2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව නිකුත් කළ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පරීක්ෂා කළ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට සහ ඒ සඳහා පත්කළ විශේෂ වෛද්‍ය මණ්ඩලයේ සාමාජික වෛද්‍යවරුන් 10 දෙනාට වහාම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විශේෂ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (02) මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව අදාළ වෛද්‍ය මණ්ඩලය එළැඹෙන ඔක්තෝබර් මස 06 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්විය යුතු බව .මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, සුරේෂ් සලේ මහතා පසුගිය සැප්තැම්බර් 28 වන දින දක්වා ජාතික රෝහලේ නේවාසිකව රඳවා තබාගත යුතු බවට වෛද්‍යවරුන් මීට පෙර නිර්දේශ කර තිබූ බවයි.
කෙසේ වෙතත් මේ වන විට එම නිර්දේශිත කාලසීමාව ඉක්මවා ගොස් ඇති බැවින් සැකකරු සම්බන්ධයෙන් මීළඟට ගත යුතු ඉදිරි විමර්ශන හා නෛතික ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට එම වෛද්‍ය මණ්ඩලයේ සෘජු කරුණු දැක්වීම අත්‍යවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්‍තුව පෙන්වා දුන්නා.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමට අවසර දෙමින් අදාළ වෛද්‍යවරුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කළා.
යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව එල්ල කළ චෝදනා සහ විමර්ශන වාර්තා පදනම් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කිරීම් සඳහා භාරයට ගනු ලැබුවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් විශේෂ රැඳවුම් නියෝග මත ඔහු රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කරනු ලැබුව්වා.
රැඳවුම් භාරයේ පසුවන අතරතුර සැකකරුගේ පවතින සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් ඔහු ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඔහු සැබැවින්ම නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක පසුවන්නේද යන්න ස්වාධීනව තහවුරු කරගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරනු ලැබුවා.
