ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ශ්‍රී ලංකාවේ නීති පොතය බරපතල කැළලක් ලෙස පවතින බවත්, එය අහෝසි කිරීමට මීට වඩා සුදුසු කාලයක් නොමැති බවත් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලක්ෂ්මන් ටී බී දෙහිදෙණිය සඳහන් කරයි.
එහි පිටපතක් ජනාධිපති අනුර කුමාර දිසානායකට යොමුකර ඇති අතර එය යොමුකර ඇත්තේ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එම කොමිසමේ මතය ඉදිරිපත් කරමිනි.
එම ලිපියේ අවධාරණය කර ඇත්තේ ‘ත්‍රස්තවාදය’ නැමැති වරද සාමාන්‍ය නීතිය යටතේ හසුරුවන ලෙස එම කොමිසම නිර්දේශ කරන බවයි. එය ඊට පෙරද එම කොමිෂන් සභාව කළ නිර්දේශයක් බවද එහි සඳහන් කරයි.
ත්‍රස්ත මර්ධන පියවර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ තීරණාත්මක වන බවද, ත්‍රස්තවාදය සම්බන්ධ යම් වරදකට අදාළ නීතිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම්වලට සම්පූර්ණයෙන් අනුකූල බව තහවුරු කර ගැනීමට අවශ්‍ය නිර්දේශ ද එහි පෙන්වා දී තිබේ.
එම නිර්දේශ අතර ‘ත්‍රස්තවාදී වරද’හි විෂය පථය පටු කරමින් එහි අර්ථ නිරූපණය සැළකිය යුතු ලෙස සංශෝධනය කළ යුතු බවද, ත්‍රස්තවාදී වරද සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ඕනෑම තැනැත්තකුට එරෙහිව නිකුත් කරනු ලබන රඳවා තබා ගැනීමේ නියෝගයක් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපේක්ෂිත පරිදි අධිකරණ අධීක්ෂණයට යටත් බව තහවුරු කළ යුතු බවද, ත්‍රස්තවාදී වරද සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලබන ඕනෑම සැකකරුවකුට ඇප ලබාදීමට සෑම අවස්ථාවකදීම විනිසුරුවරයකුට අර්ථවත් බලයක් පවරා ඇති බව තහවුරු කළ යුතු බවද, මහේස්ත්‍රාත්වරයකු හමුවේ කිසියම් ප්‍රකාශයක් කිරීමට පෙර සැකකරුවෙකුට නීති උපදෙස් ලබා ගැනීමට අර්ථවත් ප්‍රවේශයක් ලබාදෙන බව තහවුරු කළ යුතු බවද එහි සඳහන් කර තිබේ.
