නව විෂයමාලා සංශෝධනය යටතේ 2027 වසරේ සිට දිවයිනේ සියලුම පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා ‘ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය’ නමින් නව විෂයක් හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
කොළඹ කොටස් හුවමාරුවේ 40 වැනි සංවත්සරය සහ ලෝක ආයෝජක සතියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
රටේ අනාගතය භාරගැනීමට සිටින දරු පරපුර වෙනුවෙන් රජය සිදුකරන ප්‍රමුඛ ආයෝජනයක් ලෙස මෙම විෂය හඳුන්වා දෙන බව පෙන්වා දුන් ඇය, දැනටමත් පාසල් කිහිපයක නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කර ඇති බවත් ඊට සහභාගී වූ දරුවන් ඉතා කැමැත්තෙන් හා දැඩි උනන්දුවකින් එම විෂය හැදෑරීමට යොමුව ඇති බවට වාර්තා ලැබී ඇති බවත් පැවසුවා..
එමෙන්ම පාසල් දරුවන් සහ සමස්ත තරුණ ප්‍රජාව වෙනුවෙන් දියත් කෙරෙන Stock Market Game ප්‍රායෝගික පුහුණු වැඩසටහන සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් වැනි වැඩසටහන් හරහා කුඩා අවධියේ සිටම ව්‍යවසායකත්වය හා මූල්‍ය ආයෝජන පිළිබඳ නිවැරදි අවබෝධයක් ප්‍රායෝගිකව ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවද ඇය පෙන්වා දුන්නා.
එමෙන්ම මූල්‍ය සාක්ෂරතාවය තුළින් දරුවන්ට මුදල් ඉපයීමට පමණක් නොව ආචාරධාර්මිකව හා වගකීමෙන් යුතුව කටයුතු කිරීමට කුඩා කල සිටම උගන්වාලිය යුතු බව ඇය සඳහන් කළා.
කොටස් වෙළෙඳපොළ හෝ ආයෝජනය යනු හුදෙක් සූදුවක්වැ නි දෙයක් නොවන බව පැවසූ ඇය සඳහන් කළේ, එය දැඩි වගකීමක් සහිත ක්ෂේත්‍රයක් බවත් තවත් අයෙකු සූරාකෑමට ලක් නොකර සහ අනුන්ට වංචා නොකර සාධාරණ ලෙස ආර්ථික ක්‍රියාවලියට දායක වීමේ වැදගත්කම මෙමගින් තරුණ පරපුරට කියාදිය යුතු බවයි.
කෙසේවෙතත් දරුවන් හුදෙක් විභාග සඳහා ලකුණු ලබාගැනීමට පමණක් සීමා නොවී මුළු ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වන නිවැරදි මූල්‍ය පරිශීලනයක් සහිතව රට ගොඩනැගිය හැකි පුරවැසියන් බවට පත්විය යුතු බවත් අවස්ථා උදාවන තුරු බලා නොසිට නව අවස්ථා නිර්මාණය කර ගැනීමට පෙළඹිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
