මෛත්‍රී ගුණරත්න අත්සන් කළ ගල්අඟුරු ගිවිසුමෙන් ඩොලර් මිලියන 1.57ක පාඩුවක් – ජනාධිපති කොමිසමේදී හෙළිවෙයි

2015–2016 කාලයේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීම සඳහා Liberty Commodities සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුමක කොන්දේසි වෙනස් කිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් 1,575,630ක පමණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද (සැප්තැම්බර් 8) අනාවරණය විය.

එම ගිවිසුම ලංකා ගල්අඟුරු සමාගම වෙනුවෙන් අත්සන් කර තිබුණේ එවකට එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසිනි.

මේ පිළිබඳ සාක්ෂි ලබාදුන්නේ එවකට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ඩී. අමරතුංග මහතා ය.

අමරතුංග මහතා එවකට අමාත්‍යාංශ ලේකම්වරයා වූ ආචාර්ය සුරේන් බටගොඩ විසින් මෙම ගල්අඟුරු මිලදී ගැනීම් පිළිබඳ සොයාබැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබිණි.

අද සාක්ෂි ලබාදෙමින් අමරතුංග මහතා සඳහන් කළේ, 2015–2016 කාලයේ සිදුකළ ක්ෂණික ගල්අඟුරු මිලදී ගැනීම් හෙවත් Spot Procurements සම්බන්ධයෙන් තම කමිටුව පරීක්ෂණයක් සිදුකළ බවයි.

ගැටලුව තිබුණේ ගල්අඟුරු මිලේ පමණක් නොවේ

අමරතුංග මහතාගේ සාක්ෂිය අනුව, ලක්විජය බලාගාරයට සැපයිය යුතු ගල්අඟුරුවල තාක්ෂණික තත්ත්වය සහ ඒවා නියමිත ප්‍රමිතියෙන් පහළ ගියහොත් සැපයුම්කරුගෙන් අයකළ යුතු දඩ හෙවත් price adjustments සම්බන්ධයෙන් ලංසු ලේඛනවල තිබූ කොන්දේසි අවසාන ගිවිසුමට ඇතුළත් කිරීමේදී බරපතළ වෙනස්කම් සිදුව තිබිණි.

තාක්ෂණික ඇගයීම් කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කළ කරුණුද නිසි ලෙස අනුගමනය නොකර අවසාන ගිවිසුම අත්සන් කර ඇති බව අමරතුංග මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.

මෙහිදී සරලව කිවහොත් ගැටලුව වූයේ, නියමිත ප්‍රමිතියට වඩා අඩු ගුණාත්මක ගල්අඟුරු ලැබුණහොත් සැපයුම්කරුට ගෙවන මිලෙන් අඩු කළ යුතු මුදල ගණනය කරන සූත්‍රය, ලංසු ලේඛනයේ තිබූ ආකාරයෙන් නොව සැපයුම්කරුට වඩා වාසිදායක වන ආකාරයකින් අවසන් ගිවිසුමට ඇතුළත් වී තිබීමයි.

මෙම ප්‍රශ්නය ප්‍රධාන වශයෙන් ගල්අඟුරුවල Sulphur හෙවත් සල්ෆර් ප්‍රමාණය සහ Ash හෙවත් අළු ප්‍රමාණය අනුව සිදුකළ යුතු මිල ගැලපීම්වලට සම්බන්ධ වී තිබිණි.

විගණකාධිපතිවරයාත් හඳුනාගත් එකම ගැටලුව

අද කොමිසම හමුවේ මතුවූ මෙම කරුණු, 2009 සිට 2016 ජූනි දක්වා ලක්විජය බලාගාරයට ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව සකස් කළ විශේෂ විගණන වාර්තාවේද සවිස්තරව සඳහන් වේ. එම වාර්තාව සකස් කර තිබුණේ පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව කළ ඉල්ලීමක් මත වන අතර, දිගුකාලීන ගල්අඟුරු ප්‍රසම්පාදන හයක් සහ ක්ෂණික හෙවත් Spot ප්‍රසම්පාදන පහක් එහි පරීක්ෂාවට ලක් කර තිබිණි.

විගණකාධිපති වාර්තාව අනුව පළමු Spot Procurement එක සඳහා Liberty Commodities සමාගම තෝරාගෙන තිබූ අතර, මෙට්‍රික් ටොන් 165,000කට අදාළ ගිවිසුම 2015 අගෝස්තු 17 වැනිදා අත්සන් කර තිබිණි.

එහිදී ලංසු ලේඛනයට ඇතුළත් වූ draft agreement එකේ තිබූ Sulphur සහ Ash සඳහා මිල ගැලපීමේ සූත්‍ර අවසන් ගිවිසුමට එළඹීමේදී වෙනස් කර තිබූ බව විගණකාධිපතිවරයා සෘජුවම සඳහන් කරයි. තවද අලුත් සම්පූර්ණ ගිවිසුම් අත්සන් කිරීමකින් තොරව එම ගිවිසුමම පසුව දෙවැනි සහ සිව්වැනි Spot Procurements සඳහා යාවත්කාලීන කරගෙන ගොස් ඇති නිසා, මුල් ගිවිසුමේ තිබූ අවාසිදායක තත්ත්වය ඒ මිලදී ගැනීම් දෙකටද බලපා තිබූ බව වාර්තාව සඳහන් කරයි.

ලංසු ලේඛනයේ සූත්‍රය සහ අත්සන් කළ ගිවිසුමේ සූත්‍රය

විශේෂ විගණන වාර්තාවට ඇමුණුම් කර ඇති මුල් ලංසු ලේඛන සහ අත්සන් කළ ගිවිසුම සසඳන විට මෙම වෙනස වඩාත් පැහැදිලි වේ.

ලංසු කෙටුම්පතේ Sulphur සඳහා මිල අඩු කිරීම ගණනය කිරීමේදී භාවිත කළ අගය 0.1% වූ නමුත් අවසන් ගිවිසුමේ එය 1.0% දක්වා වෙනස් වී තිබිණි.

එසේම Ash සඳහා තිබූ 1.0% අගය අවසන් ගිවිසුමේ 10% දක්වා වෙනස් වී තිබිණි.

ඒ අනුව, එකම ප්‍රමිතිය ඉක්මවීමක් සිදුවුවද සැපයුම්කරුගෙන් අඩු කළ හැකි මුදල සැලකිය යුතු ලෙස පහළ යන තත්ත්වයක් නිර්මාණය වී තිබිණි.

එනම්, ගල්අඟුරු මිල අඩුවෙන් හෝ වැඩියෙන් තීරණය කිරීම ගැන පමණක් ඇති වූ ගැටලුවක් නොව, ලැබුණු ගල්අඟුරුවල ගුණාත්මකභාවය ප්‍රමිතියට නොගැලපෙන විට රජයට ආරක්ෂාව ලබාදීමට තිබූ දඩ යාන්ත්‍රණය දුර්වල වී තිබීම මෙහි මූලික ප්‍රශ්නයයි.

Spot ටෙන්ඩර් තුනෙන් ඩොලර් 1,575,630ක්

විගණකාධිපතිවරයා ගණනය කර තිබෙන ආකාරයට එම වෙනස්කම් හේතුවෙන් Liberty Commodities සමාගමට වැඩිපුර ගෙවා ඇති මුදල් මෙසේය.

  • පළමු Spot Procurement – ගල්අඟුරු මෙට්‍රික් ටොන් 226,290 සඳහා US$ 173,134
  • දෙවැනි Spot Procurement – මෙට්‍රික් ටොන් 370,594 සඳහා US$ 391,192
  • සිව්වැනි Spot Procurement – මෙට්‍රික් ටොන් 383,804 සඳහා US$ 1,011,304

ඒ අනුව එම Spot Procurements තුන සම්බන්ධයෙන් වැඩිපුර ගෙවා ඇති මුදල US$ 1,575,630ක්, එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.57කට වැඩි මුදලක් වේ. විගණකාධිපති වාර්තාව එම ගෙවීම් සිදුවීමට හේතුව ලෙස සඳහන් කරන්නේ draft agreement එකේ තිබූ Sulphur සහ Ash මිල ගැලපීමේ සූත්‍ර වෙනස් වී තිබීම පිළිබඳ ලංකා ගල්අඟුරු සමාගම නිසි අවධානය යොමු නොකිරීමයි.

