මත්තේගොඩ පිටකොටුව බස් වර්ජනය උග්‍ර අතට – සේවකයන්ගේ වැසිකිලියත් කඩා දාලා

බස් රථ සේවකයින්ට බස්රථ ධාවනයට බාධාවන පරිද්දෙන් හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් මත්තේගොඩ බස් නැවතුම්පොළ භූමියේ ව්‍යාපාරික ස්ථාන සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට විරෝධය පළ කරමින් බස් සේවකයින් බස් ධාවනයෙන් ඉවත්ව ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය අද (26) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ. 138/2 මත්තේගොඩ පිටකොටුව බස්රථ මෙලෙස ධාවනයෙන් ඉවත් වී වර්ජනයක නිරත වේ.

මෙම වර්ජනය හේතුවෙන් පාසල් සිසුන්, කාර්යාල සේවකයින් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවයට් පත්ව ඇති අතර පාසල් සිසුන් සඳහා උදෑසන කාලයේ මත්තේගොඩ සිට කොට්ටාව දක්වා බස් රථ දෙකක් නොමිලේ ධාවනය කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා නිවේදනයක්ද නිකුත් කර තිබේ.

අප මත්තේගොඩ පිටකොටුව බස් වර්ජනය හේතුවෙන් ගමන් අපහසුතාවය පත් වන පාසල් දරුවන්ට මත්තේගොඩ සිට කොට්ටාවට ගමන් පහසුව සලසා දීමට අප තීරණය කර ඇත පෙ.ව 06.00/ 06.30/ 07.00 අප බස් රථ නොමිලේ ප්‍රවාහනය කරන බව මෙයින් දන්වා සිටිමි. අප වර්ජනය හේතුවෙන් ගමන් අපහසුතාවට පත් මඟී ජනතාවට අපගේ බලවත් කණගාටුව.

මෙම ඉදිකිරීම නතර නොකරන්නේ නම් වැඩවර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බවත් එම බස් සංගම් පවසන අතර
මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට කැමති බවත් මේ සම්බන්ධයෙන් කඩිනමින් සාධාරණයක් අවශ්‍ය බව ඔවුන් ප්‍රකාශ කර සිටී.

බස් රථ ධාවනයට බාධා වන පරිදි මෙම ඉදිකිරීම සිදුකිරීමට එරෙහිව ඊයේ (25) ආරම්භ වූ මෙම වර්ජනය හේතුවෙන් අදාළ මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටින අතර, සේවකයින් සහ මගීන් පිරිසක් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළහ. මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිදු පූර්ව දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවත්, බස් නැවතුම්පොළ පරිශ්‍රයේ සීමිත ඉඩකඩ තවදුරටත් අහිමි වන බවත් සේවකයෝ පවසති.

අදහස් දැක්වූ එක් කොන්දොස්තරවරයෙක් මෙසේ පැවසීය.

“මේකට අපි විරුද්ධයි මොකද ප්‍රාදේශීය සභාව මේක කාටවත් දැනුවත් කරලා නෑ, මේ විදියට හදනවා කියලා. හැම තැනම උඩ තට්ටු වලින් ගෑණු ළමයි බලන් ඉන්නවා, ඉතින් අපිට ටොයිලට් එකට යන්න බෑ. ඊට පස්සේ අපි ආයේ ෂිප් එක දාගෙන අනිත් පැත්තට යනවා. අපිට චූ කරන්න තියා මොනවටවත් යන්න බෑ. මෙතන කඩපේළියක් ගැහුවහම ඊට පස්සේ මුඩුක්කුවක් එනවා; ගංජා ගහන්න, කුඩු ගහන්න, අරවා ගන්න මේවා ගන්න මෙතන පුරුදු වෙනවා.”

වර්ජනයට එක්ව සිටින තවත් සේවකයෙකු සඳහන් කළේ, මීට මාස තුනකට පමණ පෙර පැවති වැසිකිළි පද්ධතිය කඩා දැමුවද එය තවමත් ඉදිකර අවසන් කර නොමැති බවයි. බස් නැවතුම්පොළේ වාහන ගාල් කිරීමට ඇත්තේ සීමිත ඉඩක් බවත්, එවැනි පසුබිමක කඩපේළියක් ඉදිකිරීමෙන් සේවකයින්ට මෙන්ම මගීන්ටද දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

තවත් සේවකයෙක් සඳහන් කළේ බස් රථ 35–38ක් පමණ මෙම මාර්ගයේ ක්‍රියාත්මක වන බවත්, ටයිම් කීපින් කුටියට අමතරව සේවකයින්ට රැඳී සිටීමට ඇති සුළු ඉඩ ප්‍රමාණයේ කඩපේළියක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්ය.

සාකච්ඡාවකින් අනතුරුව කටයුතු කරන බවට මීට පෙර පොලිස් මැදිහත්වීම මත දැනුම් දී තිබුණද, ඊයේ පෝය දිනයේ සහ අද උදෑසන සිට යළි වැඩ ආරම්භ කර මාර්ගය අවහිර වන පරිදි කටයුතු කර ඇති බවටද සේවකයෝ චෝදනා කළහ. එසේම, කුඩා වැසිකිළි කාමරයක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 20ක් වෙන් කර දින 107ක ටෙන්ඩරයක් ලබා දී තිබීම සහ එහි කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන්ද ඔවුහු සිය අප්‍රසාදය පළ කළහ.

අදාළ ඉදිකිරීම් සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් සහ මෙම ගැටලුව නිමා වන තෙක් 138/2 මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටින බව වර්ජනයේ නිරත සේවකයෝ වැඩිදුරටත් පැවසූහ.

Author

Leave a Reply

Related Posts