රොනාල්ඩෝයි, නේමාරුයි මැච් එක බල බල හිටියා! එච්චරයි! – මොරොක්කෝ සහ බ්‍රසීල තරගයේ වෙච්ච දේ!

නිව් ජර්සි හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ විශේෂ අමුත්තන්ගේ කුටියේ රැඳී සිටි ඒ බිහිසුණු ඇස් ක්‍රීඩා පිටියේ සිටි සියල්ලන්ව බිය ගන්වන්නට ඇති.

රොනාල්ඩෝ, රොබර්ටෝ කාර්ලෝස් සහ කාකා මීට දශක දෙකකටත් පෙර බ්‍රසීලයට අවසන් වරට ලෝක කුසලානයක් ගෙන ආ ඒ වීරයන්ගේ බැල්ම ප්‍රතිවාදීන්ටත් වඩා බිය ගෙන දෙන්නට ඇත්තේ බ්‍රසීලයේම කණ්ඩායමටයි.

බ්‍රසීලය සහ මොරොක්කෝව අතර පැවති ලෝක කුසලාන තරගයේදී පිටිය මැද සිටි රෆීනියා සහ විනීසියස් ජූනියර් වැනි ක්‍රීඩකයින්ව ඔවුන් තමා දෙස බලා සිටිනවාය කියන හැගීම බියජනක වෙන්නට ඇති.

මේ මැච් එක බල බල හිටපු තව චරිතයක් තමයි බ්‍රසීලයේ වත්මන් පාපන්දු දෙවියා නේමාර්. රොනාල්ඩෝ 2002 ලෝක කුසලානය අරන් දුන්නේ ආබාධයකින් පස්සේ සම්පූර්ණයෙන් වැඩ නොකරපු කකුලක් ඒක කියන එක ප්‍රසිද්ධයි. නේමාර් දිගටම බංකුවේ ඉදීවිද, රොනාල්ඩෝ වගේ යමක් කරනු ඇතිද යන්න අනාගතයට ඉතිරි කරන්න ඕනෑ කතාවක්.

අහිමි වූ බ්‍රසීලියානු අභිමානය යළිත් සොයාගැනීමේ බර කරපින්නාගෙන පිටියට පිවිසි කාර්ලෝ ඇන්චෙලොට්ටි විසින් මැනේජ් කළ බ්‍රසීල කණ්ඩායම අද මුහුණ දුන්නේ අප්‍රිකාවේ විශිෂ්ඨම කණ්ඩායම වූ මොරොක්කෝවට. ශ්‍රී ලංකාව ක්‍රිකට්වලදී සිංහයන් කීවාට, මොරොක්කෝව පාපන්දුවලදී ‘සිංහයන්‘ ලෙස තමන්ව හදුන්වාගන්නවා.

ඔවුන් පසුගියවර අප්‍රිකානු ශූරයින් වූ ආකාරය ඉහළින්ම පිළිගැනීමට ලක් නොවුණාට අප්‍රිකානු මහාද්වීපයට නුදුරේදී ලෝක කුසලානයක් ගේනවා නම් එය කළ හැක්කේ මොරොක්කෝවට. තරගය බලන්නත් ඇවිත් හිටපු නිව් යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි පවා අනාවැකි කියා තිබුණේ ඒ ගැන.

තරගය සාපේක්ෂව කම්මැලියි. බලන්නට ලස්සන බ්‍රසීලය වෙනුවට රෆීනියා බෝලෙට කකුල දාගෙන ගෝල් එකක් ගහගන්න උත්සාහ කරන හැටි බලන්න සිද්ධවුණා.

තරගයේ මුල් මිනිත්තු කිහිපය ගෙවී යද්දීම බ්‍රසීල ජාතිකයින් සහමුලින්ම අන්දමන්ද කරමින් මොරොක්කෝව ප්‍රථම ප්‍රහාරය එල්ල කළා.

බ්‍රහීම් ඩයස් මොරොක්කෝ අන්තයේ සිට ක්ෂණිකව බ්‍රසීල අන්තය දිහාට අලංකාර පන්දු යොමු කිරීමක් කළා. පෙනල්ටි කලාපයට බෝලය වේගයෙන් ඇතුළට යද්දී ඉස්මායිල් සයිබාරිගේ තමන්ගේ වේගයයි, ජවයයි පෙන්වමින් බෝලයට ක්ෂණිකව ළගා වුණා. බ්‍රසීලයේ අතිවිශිෂ්ට ගෝල රකින්නා වූ ඇලිසන් බෝලයට ආවත් සයිබාරි ඔහුට ඉහළින් බෝලය ඔසවා ගෝල් එකට යොමු කළේ කිසි කලබලයක් නැතිව.

ස්පාඤ්ඤයේ උපත ලබා බෙල්ජියමේ හැදී වැඩුණු සයිබාරි යනු නෙදර්ලන්තයේ පීඑස්වී අයින්හෝවන් කණ්ඩායම නියෝජනය කරන අතිවිශිෂ්ට තරුණ ප්‍රහාරකයෙක්. පසුගිය සීසන් එකේදී ඇසිස්ට් මෙන්ම ගෝල් ලබා ගනිමින් ලීග් එකේ විශිෂ්ඨම ක්‍රීඩකයා වුණා. පීඑස්වී කණ්ඩායමේ තීරණාත්මකම තරගවලදී සයිබාරි ගැන විශ්වාසය තැබිය හැකි බව කියනවා. ඒක මේ තරගයේදීත් පෙනුණා.