පළමු Spot Procurement එකෙන් Liberty සමාගමට ගල්අඟුරු මෙට්‍රික් ටොන් 226,290ක්, දෙවැනි එකෙන් 370,594ක් සහ සිව්වැනි එකෙන් 383,804ක් සැපයීමට හැකිව තිබූ අතර, ඒ අනුව මෙම Spot මිලදී ගැනීම් තුන යටතේ Liberty වෙතින් ලබාගත් තාප ගල්අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 980,688ක් පමණ විය.

පළමු ගිවිසුම 2015 අගෝස්තුවේ

2015 ජූලි 22 වැනිදා අමාත්‍ය මණ්ඩලය, ලක්විජය බලාගාරයේ ගල්අඟුරු හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා Spot Market ක්‍රමය යටතේ හදිසි මිලදී ගැනීම් කිරීමට අනුමැතිය ලබාදී තිබිණි.

පළමු Spot Tender එක සඳහා ලංසු හයක් ලැබී තිබූ අතර Liberty Commodities විසින් අවම මිල ඉදිරිපත් කර තිබිණි. එම සමාගමට 2015 අගෝස්තු 11 වැනිදා contract award එක ලබාදී අගෝස්තු 17 වැනිදා ගිවිසුම අත්සන් කර තිබිණි.

දෙවැනි Spot Tender එකේදීද Liberty අවම මිල ඉදිරිපත් කර තිබූ අතර 330,000 ±10% මෙට්‍රික් ටොන් සඳහා ටොන් එකකට US$51.29 FOBT මිලක් මත 2015 සැප්තැම්බර් 18 වැනිදා පෙර ගිවිසුම යාවත්කාලීන කර තිබිණි.

සිව්වැනි Spot Tender එකේදී Liberty විසින් ටොන් එකකට US$49.85 FOBT ලෙස අවම මිල ඉදිරිපත් කර තිබූ අතර 2016 ජනවාරි 7 වැනිදා contract award එක ලබාදී ජනවාරි 21 වැනිදා ගිවිසුම යාවත්කාලීන කර තිබිණි.

මෙම කාලයේ තුන්වැනි Spot Tender එක අවලංගු වී තිබූ බැවින් අද සාක්ෂියේදී සඳහන් වූ Liberty සම්බන්ධ Spot ගනුදෙනු තුන වන්නේ අංක 1, 2 සහ 4 යන ප්‍රසම්පාදනයි.

ගිවිසුම අත්සන් කළේ මෛත්‍රී ගුණරත්න

විගණකාධිපති වාර්තාවට අමුණා ඇති පළමු Spot Procurement ගිවිසුමේ පිටපත අනුව, Lanka Coal Company වෙනුවෙන් එම ගිවිසුම අත්සන් කර ඇත්තේ එවකට සමාගමේ සභාපතිවරයා වූ මෛත්‍රී ගුණරත්න මහතා ය.

අද කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අමරතුංග මහතා කියා සිටියේ, තමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ත්‍රිපුද්ගල කමිටුව මෙම ගිවිසුම සම්බන්ධයෙන් මෛත්‍රී ගුණරත්න මහතාගෙන්ද ප්‍රශ්න කළ බවයි.

එම ප්‍රශ්න කිරීමේදී අදාළ ගනුදෙනුවෙන් මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ගුණරත්න මහතා පිළිගත් බවද අමරතුංග මහතා අද සාක්ෂි දෙමින් සඳහන් කළේය.

කෙසේ වෙතත්, විගණකාධිපති වාර්තාවෙන් තහවුරු වන්නේ ගිවිසුම මෛත්‍රී ගුණරත්න මහතා විසින් අත්සන් කර තිබීම සහ අවසන් ගිවිසුමේ Sulphur හා Ash price-adjustment formulas වෙනස් වී තිබීම යන කරුණුය. එම සූත්‍ර වෙනස් කළේ කවර පුද්ගලයෙකු විසින්ද යන්න පිළිබඳ අවසාන වගකීම මෙම විගණන වාර්තාවෙන් පුද්ගලයෙකුට පවරා නැත.

ගිවිසුම් අත්සන් කළ ක්‍රමය ගැනත් විගණකාධිපතිගේ ප්‍රශ්නයක්

මේ අතර විගණකාධිපතිවරයා තවත් වැදගත් නිරීක්ෂණයක් කර තිබේ.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව රුපියල් මිලියන 500 ඉක්මවන කොන්ත්‍රාත් ගිවිසුම් රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අත්සන් කළ යුතු වුවත්, විගණනයට ලක්වූ ගල්අඟුරු ප්‍රසම්පාදන ගිවිසුම් කිසිවක් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අත්සන් කර නොතිබූ බවත් සියලු ගිවිසුම් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් අත්සන් කර තිබූ බවත් වාර්තාව සඳහන් කරයි.

Grain Size සම්බන්ධයෙන් තවත් මිලියන ගණනක අයකරගත නොහැකි මුදල්

Sulphur සහ Ash සූත්‍ර වෙනස් කිරීමෙන් සිදුවූ US$1.575 මිලියනක වැඩිපුර ගෙවීමට අමතරව, විගණකාධිපතිවරයා Spot Tenderවල Grain Size, එනම් ගල්අඟුරු කැටවල ප්‍රමාණය සම්බන්ධ penalty එක නිසි අධ්‍යයනයකින් හෝ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව ඉවත් කර තිබීම ගැනද විශේෂ නිරීක්ෂණයක් කර තිබේ.

ඒ හේතුවෙන් Liberty Commodities සමාගමෙන් Spot 1, 2 සහ 4 සඳහා පිළිවෙළින් US$758,358ක්, US$562,763ක් සහ අවම වශයෙන් US$409,537ක් අයකරගත නොහැකි වී තිබූ බව විගණකාධිපතිවරයා ගණනය කර ඇත. සිව්වැනි Spot Tender එකේ ගල්අඟුරු තොගයෙන් විශාල කොටසකට අදාළ Grain Size දත්ත තත්ත්ව පරීක්ෂණ වාර්තාවල නොතිබීම නිසා ඒ සඳහා අයකළ හැකි සම්පූර්ණ මුදල ගණනය කිරීමටද නොහැකි වී තිබිණි.

ඒ අනුව අද කොමිසම හමුවේ සාක්ෂියෙන් මතුවූ US$1,575,630ක පාඩුව නිශ්චිතව සම්බන්ධ වන්නේ Sulphur සහ Ash සඳහා ලංසු ලේඛනයේ තිබූ මිල ගැලපීමේ සූත්‍ර අවසන් ගිවිසුමේ වෙනස් කිරීමේ සිද්ධියටය. Grain Size සම්බන්ධ අයකරගත නොහැකි මුදල් ඊට වෙනම විගණන නිරීක්ෂණයකි.

කොමිසම කුමක්ද?

මෙම සාක්ෂි විභාග කරනු ලබන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය යටතේ 2026 අප්‍රේල් 17 වැනිදා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසිනි.

ශ්‍රී ලංකාවේ ගල්අඟුරු මත විදුලි ජනනය ආරම්භ කළ කාලයේ සිට 2026 අප්‍රේල් 16 දක්වා Lanka Coal Company විසින් සිදුකළ ගල්අඟුරු ආනයන ප්‍රසම්පාදනවල අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී තිබේද, ඒ හේතුවෙන් රජයට මූල්‍ය පාඩු සිදුවී තිබේද සහ නියමිත ප්‍රමිතියට නොගැලපෙන ගල්අඟුරු ආනයනය කර තිබේද යන්න විමර්ශනය කිරීම කොමිසමේ කාර්යයන් අතර වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක එම කොමිසමේ අනෙක් සාමාජිකයන් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරුන්ය.

අදාල ගිවිසුම ඇතුළු කරුණු ඇතුළත් විගණකාධිපති වාර්තාව පහතින් බාගත කරන්න.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading