අවුරුදු නැකත් චාරිත්‍ර තීරණය කරන්නේ සංස්කෘතියද? නැකත්පතද? බොස් ද?

පරණ අවුරුද්දටත් වැඩ, නොනගතේටත් වැඩ, අවුරුදු උදාවේදීත් වැඩ, රැකී රක්ෂා සඳහා කලින්ම පිටත්ව යනවා…

අවුරුදු නිවාඩුව තීරණය කරන්නේ ඔෆිස් එකේ හෝ සේවා ස්ථානයේ බොස් තමයි! නැකත කොච්චර හොඳ වුණත් බොස් නිවාඩු දුන්නේ නැත්නම් ගොඩක් අයට වෙන්නේ ඔෆිස් එකේ ඉඳන් කිරිබත් කෑල්ලක් කන්න.

මුළු රටම එකම මොහොතක ලිප ගිනි මෙලවීමට සූදානම් වෙද්දී, කිරි ඉතිරෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිද්දී සහ නැකත් පතට අනුව ආහාර අනුභවයට සැරසෙද්දී, ඒ සියලු සතුට පසෙකලා යන්ත්‍ර සූත්‍ර සමඟ, සුපර් මාකට් එකක රාක්ක අතර හෝ රාජකාරි මේසය මත හුදකලා වූ මිනිසුන් පිරිසක් අප අතර සිටිති. ඔවුන්ට “අවුරුදු උදාව” යනු තවත් එක් සාමාන්‍ය වැඩ මුරයක් පමණි.

සංස්කෘතික උළෙලක් ලෙස සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍ර ඉටු කිරීමට ශ්‍රී ලාංකිකයන් දක්වන්නේ දැඩි උනන්දුවකි. එහෙත්, පරණ අවුරුද්දේ සිට පුණ්‍ය කාලය, අවුරුදු උදාව සහ හිස තෙල් ගෑමේ චාරිත්‍රය දක්වාම අඛණ්ඩව සේවයේ යෙදෙන කම්කරුවන් රැසක් මෙරට පෞද්ගලික අංශයේ සහ අත්‍යවශ්‍ය සේවා ක්ෂේත්‍රවල දැකිය හැකිය.

මොවුන්ගෙන් බහුතරයක් සිය කැමැත්තෙන් තොරව, රැකියාව රැකගැනීමේ අරමුණින් හෝ ආයතනික නීති රීති හමුවේ මෙලෙස වැඩ මුරවල නිරත වෙති. “නැකතට වැඩ අල්ලනවා” වෙනුවට ඔවුන්ට සිදුව ඇත්තේ “නැකත වෙලාවේදීත් වැඩ කිරීමට” ය.

රාජකාරිය දේවකාරිය සේ සලකා කටයුතු කිරීම අගය කළ යුතු වුවද, වසරකට වරක් එළඹෙන ජාතික උත්සවයකදී පවා සේවකයන්ට තම පවුල සමඟ එක්වීමට ඇති අයිතිය අහිමි වීම පිළිබඳව සමාජ කතිකාවක් නිර්මාණය විය යුතුය. නැකත් පත්‍රයේ වේලාවන් කෙසේ වෙතත්, “ජීවන අරගලයේ නොනගතය” මැද වැඩ කරන මේ මිනිසුන්ගේ කැපවීම රටේ ආර්ථිකයේ රෝදය කරකැවීමට විශාල ශක්තියක් වන බව අප අමතක නොකළ යුතුය.

රටම නැකතට වැඩ අල්ලද්දී, තවත් පිරිසක් තවමත් වැඩ මුරයේය. ඔවුන්ට සතුට සෞභාග්‍ය හිමිවන්නේ නැකතට චාරිත්‍ර ඉටු කිරීමෙන්ද, නැතිනම් තම මහන්සියට සරිලන ගෞරවනීය ප්‍රතිලාභ ලැබීමෙන්ද යන්න අද වන විට බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

“සේවා ස්ථානය පවුලක්” – මායාව සහ යථාර්ථය

අවුරුදු නිවාඩුව පවා අහිමි කරමින් සේවයේ යොදවා සිටින කම්කරුවන් උදෙසා බොහෝ ආයතන ප්‍රධානීන් අනුගමනය කරන උපක්‍රමයක් වන්නේ “අපි හැමෝම එකම පවුලක්” යන සංකල්පයයි. ආයතනය තුළම කිරිබත් පිසීම, සේවකයන් ලවාම එකිනෙකාට කිරිබත් කවා ගැනීම හරහා පවුලක ආදරය සේවා ස්ථානය තුළ පවතින බව පෙන්වීමට ඔවුන් උත්සාහ කරයි.

එහෙත්, මෙය සැබෑ සහෝදරත්වයකට වඩා ආයතනික ලාභය උපරිම කරගැනීම සඳහා සකස් කරන ලද ව්‍යාජ පවුල් සංදර්ශනයක්. සේවා ස්ථානයක් තුළ දැඩි සහෝදරත්වය හෝ ලබැඳියන පිළිබඳව මින් අදහස් නොකෙරේ. ප්‍රෞඩ සංස්කෘතියක් නම් එයින් සාමය සතුට සෞභාග්‍ය කෙරේ විශ්වාස තබන්නේ නම් නැකතට තම දරුවාට, බිරිඳට සහ දෙමාපියන්ට කිරිබත් කෑල්ලක් කැවීමට ඇති සංස්කෘතික අයිතිය උදුරාගෙන, ඒ වෙනුවට මැෂිමක් අසලදී සගයෙකුට කිරිබත් කැවීමට සැලැස්වීම සතුටක් නොව, හිස මත තබා නඩත්තු කරන සංස්කෘතික මානුෂීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. වැඩබිමේ සහෝදරයෙකුට කිරිබත් කැවීම අවුලක් යයි මෙයින් අදහස් නොවේ.

මෙම “ව්‍යාජ පවුල් සංකල්පය” තුළ සැඟව ඇති කටුක යථාර්ථය වඩාත් හොඳින් විද්‍යමාන වන්නේ සේවකයෙකු තමන්ට හිමි විය යුතු අයිතිවාසිකම් හෝ සාධාරණත්වය ඉල්ලා හඬක් නැගූ මොහොතකදීය. අලුත් අවුරුදු නැකතට එකට හිඳ කිරිබත් කමින්, “අපි හැමෝම එකම පවුලක සාමාජිකයන්” යැයි කියමින් පෙන්වූ ආදරය හා බැඳීම, රැකියා කොන්දේසි උල්ලංඝනය වීමකදී හෝ අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීමකදී ක්ෂණිකව අතුරුදන්ව යයි. (වෘත්තීය සමිති හෝ සංවිධානය වී අසාධාරණයට විරුද්ධව සටන් කරන අතලොස්සක් වූ පිරිසට මෙය එතරම්ම අදාළ නොවේ).

විශේෂයෙන්ම, වැඩ මුරය අතරතුර සිදුවන අනතුරකදී හෝ හිඟ වැටුප් ඉල්ලා සිටින අවස්ථාවකදී, එතෙක් “පවුලේ ප්‍රධානියා” සේ පෙනී සිටි ආයතන ප්‍රධානියා සහ සෙසු බලධාරීන් සේවකයාගෙන් මුළුමනින්ම දුරස් වන අතර, එහිදී ඉතිරි වන්නේ හුදෙක් ලාභය මත පදනම් වූ රළු සේවායෝජක-සේවක නීතිමය සබඳතාවය පමණි. පවුලක් ලෙස පෙනී සිටිමින් සේවකයාගේ ශ්‍රමය උපරිමයෙන් සූරාගන්නා මෙම කූට ව්‍යාපාරික උපක්‍රමය, අවසානයේදී සේවකයා අසරණ වූ තැන ඔහුට පවුලේ කිසිදු රැකවරණයක් හිමි නොවන බව මනාව තහවුරු කරයි. ආයතන ප්‍රධානීන් පනවන “ව්‍යාජ පවුල්” රාමුව තුළ සිරවී සිටින තාක් කල්, මේ ශ්‍රමිකයන්ට අලුත් අවුරුද්ද යනු තවත් එක් වෙහෙසකර වැඩ මුරයක් මිස ජීවිතයට සෞභාග්‍යය ගෙනෙන මංගල්‍යයක් නොවනු ඇත.