සයිබාරි ඇත්තටම ස්පාඤ්ඥයේ උපත ලැබූවෙක් මෙන්ම නෙදර්ලන්තයේ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කළත්, පාපන්දුවලදී ඔබට ඔබේ මුල් උරුමය සිත රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නට අවසර තිබෙනවා. ඒ අනුව ඔහු යුරෝපීය මොරොක්කානුවෙක් ලෙස ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා.

බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් ගැලවුම්කරුවා ලෙස ඉදිරියට ආවේ රියාල් මැඩ්‍රිඩ් සුපිරි තරුව වන විනීසියස් ජූනියර්.

ඇත්තම කතාව කිවොත් විනීව බ්‍රසීල ප්‍රේක්ෂකයන් සීයට සීයක්ම විශ්වාස කරන්නේ නෑ. ඔහුව තමන්ගේ වීරයා ලෙස සලකන්නේත් නෑ. තරගවලට ක්‍රීඩා නොකළත් තවමත් ඔවුන්ට වීරයා නේමාර්. රියාල් මැඩ්රිඩ් වෙනුවෙන් කරන දේවල් බ්‍රසීලය වෙනුවෙන් විනී කරන්නේ නැහැ කියලාත් විවේචනයක් තියෙනවා.

ඒත් මේ තරගයේදී බෲනෝ ගිමාරෙස්ගෙන් ලැබුණු පන්දුවක් වම් අන්තයෙන් ඉදිරියට රැගෙන ගිය විනීසියස්, ඉතා අලංකාර ලෙස දකුණු පාදයෙන් දැලේ ඉහළ දකුණු කෙළවරට එය යොමු කරමින් තරගයේ තත්ත්වය සම කළා. එය ඇත්තටම සර්ව සම්පූර්ණ ගෝල් එකක්.

ගෝලය වාර්තා කරලා උඹල එනවද මාව ප්‍රශ්න කරන්න වැනි මුහුණක් එක්ක සැමරූ විනිගෙන් එයින් පසු තරගය අවසාන වනතුරුම ලොකු දෙයක් ලැබුණේ නෑ. නින්දෙන් ඇහැරී ගෝලයක් ගසා ආයෙත් නින්දට වැටුණා වගෙයි.

බ්‍රසීලයේ අනෙක් ස්ට්‍රයිකර්ලා තරගය පුරා හිටියේ අර්ධ නින්දේ. හිස්කමක් තරගයේ එයින් පසු රජ කළා. රෆීනියා සහ ඉගෝර් තියාගෝ වගේ ක්‍රීඩකයන්ට කිසිම ප්‍රමාණාත්මක දෙයක් කරන්න බැරිවුණා. පැකේටා විසින් බාගෙට එල්ල කළ සයිඩ් වොලි කික් එකක් එල්ල කළත් ඒක අසාර්ථක වූ නිසා මහා විශිෂ්ඨ මොහොතක් විදියට සලකන්න බැහැ.

බ්‍රසීලයේ නොහැකියාව වගේම නවුසෙයාර් මස්රාවි වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ මොරොක්කෝ ආරක්ෂක වළල්ලත් බ්‍රසීලයේ ප්‍රහාර මැඩපැවැත්වුවා.

ඇත්තටම ඇතැම් අය දැන් ප්‍රශ්න කරන්නේ කැසමීරෝ සහ ෆැබීනියෝ තරගයේ බාගයක් ක්‍රීඩා කරන්නට පාවිච්චි කරනවා වෙනුවට සම්පූර්ණයෙන්ම තරුණ ක්‍රීඩකයන් යෙදවිය යුතුද කියායි.

නිමක් නැති ආබාධයන්ගෙන් පෙළෙන නේමාර්ව තවදුරටත් ජාතික කණ්ඩායම තුළ රඳවා ගත යුතුද යන්න ඇන්චෙලොට්ටි ඉදිරියේ ඇති විසඳිය යුතු දැවැන්තම ගැටලුවයි. අනෙක් පැත්තෙන් නේමාර් තරගාවලිය මැදදී කණ්ඩායමට යළි පැමිණ නොසිතූ යමක් කරනු ඇතිද යන්න අනෙක් ප්‍රශ්නයයි.

තරගය නිමාවීමට ඉතාම පුංචි වෙලාවක් ඉතිරිව තිබියදී මොරොක්කෝ ක්‍රීඩකයින් බ්‍රසීලයේ පරාජය ඇස් පනාපිටටම ගෙන ආවා. බේරාගත්තේ බ්‍රසීල ගෝල්කීපර් ඇලිසන්. අල් අයිනාවිගේ ගෝල් එක අමාරුවෙන් වළක්වපු ඇලිසන්ට අනෙක් පැත්තෙන් තවත් ක්‍රීඩකයෙක් බෝලය ගෝල් එකට දාන්න ගත්ත උත්සාහය තනි අතින් නවත්වන්න වුණා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading