නි. ඇමති ප්‍රසන්නගෙන් රාජ්‍ය සේවකයින්ට අභියෝගයක්… පුලුවන්නම් Pay Slip දාල පෙන්නන්න…

නොවැම්බර් 30 වැනිදා රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මේ මොහොතේ තවදුරටත් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටීම සාධනීය ඉල්ලීමක් ලෙස සැලකිය නොහැකි බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක ආර්ථික අර්බුදය සහ උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලංකාවට ද ආර්ථික පීඩනයකට මුහුණ දීමට සිදුව ඇති බැවින් මේ අවස්ථාවේ තවදුරටත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ හැකියාවක් රජයට නොමැති බවයි.

වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩිවීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අදාළව වෛද්‍යවරුන්ට ලැබෙන සැබෑ වැඩිවීම බදු සහ අනෙකුත් අඩු කිරීම් හේතුවෙන් රුපියල් 6,500ක් පමණක් බවට පළවන අදහස් සම්පූර්ණයෙන්ම වැරදි බවයි.

තම පවුලේ ද වෛද්‍ය සේවයේ නිරත පුද්ගලයෙකු සිටින බැවින් වැටුප් පත්‍රිකා පරීක්ෂා කර බැලූ බවත්, 2024 සැප්තැම්බර් මාසයේ වැටුප් පත්‍රිකාව සහ වර්තමාන වැටුප් පත්‍රිකාව සංසන්දනය කිරීමේදී සැලකිය යුතු වෙනසක් දැකිය හැකි බවත් ඔහු පැවසීය. එබැවින් එවැනි ප්‍රකාශ සිදු කිරීම වැරදි බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, 2024 සැප්තැම්බර් මාසයේ වැටුප් පත්‍රිකාව සහ 2025 ජනවාරි මාසයේ වැටුප් පත්‍රිකාව සමාජ මාධ්‍යයට ඉදිරිපත් කර වැටුප් වෙනස පෙන්වන ලෙස රාජ්‍ය සේවකයන්ට අභියෝගයක් ද කළේය.

“දැන් වැටුප් වැඩි කරලානේ තියෙන්නේ. ඒ කියන්නේ 2025ත් වැඩි කරා. බැලුවොත් එහෙම මූලික වැටුප 60%ත් 70%ක් වගේ ප්‍රමාණයකින් මේ අවුරුදු තුන ඉවර වෙනකොට 2027 වෙනකොට සෑම රාජ්‍ය සේවකයෙකුගේම වැඩි වෙලා තියෙනවා. 2024 දෙසැම්බර් මාසේ අපිට හම්බවෙනවා pay slip එක කියලා එකක්, වැටුප් පතක්. ඒක ඇරගෙන 2025 ජනවාරි 25 වැටුප හම්බවුනාට පස්සේ මම රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ දෙක ළං කරලා එකට තියලා ෆොටෝ එකක් ගහලා දාන්න ඔය තියෙන සමාජ මාධ්‍ය ජාල පුළුවන් නම්. අභියෝග කරනවා.

කෙසේ වෙතත්, ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවකයන් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටීමට පෙරම රජය අයවැය තුනක් ඔස්සේ වැටුප් වැඩි කිරීම් යෝජනා කර ක්‍රියාත්මක කර ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව 2025 සහ 2026 ජනවාරි මාසවලදී වැටුප් වැඩි කිරීම් සිදුකර ඇති අතර, 2027 ජනවාරි මාසයේදී ද මූලික වැටුප් වැඩි කිරීමක් සිදුකිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම වසර තුනක කාලය අවසන් වන විට රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බවයි. ඊට අමතරව රජයට දැරිය හැකි ආකාරයෙන් දීමනා ද යම් ප්‍රමාණයකින් වැඩි කර ඇති බවත්, එම වැඩිවීම් ප්‍රමාණවත් නොවන බවට පවතින අදහස රජය පිළිගන්නා බවත් ඔහු පැවසීය.

රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 2,000ක පමණ මුදලක් වෙන් කරන බවත්, එයින් රුපියල් බිලියන 1,400ක් පමණ වැටුප් සහ වේතන සඳහා ද රුපියල් බිලියන 400ක් පමණ විශ්‍රාම වැටුප් සඳහා ද වෙන් කරන බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම රුපියල් බිලියන 2,000ක පමණ මුදලක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති බවත්, රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 6,100ක් පමණ වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙවැනි විශාල මුදලක් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කර තිබියදී තවදුරටත් වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත්, වෘත්තීය සමිතිවලට සහ රාජ්‍ය සේවකයන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට, විරෝධතා දැක්වීමට සහ උද්ඝෝෂණවල නිරත වීමට ඇති අයිතිය රජය පිළිගන්නා බව ඔහු පැවසීය.

එය මානව අයිතිවාසිකමක් බව පෙන්වා දුන් ඔහු, මේ මොහොතේ රජය උත්සාහ කරන්නේ රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව රටට ආදරය කරන රාජ්‍ය සේවකයන්ට අවබෝධ කර දීමට බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Author

Leave a Reply

Related Posts