ඩොලර් මිලියන 2.5 සිද්ධිය අයිඑම්එෆ් වැඩසටහනට බලපානවාලු! නිලධාරිනියක් කියපු කතාව!

අලුතින් පිහිටුවන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයෙන් (PDMO) මෑතකදී සිදුවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක සයිබර් සොරකම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට සෘජු බලපෑමක් ඇති කර ඇති බව ඉහළ පෙළේ නිලධාරිනියක ඩේලි මිරර් වෙත ප්‍රකාශ කර තිබේ.

වංචා සහගත ක්‍රියාවලියකින් ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ස්වෛරී ණය ආපසු ගෙවීමක් මෙලෙස වංචාවට ලක් කර තිබුණි. මේ වන විට සිදුවීම ගැන විමර්ශන පැවැත්වේ.

IMF හි නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වෝල්ඩේමිචෙල් ‘ඩේලි මිරර්’ වෙත විද්‍යුත් තැපෑලක් මගින් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ, ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ විදේශ ණය ගෙවීම අතපසු වීම හේතුවෙන් නව විදේශ ගෙවීම් හිඟයන් වළක්වා ගැනීමේ අඛණ්ඩ කාර්යසාධන නිර්ණායකය පවත්වා ගැනීමට නොහැකි වූ බවයි.

මේ හේතුවෙන් පස්වන සහ හයවන සමාලෝචන යටතේ හිමිවන වාරික ලබාගැනීම සඳහා බලධාරීන් විසින් සමාවක් (waiver of nonobservance) ඉල්ලා ඇත. මඟ හැරුණු ගෙවීම්වල ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.002% ක් වැනි සුළු අගයක් වීම සහ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම යන කරුණු මත පදනම්ව මෙම ඉල්ලීම සිදු කර තිබේ.

ඇයට අනුව, මෙම නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග අනුව හැකි ඉක්මනින් එම හිඟ මුදල් පියවිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇත.

මීට අමතරව ජුනි මස අවසන් වීමට පෙර රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීමට දැනුම් දී තිබේ. ගිණුම් විස්තර සහ ගෙවීම් ප්‍රමාණයන් ශක්තිමත්ව සත්‍යාපනය කිරීම සඳහා පහසුකම් සැලසීමට අගෝස්තු අග වන විට නව ණය කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම.

“අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ එක්ව, තාක්ෂණික සහාය හරහා PDMO හි ධාරිතාව අඛණ්ඩව ශක්තිමත් කිරීමට IMF සමීපව කටයුතු කරයි. එය පිහිටුවීමේ සිට මේ දක්වා ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, PDMO සිය පළමු මධ්‍ය කාලීන ණය උපායමාර්ගය සහ වාර්ෂික ණය ගැනීමේ සැලැස්ම ප්‍රකාශයට පත් කිරීමට මෙන්ම සතිපතා දේශීය බැඳුම්කර වෙන්දේසි පැවැත්වීමට පියවර ගනිමින් සිටී. විචක්ෂණශීලී ණය කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමට, දේශීය ණය වෙළෙඳපොළ පුළුල් කිරීමට සහ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත නැවත පිවිසීමට සහාය වීම සඳහා අඛණ්ඩ ධාරිතා වර්ධනය ඉතා වැදගත් වේ,” යැයි ඇය වැඩිදුරටත් පවසා ඇත.

ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ වංචාව සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය පවසා සිටියේ, එය සේවක විෂමාචාරයක් මත සිදු වී ඇති බවත්, ප්‍රමාණවත් අභ්‍යන්තර සහ බාහිර පාලන යාන්ත්‍රණයන් නොමැති වීම හේතුවෙන් එය නියමිත වේලාවට හඳුනාගැනීමට නොහැකි වී ඇති බවත්ය.

මහ බැංකුව ඊට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, පුළුල් බැංකු ක්ෂේත්‍රය කෙරෙහි ඇති විශ්වාසයට එල්ල විය හැකි බලපෑම් වැළැක්වීම සඳහා අදාළ බැංකුවේ මුදල් ලාභාංශ බෙදා හැරීම අත්හිටුවීමට සහ පද්ධතිමය ද්‍රවශීලතා සහාය (liquidity support) ලබාදීමට පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණය වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් (forensic audit) ද මේ වන විට ආරම්භ කර ඇතැයි දැනුම් දී තිබෙන බව ඇය සඳහන් කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading