ටෙන්ෂන් එක නිසා නායක හාමුදුරුවරුන්ලාගේ උපදෙස් මත භාවනා කරන්න ආරණ්‍යට ගියා – සිරගෙදරට යන ගමන් ඥානසාර හිමි කියයි

තමන් ආරණ්‍ය සේනාසනයකට ගොස් භාවනා කළේ උසාවිය මඟහැරීමට නොව ඇති වූ දැඩි මානසික පීඩනය හේතුවෙන් නායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් මත බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

අධිකරණයට අපහාස කිරීමේ වරදට නියම වී තිබූ වසර 6ක සිරදඬුවම අද (05) දින සිට යළි බලාත්මක වන පරිදි වහාම ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය නියෝග කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ රක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී උන්වහන්සේ මාධ්‍යවේදීන් හමුවේ මේ බව සඳහන් කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේට ලබා දී තිබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් බලරහිත කිරීමෙන් පසු, මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අද දින මෙම සිරදඬුවම යළි ක්‍රියාත්මක කිරීමට නියෝග කරනු ලැබුවා.

තමන් සිරමැදීරියට යන්නේ අධිකරණය සමඟ කිසිදු ගැටුමක් ඇති කරගෙන නොවන බව පෙන්වා දුන් ඥානසාර හිමියන්, තමන් පෙනී සිටියේ සමස්ත රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බව එහිදී සඳහන් කළා.

රටේ අනෙක් සියලු දෙනාම රැකියාව වෙනුවෙන් කටයුතු කිරීමේදී තමන් අනුන්ගෙන් යැපෙමින් රට වෙනුවෙන් කැපවීම් කළ බවත් රට වෙනුවෙන් වැඩ කිරීමේදී සිදුවන දේ පිළිබඳව සෙසු භික්ෂූන් වහන්සේලා මෙය හොඳ පාඩමක් කරගත යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

වසර 25ක් තිස්සේ තමන් රට වෙනුවෙන් දියවුණේ නිස්සරණාධ්‍යාශයෙන් මිනිසුන්ගේ ජීවිත මරණයෙන් ගලවාගැනීමට බව සඳහන් කළ උන්වහන්සේ, ජේසුස් වහන්සේගේ ප්‍රකාශයක් ද සිහිපත් කරමින් පැවසුවේ අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට තමන්ගේ ලේ බීමට හෝ මස් කෑමට හැකි බවයි.

කිසිවෙකුත් නොදන්නා විෂයක් සම්බන්ධයෙන් තමන් 2014 වසරේ සිටම අනතුරු ඇඟවූ බව පැවසූ උන්වහන්සේ, ස්ථාන 100කට ප්‍රහාර එල්ල කිරීමට අන්තවාදීන් සැලසුම් කර තිබූ බව මහාධිකරණ තීන්දුවේදී පවා අනාවරණය වූ බව පැවසුවා.

තමන්ව සිරගත කළ පමණින් මෙරට මුහුණ දෙන සැබෑ ප්‍රශ්න විසඳෙන්නේදැයි ප්‍රශ්න කළ ඥානසාර හිමියන්, සත්‍ය කතා කිරීමට බිය විය යුතු නැති බවත් මිනිසුන්ට කිසිදු මානුෂිකත්වයක් නොමැතිදැයි තමන් විමසා සිටින බවත් සඳහන් කළා.

තමන්ට ආරණ්‍ය සේනාසනයට ගොස් භාවනා කිරීමට සිදු වූයේ මානසික ආතතිය සහ නායක හිමිවරුන්ගේ අවවාද නිසා මිස කිසිසේත්ම අධිකරණය මඟහැරීමේ චේතනාවකින් නොවන බව නැවත නැවතත් පැවසූ උන්වහන්සේ, තමන්ද මිනිසෙකු බැවින් වේදනාවක් දැනෙන බවත් කිසිදු දවසක හදවතේ කැකෑරෙන සත්‍ය ප්‍රකාශ කිරීමට ඉඩක් නොලැබුණු බවත් පැවසුවා.

කෙසේ වෙතත් ඒ පිළිබඳව තමන් තුළ බියක් හෝ කම්පනයක් නොමැති බවත් තමන් සතුව ඇත්තේ දකුණේ ලේ බැවින් මිනිසෙකු මියයන්නේ එක් වරක් පමණක් බවත් පෙන්වා දුන් උන්වහන්සේ, තමන් කිසිවෙකුටත් ණය නැති සේම කිසිවෙකුටත් බිය නොවන බව වැඩිදුරටත් සඳහන් කළා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading