මරීසා ද සිල්වා
පරිවර්තනය – තරිදු උඩුවරගෙදර
මීට වසර කිහිපයකට පෙර මා දුටු සෝමේගේ පළමු වීඩියෝ කිහිපය මට තවමත් මතකයි.
බරපතල සමාජ ගැටලු ප්‍රකාශ කිරීමට ඔහු හාස්‍යය සහ උපහාසමය බුද්ධිය භාවිතා කළ ආකාරය ගැන මම ඇත්තටම පැහැදුණා. ඔහු ඇත්තටම බලන්නට ආස හිතෙන කෙනෙක් වුණා.
ඒත්, ප්‍රසිද්ධිය වැඩි වෙනකොට කීර්තියත් වැඩි වෙනවා. වැඩි කීර්තියත් එක්ක වැඩි මුදලක් ලැබෙනවා. වැඩි මුදලක් ලැබෙන තරමට කෙනෙක්ට තමන් ආත්මීයව කැමති නොවන නමුත් ප්‍රසිද්ධ දේවල් නිපදවන්න සිදු වෙනවා. තමන් පෞද්ගලිකව එකග නොවන අදහස් සහ මතවාද අනුමත කරන්නට අහම්බෙන් වාගේ සිදු වෙනවා. අවාසනාවට දැන් සෝමේ ගමන් කරන වෘත්තිය මාර්ගය ඒක බව පේනවා.
සෝමේගේ වයස කීයද කියා මම දන්නේ නැහැ. ඒත්, අන්තර්ජාල යුගයේ අපි හැමෝම ජීවත් වෙන නිසා අපේ රටේ ඉතිහාසයේ වැදගත් අවස්ථා පිළිබඳව හෝ මූලික කරුණු නොදැන සිටීම ගැන ඔහුට වයස නිදහසට කරුණක් නෙවෙයි.
සමාජයේ උනන්දුවක් හෝ සැලකිල්ලක් දක්වන කරුණක් සම්බන්ධයෙන් ඵලදායී මට්ටමක අදහස් දැක්වීමකට වඩා, ඔහුගේ ප්‍රධාන අරමුණ වූයේ ආවේගශීලීව අදහස් දැක්වීම සහ ප්‍රකෝප කිරීම බව මින් වඩාත් පැහැදිලි වෙනවා.
ඒත්, දැන් සෝමේට ඉතිහාස පාඩමක් ඉගෙනගන්න වෙලාව ඇවිත්.
’83 ජූලි මාසය පිළිබඳ ඔහුගේ පළමු අසත්‍ය ප්‍රකාශයෙන්ම අපි පටන් ගනිමු.
උතුරේ සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කිරීමට ගැන ඉබේම හටගත් ප්‍රතිචාරයක් විදියට ’83 කෝලාහලය හැදින්වීම මිත්‍යාවක් බව දැනටමත් මනාව වාර්තා වෙලා තියෙන දෙයක්.
මානව හිමිකම් සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ (Jaffna) [UTHR(J)] සම-නිර්මාතෘ රාජන් හූල් විසින් කරන ලද එවැනි එක් සවිස්තරාත්මක ලියවිල්ලක, ’83 කෝලාහල “ඉතා සැලසුම් සහගත”, “මනා ලෙස සංවිධානය වූ” සහ “පැය 48කින් සැලසුම් නොකළ” ඒවා බව රජයේ නිලධාරීන් දෙදෙනෙකු වන රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් සහ අමාත්‍යාංශ නිලධාරී ඩග්ලස් ලියනගේ යන මහත්වරුන් ප්‍රසිද්ධියේ තහවුරු කළ බව උපුටා දක්වනවා.
එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින්ම 1983 අගෝස්තු 4 වැනි දින එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අමතමින් මෙම ‘මහා සැලැස්ම’ පිළිබඳව ඉතා සවිස්තරාත්මක විස්තරයක් ලබා දී තිබුණා.
පළමු ප්‍රහාරය එල්ල කිරීමට නියමිතව තිබුණේ දෙමළ නිවාස සහ දෙමළ ජනතාවට අයත් නිෂ්පාදන මාධ්‍යයන්ට ය. කොල්ලකෑම්වලින් වළකින ලෙස විශේෂ උපදෙස් ලබා දී තිබුණා.
දෙමළ ජනතාවගේ නිවාස ඡන්ද හිමි නාමලේඛනවල ලැයිස්තු මගින් හඳුනාගෙන තිබූ අතර දෙමළ ජනතාවට අයත් නිෂ්පාදන ආයතන කල්තියා වෙන්කර හඳුනාගෙන තිබුණා. ලංකාව කොටස් තුනකට බෙදා වෙන් කරලා තිබුණා. එක කොටසකට මැරයන් 500 බැගින් හිටියා. කණ්ඩායම් නායකයන්ගේ වගකීම වුනේ යම් ප්‍රදේශයක ඉන්න ප්‍රසිද්ධම මැරයන් එකතු කර ගැනීමයි. ඒ වැඩේ වෙනුවෙන් විශාල මුදලක් ගෙවන්න නියමිත වුණා.
සෝමේ එයින් පසුව, සිංහලයන් ප්‍රකෝප කිරීමේ පැහැදිලි අරමුණක් එක්ක පදනම් විරහිත උපකල්පනයක් කළා.
දකුණේ එක කොල්ලෙක් හරි යාපනය විශ්වවිද්‍යාලයේදී මැරුවොත්, තවත් කළු ජූලියක් ඇති වෙන්නේ නැහැ කියලා තමන්ට සහතික වෙන්න බැහැ කියලා ඔහු කීවා.
යාපනය විශ්වවිද්‍යාලයේ සිටින සිංහල ශිෂ්‍යයන්ට මෙවැනි ජීවිත තර්ජනයක් නොමැති නිසා, මේ ප්‍රකාශයේ තියෙන පදනම් විරහිත බව පැත්තකට දැම්මත්, මේ වගේ ප්‍රකාශයක් දෙමළ හෝ මුස්ලිම් යූටියුබර් කෙනෙක් හෝ ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් කියා තිබුණා නම් වෛරය ඇවිස්සවීම මත ඔවුන්ව වහාම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත යටතේ හෝ ඊටත් වඩා දරුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ සිරගත කරන්නට ඉඩ තිබුණා.
උදාහරණයක් කීවොත්, පසුගිය වසරේ නිකම්ම නිකම් ස්ටිකරයක් හේතුවෙන් මුස්ලිම් තරුණයෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සති ගණනාවක් රඳවා තබා ගත්තා.
(මෙයින් අදහස් කරන්නේ භාෂණයේ නිදහස සීමා කිරීම සඳහා මෙම නීති දෙකෙන් එකක් හෝ භාවිතා කිරීම අනුමත කිරීම නෙවෙයි. මෙම රටේ පවතින සිස්ටම් එකෙන් වෙනස් කොට සැලකීම සහ දෙවිදියකට දෙපැත්තකට සැලකීම පෙන්වා දීම පමණයි.)
තමා සිංහල බෞද්ධයෙකු යැයි කියා ගන්නා සෝමේ, කිසිදු දඬුවමකින් තොරව නිදහස් වීමට තම සිංහල වරප්‍රසාදය භාවිතා කරනවා. තවත් ‘Likes’ සහ ‘Follows’ කිහිපයක් ලබා ගැනීම සඳහාම හිතාමතාම භයානක වැරදි තොරතුරු පතුරුවා හරිනවා. ඒ සම්බන්ධයෙන් කිසිදු පසුතැවිල්ලක් හෝ වගවීමක් පෙන්නුම් කරන්නේ නැහැ.
මේවාට පසුව තමයි ඔහු “පූජනීය” වෙසක් කූඩුවට හානි කිරීම වන සැබෑ ගැටලුව වෙත යොමු වෙන්නේ.
ඒත් ඔහු ඒ පිළිබඳ වැඩි විස්තරවලට යාමට පෙර, ඔහු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වලින් පැමිණි ඔවුන්ගේ කිසිදු “මිතුරෙකුට” කිසිදා වෙනස් කොට සැලකීමක් දැනීමට ඉඩ නොතැබූ බවට තවත් සුරංගනා කතාවක් කියනවා.
ඔබ කවදා හෝ සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශයක ඉගෙනුම ලබන දෙමළ හෝ මුස්ලිම් ශිෂ්‍යයෙකු සමඟ ඇත්තටම කතා කර ඇත්නම්, ඔවුන්ට “අනාරක්ෂිත” බවක් දැනීම, ජාතිවාදී සිසුන්ගේ වාර්ගික අපහාස/”විහිළු” වලට ලක්වීම, ප්‍රතිපත්ති (උදා: භාෂාව) හරහා ආයතනික වශයෙන් වෙනස් කොට සැලකීම්වලට ලක්වීම පිළිබඳ අප්‍රමාණ කතන්දර ඔබට පහසුවෙන්ම ඇසීමට හැකිවේවි.
ඒ නිසා සූමේ එක්කෝ ඉගෙන ගෙන ඇත්තේ කල්පිත ලෝකයක. (Utopia) නැත්නම් ඔහු නැවතත් අමුම අමු බොරුවක් පවසනවා! “…අපි හැමෝම අත්වැල් බැඳගෙන එකිනෙකාගේ උත්සව සාමයෙන් සහ සමගියෙන් සමරනවා!” යන පරණ පුරුදු කතාන්දරයම ඔහු නැවතත් ඉදිරිපත් කරනවා.
බාහිර පාර්ශවයන් විසින් එක් වෙසක් කූඩුවකට හානි කිරීම යන කාරණය මත පදනම්ව – ශිෂ්‍ය සංගමය විසින් මේ වන විටත් ප්‍රසිද්ධ නිවේදනයක් මගින් හෙළා දැකපු කඩාකප්පල්කාරී ක්‍රියාවක් – සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශවල “සුළුතරයේ” සිසුන්ගේ පහසුව වෙනුවෙන් තමන්ට කළ හැකි සෑම දෙයක්ම කරන “කාරුණික බහුතර ජාතිය” සහ ඊට සාපේක්ෂව බහුතර ජාතියේ සිසුන් සංඛ්‍යාත්මකව සුළුතරයක් වන විශ්වවිද්‍යාල තුළ ඔවුන්ට සලකනු ලබන (නරක) ආකාරය සම්බන්ධයෙන් ඔහු ගැටලු සහගත ස්ථාවරයක් ගන්නවා.
ඊට පස්සේ ඔහු වෝටර්ගේට් සිදුවීමෙන් පස්සේ ලෝකයේ ලොකුම හෙළිදරව්ව කරනවා වාගේ දෙයක් කියනවා. ‘ගිය අවුරුද්රදේ යාපනය විශ්වවිද්‍යාලයේ මහවරු සමරලා‘ කියනවා.
මේක හදිසියේ එළිවුණ කතාවක් නෙවෙයි.
දෙමළ සිසුන් 1989 තරම් ඈත කාලයේ සිටම නිල නොවන ලෙසද, 2006 සිට නිල වශයෙන්ද මෙම දිනය (නොවැම්බර් 27) සමරා තිබෙනවා.
ඔව්, මින් අදහස් කරන්නේ රාජපක්ෂ පාලන සමයේදී පවා ඔවුන් මෙම අවස්ථාව සමරා ඇති බව තමයි!
මේ රටේ සහ ලෝකයේ අනෙකුත් සෑම පුද්ගලයෙකුටම මෙන්, මියගිය අය අනුස්මරණය කිරීමට මෙම සිසුන්ට අයිතියක් තියෙනවා. එබැවින් නැවත වතාවක් ඔහු උත්සාහ කරන්නේ දශක ගණනාවක් තිස්සේ යම් ආකාරයකින් පවතින වාර්ෂික සිරිතක් හරහා දකුණේ ජනතාව ආවේගශීලී කිරීමට සහ ප්‍රකෝප කිරීමට.
ඉන්පසුව ඔහු ප්‍රශ්න කරන්නේ සිසුන්ට මහවිරු දිනය සැමරීමට නිදහස තිබේ නම්, වෙසක් කූඩුවක් ප්‍රදර්ශනය කිරීමට නිදහසක් නැත්තේ ඇයිද කියලා.
යුද්ධය අවසන් වීමෙන් පසුව, විශේෂයෙන්ම කලාපය තුළ (හමුදාව හැර) බෞද්ධයන් කිසිවෙකුත් වාසය නොකළද, දැඩි ලෙස මිලිටරීකරණය වූ උතුරට වෙසක් උත්සවය වාර්ෂිකව මහා පරිමාණයෙන් බලහත්කාරයෙන් ආරෝපණය කරලා තියෙනවා.
සෝමේ නැවතත් ඔහුගේ අමු අමුවේ ඇති හෝ මවාගත් නොදැනුවත්කම ප්‍රදර්ශනය කරනවා. 2009 සිට මෙය සිංහල බෞද්ධ ආධිපත්‍යය සහ “යුධ ජයග්‍රහණය” පිළිබඳ වාර්ෂික සිහිගැන්වීමක් වුණා.
පශ්චාත් යුධ සමයේදී උතුරේ පන්සල් අලුතින් තීන්ත ආලේප කර හෝ අලුතින් ඉදිකළා. වන්නියේ A9 මාර්ගය හරහා “බුදු සසුන බැබලේවා!” වැනි වැකි සහිත බැනර් එල්ලා තිබුණා. ඒ නිසා සෝමේ, නැවත වතාවක් ඔබ හිතේ මවාගත් කල්පිතය බිඳ දැමීමට සිදුවීම ගැන කනගාටුයි! නමුත් වෙසක් “සමරීමේ නිදහස” උතුරට බොහෝ කලක සිටම ලැබී තිබුණා.
යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිංහල සිසුන්ගෙන් ඔහුට ලැබී ඇති බව කියන, ඔවුන් ඇතැම් වෙනස් කොට සැලකීමේ තීරණ සහ අගතියට ලක්ව ඇති බවට වූ “පැමිණිලි කිහිපය” සම්බන්ධයෙන් මට පැවසීමට ඇති පළමු දෙය නම් ‘දකුණේ/සිංහල බහුතර ප්‍රදේශවල දෙමළ/මුස්ලිම් විශ්වවිද්‍යාල සිසුන් මුහුණදෙන අත්දැකීමට ඔබව සාදරයෙන් පිළිගනිමු’ කියා.
දෙවනුව, ඔවුන් මෙම දුක්ගැනවිලි සම්බන්ධයෙන් පැමිණිලි කළ යුත්තේ සෝමේට නෙවෙයි, විශ්වවිද්‍යාලය තුළ ඇති අදාළ පැමිණිලි බාරගන්නා ආයතනයට බව!
ඔහුගේ අවසන් ප්‍රකාශයන් වන්නේ “සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස එකට වැඩ කිරීමට උත්සාහ කරන” මෙවන් කාලයක, ඇතැම් පිරිස් (විශ්වවිද්‍යාල) පාලනාධිකාරිය හරහා ජාතිවාදය සහ වෛරය රිංගවීමට උත්සාහ කරන බවත්, මේ ආකාරයෙන් සාමය හෝ සන්සුන් බව පවත්වා ගැනීමට අපට අපේක්ෂා කළ නොහැකි බවත්.
නමුත් හාස්‍යයට කරුණ නම්, විශේෂයෙන්ම ඔහුගේ වීඩියෝ නරඹන බහුතරයක් වන තරුණ සිංහල ප්‍රේක්ෂකයින් අතර ජාතිවාදයේ සහ වෛරයේ ගිනිදැල් ඇවිලවීම සඳහා ඔහුම කරන කාර්යභාරය ඔහු නොසලකා හැරීම. මන්ද එම තරුණ ප්‍රේක්ෂකයින්ට ඔහුගේ අසත්‍ය ප්‍රකාශයන් පිළිබඳව වැඩි දේශපාලනික අවබෝධයක් හෝ පසුබිම් දැනුමක් නොමැති විය හැකියි.
එම නිසාම ඔවුන් ඔහුගේ වචනය සත්‍ය සේ පිළිගැනීමට වැඩි ඉඩක් තියෙනවා!
ඕනෑම ආකාරයක ජාතිවාදයක් හෝ අන්තවාදයක් ආරම්භයේදීම නියපොත්තෙන් කඩා විනාශ කර දැමිය යුතු බවට උපදෙසක් ලබා දෙමින් ඔහු වීඩියෝව අවසන් කරනවා.
මෙය සිංහල බෞද්ධාගමේ “ආරක්ෂකයින්” ලෙස තමන්වම හඳුන්වාගන්නා, බොහෝ දුරට නිද්‍රාශීලීව සිටින සහ දේශපාලනිකව අදාළත්වයක් නොමැති ජාතිවාදී දක්ෂිණාංශිකයින්ට ඔවුන්ගේ එම භූමිකාව නැවත ලබා ගැනීමට කරන සටන් පාඨයක් විදියට ලෙහෙසියෙන් හැදින්විය හැකියි.
ජාතිවාදය සහ වෛරය ඇවිස්සීම අරමුණු කරගත් හිතාමතා ගෙතූ බොරු සහ වැරදි තොරතුරු පතුරුවා හැරීම සඳහා ඔහුගේ පුළුල් සමාජ මාධ්‍ය වේදිකාවන් (FB හි පමණක් අනුගාමිකයින් 446,000 ක්) භාවිතා කිරීම ගැටලුසහගතයි.
ප්‍රමාණයටත් වඩා හිංසනයන් සහ ලේ වැගිරීම් දුටු අප වැනි රටක එය අතිශයින්ම භයානකයි.
සෝමේ! ඔබගේ හිටපු ෆලෝවර් කෙනෙක් ලෙස ඔබට දෙන අවවාදයක් නම්, කරුණු මත පදනම් වූ වාර්තාකරණය පැහැදිලිවම ඔබේ හැකියාව නොවන බැවින්, ඔබ නැවතත් ඉස්සර වගේ විහිළු වීඩියෝ නිර්මාණය කිරීමට යොමු වීම වඩාත් සුදුසු බව!
ඔබ ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ජනප්‍රිය වනු ඇතැයි මට විශ්වාසයි, එමෙන්ම ඔබේ ආදායමට ද ඉන් සැලකිය යුතු බලපෑමක් එල්ල නොවේවි.
