සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත හැදුවේ කවුද, හර්ෂණ නිරුත්තර වේ, වටගල පිළිතුරු දේ

සංවිධානාත්මක අපරාධ වැළැක්වීම පිළිබඳ පනත් කෙටුම්පත කෙටුම්පත් කරන ලද්දේ කවුරුන් විසින් ද යන්න පිළිබඳ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාරගෙන් අසන ලද පැනයකට අද (නොවැම්බර් 26) ඔහු පිළිතුරු ලබාදීම මඟහැරියේය.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සානික්කියන් රාසමානික්කම් විසින් එසේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමතිවරයාගෙන් එසේ අසන ලද අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ ජාතික ජනපබලවේගයට ජනවරමක් ලබාදී ඇත්තේ නීති අණ පනත්වලින් ආයුධ ගබඩාවක් සෑදීමට නොවන බවත් එය ඉතා භයානක බවත්ය.

එමෙන්ම මෙම ආණ්ඩුව නොකරනවා යැයි කීවද, ඉදිරියේදී එම අණ පනත් අපයෝජනයට ලක්විය හැකි බවත්, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත ඇතුළු ආණ්ඩුව ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් ජනතාව මර්ධනය කිරීමට ඉදිරිපත් කර ඇති අණ පනත් බවත්ය.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පීටීඒ ප්ලස් (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත) බවට සිවිල් සමාජ සාමාජිකයන් පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කරන විට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පවා උත්තර දිය නොහැකි වූ බවද රාසමානික්කම් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

ඉන්පසු අධිකරණ අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල සානික්කියන් රාසමානික්ම් මන්ත්‍රීවරයාට පිළිතුරු ලබාදෙමින් පැවසුවේ ජාතික ජන බලවේගය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ප්‍රතිඥාවක් ලබාදී ඇති බවත්, ඒ කී විදියටම එය සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බවත්, ඒ සඳහා නව පනතක් ගෝලීය වශයෙන් අවශ්‍ය බවත්, එය කවුරුත් පිළිගන්නා බවත්ය.

එමෙන්ම ඔහු සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත සම්පාදනය කළේ කවුද යන්න පිළිබඳ පිළිතුරු ලබාදෙමින් පැවසුවේ එය විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, මාලිකා සූරියප්පෙරුම ඇතුළු 9 දෙනෙකු විසින් සිදුකළ බවය.

Author

Leave a Reply

Related Posts