නැවත නැවත සිතිය යුතුය. ප්‍රැක්ටිස් කල යුතුය. ප්‍රැක්ටිස් කළයුත්තේ පොල්ලේ සටන් නොවේ. බුදුන් වහන්සේ තමන් බෝධිසත්ව අවධියේ අනුගමනය කළ අතිශය දුෂ්කර ශරීර පීඩාකාරී තපස් ක්‍රම අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගත් බව බුද්ධ චරිතයෙන් මනාව පැහැදිලි වේ. ඒ අනුව උපවාසයක නිරත වීම යනු හුදෙක් ආධ්‍යාත්මික උසස් බවක් සනාථ කරන ක්‍රියාවක් නොවන අතර, එය සමාජ විරෝධතා ක්‍රමයක් ලෙස යොදාගත හැකි වුවත් එහි සැබෑ සදාචාරාත්මක වටිනාකම තීරණය වන්නේ එය පිටුපස ඇති අරමුණ සහ ක්‍රියාකාරීත්වය අනුවය.
සිවුර ගැලවීම සහ ඇන්දවීමේ අයිතිය
බුදු දහම තුළ චීවරය යනු හුදෙක් ඇඳුමක් නොව, ගිහි ජීවිතයේ සාමාන්‍ය සමාජ තත්ත්වයන්ගෙන් වෙන්වී නිර්වාණ මාර්ගය අනුගමනය කිරීම සඳහා පැවිදි වූ බව නියෝජනය කරන සංකේතයකි.
එබැවින් චීවරය දැරීම යනු සමාජයෙන් විශේෂ ගෞරවයක් අපේක්ෂා කිරීමේ අයිතියක් පමණක් නොව, විශේෂ සදාචාර වගකීමක් ද වන අතර, විනය පිටකය තුළ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම, ලිංගික විනය, දේපළ සම්බන්ධ හැසිරීම, අසත්‍ය ප්‍රකාශ, ප්රචණ්ඩත්වය සහ සංඝ සමාජයේ විනය පවත්වාගෙන යාම පිළිබඳ විධිවිධාන පනවා තිබේ. විශේෂයෙන් පාරාජිකා යනු බෞද්ධ භික්ෂු විනයෙහි ඉතා බරපතළ වරද කාණ්ඩයක් වන අතර, එවැනි වරදක් සිදුකළ භික්ෂුවකට එම භික්ෂුභාවය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව විනය පිටකයේ සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ චීවරය යනු නීතියෙන් හෝ සමාජයෙන් විශේෂ ආරක්ෂාවක් ලබාගැනීමට භාවිත කළ හැකි වරප්‍රසාදයක් නොවන බවයි.
නීතියට ඉහළින් චීවරය
මෙහිදී මූලිකව වටහාගත යුතු කරුණ වන්නේ බෞද්ධ භික්ෂුවක් වීම නිසා පුද්ගලයකු රටක සාමාන්‍ය නීතියෙන් නිදහස් නොවන අතර, භික්ෂුවකට ද ගිහි පුද්ගලයකුට මෙන්ම නීතිය ඉදිරියේ සමාන වගකීමක් තිබෙන බවයි. යම් භික්ෂුවක් අපරාධයක් සිදුකර ඇත්නම් ඒ පිළිබඳව සාක්ෂි මත අධිකරණ ක්‍රියාවලියක් සිදුවිය යුතු අතර, භික්ෂුභාවය හේතුවෙන් නීතිමය වගකීමෙන් නිදහස් කළ යුතු බවට බුදු දහම තුළ කිසිදු මූලධර්මයක් නැත.
එසේම අධිකරණ තීන්දුවකට එකඟ නොවන පාර්ශ්වයකට නීත්‍යනුකූල අභියාචනා සහ වෙනත් නීතිමය ක්‍රමවේද භාවිත කළ හැකි වුවද, අධිකරණ තීන්දුවකට එරෙහිව චීවරය දේශපාලන බලපෑම් කිරීමේ මෙවලමක් බවට පත් කිරීම සහ ආගමික සංවේදීතාවන් උත්තේජනය කරමින් ජනමතය මෙහෙයවීම වෙනම විමර්ශනය කළ යුතු කරුණකි.
ඒ අනුව, ඉදිරිපත් වන පසුබිම තුළ යම් භික්ෂුවකට එරෙහි නීතිමය හෝ විනයමය ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කිරීමේදී මතුවන මූලික ප්රශ්නය වන්නේ අධිකරණ තීන්දුවකට විරෝධය පළ කිරීම සහ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම යන දෙක එකක් ලෙස හඳුන්වා දිය හැකිද යන්නයි.
භික්ෂුවකගේ නීතිමය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සාධාරණ අරමුණක් විය හැකි නමුත්, ඔහුගේ ක්‍රියා පිළිබඳ නීතිමය වගකීමෙන් නිදහස් කිරීම ඊට වෙනස් කාරණයකි. අවසාන වශයෙන්, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම යනු කිසියම් භික්ෂුවකගේ පෞද්ගලික දේශපාලන හෝ නීතිමය අරමුණු ආරක්ෂා කිරීම නොව, බුදුන් වහන්සේගේ ධර්මය, විනය සහ එහි සදාචාරාත්මක පදනම ආරක්ෂා කිරීමයි.
කස්සපගේ මාධ්‍ය ප්‍රකාශ සහ සම්මා වාචා
කස්සපගේ මාධ්‍ය ප්‍රකාශ තුළ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ එහි භාවිත කරන භාෂාවයි. තමන්ගේ හඬ නිහඬ කිරීමට මාංචු ප්‍රමාණවත් නොවන බවත්, තමන්ගේ සටන අවසන් නොකරන බවත් ඔහු පවසන අතර එවැනි ප්‍රකාශයක් විරෝධතාවක අධිෂ්ඨානය ප්‍රකාශ කිරීමක් ලෙස තේරුම් ගත හැකිය. නමුත් ඒ සමඟම ආණ්ඩුව රට සිවිල් අරගලයක් කරා ගෙන යන බවත්, රට ලේ ගංගාවක් බවට පත් කිරීමට සූදානම් වන බවත් ප්‍රකාශ කිරීම සහ තමන් දන්නා බව කියන ප්‍රහාරයේ සැලසුම්කරුවන්ට හා අරමුදල් සැපයූවන්ට දඬුවම් ලැබෙන බවට තර්ජනාත්මක ස්වරයකින් කතා කිරීම පිළිබඳව ද විමසිය යුතුය.
මෙහිදී සම්මා වාචාව යන බෞද්ධ සංකල්පය වැදගත් වන අතර එය අසත්‍යයෙන් වැළකීම පමණක් නොව කේලාම්, පරුෂ වචන සහ හිස් වචනවලින් වැළකීම ද ඇතුළත් පුළුල් සදාචාරාත්මක පිළිවෙතකි. බුදු දහම අනුව වචනයක් ප්‍රකාශ කිරීමේදී එය සත්‍යයක්ද, ප්‍රයෝජනවත්ද, සුදුසු අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේද යන්න සැලකිල්ලට ගත යුතුය. විරුද්ධ මතයක් දැරීම හෝ ආණ්ඩුවක් විවේචනය කිරීම බුදු දහමට පටහැනි නොවන නමුත් විවේචනයේ නාමයෙන් වෛරය වර්ධනය කිරීම, බිය ඇති කිරීම සහ සාක්ෂි ඉදිරිපත් නොකර පුද්ගලයන්ට චෝදනා කිරීම බෞද්ධ සදාචාරය තුළ සාධාරණීකරණය කළ නොහැකිය.
බුදු දහමේ විකෘතියක්ද? ආගමික වංචාවක්ද?
දිට්ඨ ධම්මවේදනීය කර්මය වෙනත් පුද්ගලයකුට ශාප කිරීමේ හෝ දඬුවම් ලැබෙන දිනය ප්‍රකාශ කිරීමේ සංකල්පයක් නොවන අතර, රුවන්වැලි මහා සෑය වෙනුවෙන් ජීවිතය පූජා කිරීම ද බුදුන් වහන්සේ විසින් පනවන ලද ආගමික යුතුකමක් නොවේ. එබැවින් චෛත්‍ය වන්දනාව, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ ජීවිතය පරිත්‍යාග කිරීම යන සංකල්ප එකිනෙකට පටලවා ගැනීමෙන් බුදු දහමේ මූලික ඉගැන්වීම් විකෘති විය හැකිය.
යම් පුද්ගලයකු තමන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා හිතාමතාම බුදු දහමේ ඉගැන්වීම් වැරදි ලෙස අර්ථකථනය කරන්නේ නම්, ආගමික සංකේත භාවිතයෙන් මහජනතාව නොමඟ යවන්නේ නම් හෝ තමන්ට නැති ආගමික අධිකාරියක් මවාපාන්නේ නම් එය ආගමික වංචාවක් ලෙස පැවසිය හැකිය.
බුදු දහම ආරක්ෂා කිරීම යනු විහාර මහා දෙවි උද්‍යානයේ මොනවහරි කිරීම, චෛත්‍යයක් ඉදිරිපිට සටන් පාඨ කීම, දුටුගැමුණු පේන බවට මරු විකලෙන් දෙඩවීම හෝ ඥානසාර හෝ වෙනත් අයෙකුට එරෙහි නීතිමය ක්‍රියාමාර්ගයකදී ඔහුගේ දේශපාලන පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමට නොව බුදුන් දේශනා කළ සීලය, සමාධිය, ප්‍රඥාව සහ මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම බව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව වඩාත් වැදගත් වේ. එසේම ධම්මපදයේ 19 සහ 20 ගාථාවලින් ද ධර්මය පිළිබඳ බොහෝ දේ කතා කළ පමණින් පුද්ගලයකු ධර්මයට අනුව ජීවත් වන්නේ නැති බවත්, ධර්මය හුදු කතාවකට සීමා නොකර එදිනෙදා ජීවිතය තුළ ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවත් මැනවින් පැහැදිලි කෙරේ.
රුවන්වැලි සෑය ඉදිරිපිට සිදු වූ සත්‍යග්‍රහය සහ ගැටුම පිළිබඳ සිදුවීමෙන් ඉදිරියට පැමිණ ඇති කස්සපගේ ප්‍රකාශ තුළ බෞද්ධ දර්ශනය පිළිබඳව සාකච්ඡා කළ යුතු වැදගත් කරුණු කිහිපයක් තිබෙන අතර, එහිදී දිට්ඨ ධම්මවේදනීය කර්මය යනු කර්ම විපාක පිළිබඳ බෞද්ධ සංකල්පයක් මිස තම දේශපාලන විරුද්ධවාදීන්ට විපත් පැමිණෙන බවට කරන තර්ජනයක් නොවන බව වටහා ගත යුතුය.
එමෙන්ම චෛත්‍ය වන්දනාව යනු බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සහ ගෞරවය දැක්වීමේ ක්‍රියාවක් මිස චෛත්‍යයක් වෙනුවෙන් ජීවිතය විනාශ කරගැනීමේ ආගමික නියෝගයක් නොවන අතර, චීවරය යනු දේශපාලන බලය ලබාගැනීමේ මෙවලමක් නොව සීලය සහ විනය නියෝජනය කරන සංකේතයක් බව ද සිහිපත් කළ යුතුය.
ඓතිහාසික කතාව අනුව දුටුගැමුණු මැරෙන්න යද්දී රුවන්වැලිසෑය දිහා බලා සිටි බව පැවසෙන නමුදු මැරෙන්න අවශ්‍ය වී හෝ මැරෙන බව පවසා අනෙක් මිනිසුන් රවටා ගැලවුණු රෙද්දක් හෝ සිවුරක් වෙනුවෙන් රුවන්වැලි සෑය දිහා බලාගෙන පොල්ලේ බලේ පෙන්වා නැත.
මෙහිදී තවත් මූලික කරුණක් මතක් කළ යුතු වන්නේ බුදු දහම තුළ කර්මය පිළිබඳ ඉගැන්වීමේ අරමුණ අනෙකාගේ විනාශය අපේක්ෂා කිරීම නොව, තමන්ගේ අකුසල් හඳුනාගෙන ඒවායින් මිදීම බවයි. අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රය අනුව බුදුන් වහන්සේ කර්මයේ හටගැනීම, ස්වභාවය, විපාකය සහ කර්ම නිරෝධය පිළිබඳව දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සමඟ සම්බන්ධ කරමින් වන අතර, එහි අවසාන අරමුණ පුද්ගලයා දුකින් මිදීමේ මාර්ගයට යොමු කිරීමයි.
ඒ අනුව දේශපාලන විරුද්ධවාදියකුට දින කිහිපයකින් කර්ම විපාක ලැබෙන බවට ප්‍රකාශ කිරීම වෙනුවට, තමන්ගේ ක්‍රියා, වචන සහ සිතුවිලි පිළිබඳ ස්වයං විමර්ශනයක් කිරීම බෞද්ධ භික්ෂුවකට වඩාත් ගැළපෙන පිළිවෙතක් වන අතර, අවසානයේදී වැදගත් වන ප්රශ්නය වන්නේ කවුරුන් බුදු දහම වෙනුවෙන් කෑගසන්නේද යන්න නොව, කවුරුන් බුදු දහමේ ඉගැන්වීම් අනුව ජීවත් වන්නේද යන්නයි.
