ලක්ෂ ගණන් ලාභ දෙනවා කියන මගේ Fake වීඩියෝවලට අහුවෙන්න එපා – අගමැතිනිය කියූ කතාව!

තමන් කිසිදු මොහොතක කිසිදු ආයෝජකයෙකු හෝ ආයෝජන යෝජනාක්‍රමයක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෙනී නොසිටින බවත් තම රූපය සහ හඬ උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන එවැනි සියලු වීඩියෝ පට සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

කොළඹ කොටස් හුවමාරුවේ පැවති උත්සව සභාව අමතමින් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍ය ජාලා සහ WhatsApp හරහා විවිධ මූල්‍ය හා ආයෝජන යෝජනාක්‍රම ප්‍රවර්ධනය කරමින් සංසරණය වන මෙවැනි ව්‍යාජ වීඩියෝවලට නොරැවටෙන ලෙසයි.

එහිදි ඇය විසින් “මගේ රූපය සහ කටහඬ භාවිත කරමින් විවිධ ආයෝජන යෝජනාක්‍රම ප්‍රවර්ධනය කරන ව්‍යාජ වීඩියෝ රැසක් සමාජ මාධ්‍යවල සංසරණය වන බව මම දන්නවා. මම ඒවාට කිසිසේත්ම සම්බන්ධ නැහැ. මම කිසිම ආයෝජකයෙක් වෙනුවෙන් පෙනී ඉන්නේවත්, එවැනි දේවල් ප්‍රවර්ධනය කරන්නේවත් නැහැ. එවැනි වීඩියෝ දුටු සැණින් ඒවා ව්‍යාජ ඒවා බව ඔබ වටහාගත යුතුයි” ‍යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම සමාජය තුළ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීමේ අත්‍යවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, සිතාගත නොහැකි තරම් අසාමාන්‍ය ලාභ උපයා දෙන බවට පොරොන්දු වන මෙවැනි වංචනික මූල්‍ය ජාවාරම්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව තේරුම් ගැනීමට තරම් මූලික බුද්ධියක් හා මූල්‍ය සාක්ෂරතාවයක් ජනතාව තුළ තිබිය යුතු බව ප්‍රකාශ කළා.

එතරම් පහසුවෙන් ක්ෂණිකව මුදල් ඉපයීමට හැකි නම් රටේ සියලු දෙනාම ක්ෂණිකව ධනවත් විය හැකි බව උපහාසාත්මකව පෙන්වා දුන් ඇය, ජනතාව තමන් වෙහෙස මහන්සි වී උපයන මුදල් වංචාකාරී ජාවාරම්කරුවන්ට හසු නොවන පරිදි ආරක්ෂා කර ගැනීමටත් නිසි මූල්‍ය සාක්ෂරතාවයකින් යුතුව අවධානයෙන් කටයුතු කිරීමටත් පියවර ගත යුතු බව වැඩිදුරටත් කියා සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading