ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘති ගනුදෙනුව සම්බන්ධ විමර්ශනවලට අදාළව ‘ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස්’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන ඉන්දීය ජාතික අමිත් කට්ටයාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන අයට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ, අදාළ සැකකරුවන්ට වරෙන්තු නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් හා සනාථ කළ හැකි සාක්ෂි අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බවයි.
ලිපි ලේඛන මත පදනම් වූ කරුණු පමණක් සලකා මෙවැනි වරෙන්තුවක් නිකුත් කළ නොහැකි බවත් අදාළ සිදුවීමට අදාළ ප්‍රමාණවත් සාක්ෂි විමර්ශන නිලධාරියා විසින් බී වාර්තාවක් මගින් අධිකරණයට තහවුරු කළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළා.
අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම යටතේ විවෘත අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් විමර්ශන නිලධාරියා කියා සිටියේ, මෙම ගනුදෙනුවට අදාළව නිමල් හේමසිරි පෙරේරා නමැත්තා විසින් ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් ගිණුම හරහා අවස්ථා කිහිපයකදී රුපියල් මිලියන 70 ක අල්ලස් මුදලක් නඩුවේ සිව්වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇති බවයි.
එම සිදුවීමට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් තොරතුරු ලබාගෙන, ක්‍රිෂ් සමාගමේ සභාපති හා අධ්‍යක්ෂ අමිත් කට්ටයාර් සහ විධායක නිලධාරී හා අධ්‍යක්ෂ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන අයට ගුවන් තැපෑල මගින් කැඳවීම් ලිපි යොමු කළද මේ දක්වා ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව විමර්ශන නිලධාරියා පැවසුවා.
ඒ හේතුවෙන් ඔවුන්ට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා..
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විමසූ ප්‍රශ්න හමුවේ කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා, අදාළ සමාගම 2012 සැප්තැම්බර් 09 වන දින මෙරට ලියාපදිංචි කර ඇති බවත් පෞද්ගලික බැංකුවක Krrish Transworks Colombo Panel නමින් ගිණුමක් පවත්වාගෙන ගොස් ඇති බවත් සදහන් කළා.
කෙසේ වෙතත් එම බැංකු ගිණුමට අදාළ බලයලත් ලිපි ලේඛන මෙතෙක් සොයාගෙන නොමැති අතර බැංකුව ලබාදුන් වාර්තාවක් පදනම් කරගනිමින් විමර්ශන සිදුකරන බව සාක්ෂිකරු පිළිගනු ලැබුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් දැක්වූ අදහස් :
” “2026/09/24 දින අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවෙන් පුද්ගලයන් දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා තිබෙනවා. එම පුද්ගලයන් ශ්‍රී ලාංකිකයන් නොවන අතර ඔවුන් ඉන්දියාවේ පදිංචි පුද්ගලයන්. වරෙන්තු නිකුත් කිරීමට පෙර ඔවුන් සම්බන්ධයෙන් ඇති පැහැදිලි හා ප්‍රමාණවත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. නමුත් මේ වාර්තාව තුළ ඉදිරිපත් කර තිබෙන සාක්ෂි වරෙන්තු නිකුත් කිරීමට ප්‍රමාණවත් නැහැ. ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් ආයතනයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය බවයි සාක්ෂිකරු අධිකරණයේදී දන්වා සිටියේ. අල්ලස් කොමිසමට අවශ්‍ය නම් ඔවුන්ව වරෙන්තුවක් නොමැතිව වුවද අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතිනවා. එම නිසා මේ මොහොතේ වරෙන්තු නිකුත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.”
2012 වසරේදී කොළඹ කොටුවේ ඓතිහාසික ‘ට්‍රාන්ස්වර්ක්ස්’ ගොඩනැගිල්ල පිටුපස පිහිටි අක්කර 4.3 ක භූමි භාගයක සුපිරි මහල් නිවාස, හෝටල් සහ සාප්පු සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ඉන්දියාවේ ක්‍රිෂ් සමූහය සමඟ මෙරට රජය ගිවිසුම්ගත වි තිබුණා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ‘කාල්ටන් සුපර් සෙවන්ස්’ රග්බි තරගාවලියට අනුග්‍රහය දැක්වීමේ මුවාවෙන් ක්‍රිෂ් සමාගමෙන් ලබාගත් බව කියන රුපියල් මිලියන 70 ක මුදලක් නීතිවිරෝධී ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව චෝදනා එල්ල වුණා.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව 2016 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදාහැරුණා.
මෙම සිදුවීම මුදල් විශුද්ධිකරණයට අමතරව අල්ලස් ලබාගැනීමක් ලෙසද සැකකෙරෙන බැවින් ව්‍යාපාරික නිමල් පෙරේරා ඇතුළු අතරමැදියන් හරහා සිදු වූ බව කියන මුදල් හුවමාරුව පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් මෙම නඩුව වෙනම මෙහෙයවනු ලබනවා.
ක්‍රිෂ් සමාගමේ සභාපති අමිත් කට්ටයාර් ඉන්දියාව තුළද විවිධ මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් එරට බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැඩි නිරීක්ෂණයට හා පරීක්ෂණවලට ලක්වූ ඉන්දීය ව්‍යාපාරිකයෙක් වනවා.