එසේම නැකත් චාරිත්‍ර ඉටු කිරීමට අවස්ථාව නොලැබීමෙන් පමණක් කෙනෙකුට සතුට සෞභාග්‍යය අහිමි නොවේ. සැබෑ ලෙස සොභාග්‍ය අහිමි වන්නේ, තමන්ගේ ශ්‍රමය සූරාකන ව්‍යාජ සංකල්පවලට හසුවී, තමන්ට හිමි විය යුතු වෘත්තීය අභිමානය සහ නිදහස අහිමි කරගැනීම තුළයි.

සංස්කෘතික නැකත සහ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ ප්‍රායෝගික පරස්පරය

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යනු හුදෙක් ආගමික හෝ සංස්කෘතික උත්සවයක් පමණක් නොව, එය මෙරට ආර්ථිකයේ රිද්මය තීරණය කරන මහා මංගල්‍යයකි. එහෙත්, මෙම උත්සවය වෙනුවෙන් සකස් කර ඇති නැකත් පත්‍රය දෙස ගැඹුරින් බලන කල, එහි ඇති ඇතැම් චාරිත්‍ර වර්තමාන කාර්මික සහ පෞද්ගලික අංශයේ ශ්‍රමිකයාට කෙතරම් දුරට අදාළ වන්නේද යන්න විමසිය යුතු ප්‍රශ්නයකි. විශේෂයෙන්ම “රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත” යනු නීතිය, සංස්කෘතිය සහ ව්‍යාපාරික අවශ්‍යතා එකිනෙක ගැටෙන ප්‍රායෝගික නැති එකකි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයන්ට හිමිවන නිවාඩු ප්‍රතිපාදන 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත මගින් පාලනය වේ. 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ පනතේ ප්‍රතිපාදනවලට අනුව, මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ට වසරකට වැටුප් සහිත ව්‍යවස්ථාපිත රජයේ නිවාඩු දින 9ක් හිමිවන අතර, ඉන් විශේෂිත දින දෙකක් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන්ම වෙන් කර ඇත. ඒ අනුව, අප්‍රේල් 13 වැනිදා හෙවත් අලුත් අවුරුද්දට පෙර දිනය සහ අප්‍රේල් 14 වැනිදා වන අලුත් අවුරුදු දිනය යන දින දෙක සේවකයන්ට වැටුප් සහිත නිවාඩු දින ලෙස නීතියෙන් තහවුරු කර තිබේ.

සමහර ආයතන තමන්ගේ ව්‍යාපාරික සංස්කෘතිය අනුව අප්‍රේල් 15 වැනිදා දක්වා හෝ ඉන් පසුවත් නිවාඩු ලබා දුන්නද, පනත මගින් සුරක්ෂිත කර ඇත්තේ දින දෙකක අවම සහතිකය පමණි.

නමුත් සංස්කෘතික නැකත් පත්‍රයට අනුව “රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත” යෙදෙන්නේ බොහෝ විට අප්‍රේල් 17, 18 හෝ 20 වැනි දිනවලය. මෙහිදී සේවකයා දැඩි අර්බුදයකට මුහුණ දෙයි. නීත්‍යානුකූල නිවාඩුව අප්‍රේල් 14න් අවසන් වන අතර, සංස්කෘතික නැකත පවතින්නේ තවත් දින කිහිපයකට පසුවය.

මෙම පරතරය පියවා ගත හැක්කේ සේවකයාට හිමි වාර්ෂික නිවාඩු පරිභෝජනය කිරීමෙන් පමණක් වන අතර, ඒ සඳහාද ආයතන ප්‍රධානියාගේ හෝ “හාම්පුතාගේ” අවසරය අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, සේවකයෙකුට නැකතට අනුව රැකියාවට පිටත්ව යාමට නම්, ඔහුට සංස්කෘතික නිදහසට වඩා හාම්පුතාගේ “ව්‍යාපාරික කරුණාව” මත යැපීමට සිදුවේ.

මෙම නැකත් චාරිත්‍රය ප්‍රායෝගිකව අත්විඳීමේ හැකියාව ඇත්තේ රජයේ සේවකයන්ට සහ ආයතනවල ඉහළ කළමනාකාරිත්වයට පමණක් බව පෙනෙන්නට තිබේ. පහළ මාලයේ ශ්‍රමිකයාට අප්‍රේල් 15 වැනිදා නැවත සේවයට වාර්තා කිරීමට සිදු වන විට, නැකත් පත්‍රය ඔහුට පවසන්නේ තව දින තුනකින් රැකියාවට යන ලෙසයි. මෙම තත්ත්වය තුළ නැකත් චාරිත්‍රය යනු ශ්‍රමිකයාට උසුළු විසුළු කරන, ඉටු කළ නොහැකි සිහිනයක් පමණි. ඒ අනුව රැකී රක්ෂා පිටත්ව යාමේ නැකත යනු සෙලවෙන මනසේ සංස්කෘතික මායාවකි.

ප්‍රදර්ශනාත්මක සංස්කෘතිය සහ අලෙවිකරණ උපාය

සමහර සුපිරි වෙළඳසැල් ජාලයන්හි සේවකයන්ට අවුරුදු උත්සව සමයේදී සාමාන්‍ය නිල ඇඳුම වෙනුවට රෙදි සහ හැට්ට, සරම් වැනි අවුරුදු ඇඳුම් ඇඳීමට නියම කරනු ලැබේ. පාරිභෝගිකයා ඇතුළු වන විට දෑත් එකතු කර “ආයුබෝවන්” කියා අලුත් අවුරුද්දට සුභ පැතීමටද ඔවුන්ට උපදෙස් ලැබී ඇත.

පිටතින් බලන අයෙකුට මෙය සංස්කෘතික අගයන්ට ගරු කිරීමක් සේ පෙනුනද, මෙහි යටි අරමුණ වන්නේ පාරිභෝගිකයා තුළ “අවුරුදු හැඟීමක්” (Festive Vibe) ඇති කර, ඔවුන්ව වැඩිපුර භාණ්ඩ මිලදී ගැනීමට පොළඹවා ගැනීමයි. සේවකයා ඇඳ සිටින ඇඳුමේ සිට පවසන වචනය දක්වා සෑම දෙයක්ම ආයතනයේ ලාභය වැඩිකර ගැනීම සඳහා සැලසුම් කරන ලද උපාය මාර්ගයක කොටසකි.

අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සමාජය තුළ මහා ඉහළින් වර්ණනා කරනු ලැබුවද, සැබෑ ලෝකයේ ප්‍රායෝගික තත්ත්වය තුළ එම චාරිත්‍රවල පාලනය තීරණය කරනු ලබන්නේ තනිකරම ව්‍යාපාරික අවශ්‍යතාවන් මතය. සේවකයා නැකතට වැඩ ඇල්ලිය යුතුද, ඔහුට තම පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීමට ඉඩ ලැබේද, නැතහොත් නැකත් වේලාවට අනුව රැකියාවට පිටත්ව යාමට අවස්ථාව උදාවේද යන කරුණු තීරණය වන්නේ ජ්‍යොතිෂයට වඩා හාම්පුතාගේ නිෂ්පාදන ඉලක්ක (Production Targets) මත පදනම්වය.

මෙහිදී පෙනී යන කටුක සත්‍යය නම්, පාරම්පරික සංස්කෘතිය යනු හුදෙක් ප්‍රදර්ශනාත්මක ආවරණයක් පමණක් බවත්, ශ්‍රමිකයාගේ ජීවිතය හසුරුවන සැබෑ තීරකයා වන්නේ “හාම්පුතාගේ ව්‍යාපාරික සංස්කෘතිය” හා Profit මත පදනම් වූ ආධිපත්‍යය බවත්ය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading