එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකා රුපියල් මිලියන 100 ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් රාජපක්ෂ සම්බන්ධව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අමාත්‍ය විජිත හේරත්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසන ලදී.
ගම්මන්පිල මහතා විසින් “රුපියල් 10ක් හිඟන්නෙකුට දීම වරදක් නොවේ” යනුවෙන් කළ ප්‍රකාශය සහ රනිල් වික්‍රමසිංහ විසින් මෙය “දේශපාලන පලිගැනීමක්” ලෙස හැඳින්වීම පිළිබඳව සහ මේ සම්බන්ධයෙන් Gen Z තරුණ පරම්පරාව පිළිකුලෙන් බලන බවට කෙරෙන ප්‍රකාශ පිළිබඳවද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසන ලදී.
දේශපාලනඥයන්ට මුදල් දීම හිඟන්නන්ට මුදල් දීමට සමාන කළ නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. හිඟන්නෙකුට නැතිබැරිකම නිසා ලබාදෙන ආධාරය සහ දේශපාලනඥයන්ට ලබාදෙන අල්ලස් හෙවත් ගතමනාව අතර පැහැදිලි වෙනසක් ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
මේක හිඟන්නෙකුට සල්ලි දීමක් කියලා පිළිගන්න බැහැ. මොකද එහෙමනම් නාමල් රාජපක්ෂ හිඟන්නෙක් වෙන්න ඕනේ. ඒක එහෙම නෙමෙයිනේ, ගම්මන්පිල මහත්තයා කියන්නේ නාමල් හිඟන්නෙක් කියලද? නැහැ නේද? ඉතින් ඒක මේ රටේ ජනතාවනම් පිළිගන්නේ නැහැ. හිඟන්නෙකුට නැතිබැරිකමට සල්ලි දෙන එකයි, දේශපාලඥයෙකුට සල්ලි දෙන එකයි සම්පූර්ණ වෙනස්. පැහැදිලි වෙනසක් තියෙනවා.
පහුගිය කාලයේ විවිධ පාර්ශ්වයන් විසින් දේශපාලනඥයන්ට ගතමනාවන් ලබා දුන් ආකාරය රටේ ජනතාවට හොඳින් තේරෙන බවත්, හිඟන්නෙකුට දෙන මුදලක් සහ මෙවැනි මූල්‍ය ලබාදීම් සමාන කරමින් අදහස් දක්වන පුද්ගලයන්ගේ මොළේ පරීක්ෂා කිරීම කාලෝචිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙහිදී අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ සඳහන් කළ gen Zලාගේ ප්‍රශනය පිළිබඳවද අදහස් දක්වමින් මෙසේ පැවසීය. ඔහු පවසා සිටියේ Gen Z පරම්පරාව අරගල කළේ දූෂිතයන්ට දඬුවම් දීමට මිස දූෂණය ආරක්ෂා කිරීමට නොවන බවයි.
Gen Z එක බොහොම සතුටින් ඉන්නේ මේ වගේ දූෂිතයන්ට දඬුවම් දීම පිළිබඳව. Gen Z එක අරගල කරේ මොකටද? රට විනාශ කරපු හොරු, දූෂිතයෝ පලවා හරියව් කියලා. ගෝල්ෆේස් පිට්ටනියේ සටන් පාඨය ඒකනේ. ඉතින් Gen Z එක වැඩියෙන්ම සතුටු වෙනවා මේ අපරාධකාරයන්ට, දූෂිතයන්ට දඬුවම් දෙනකොට. ඒවා පරක්කු වෙන එක ගැන තමයි Gen Z එක පසුතැවිල්ලෙන් හිටියේ. ඒ නිසා අද අපේ රටේ තරුණ පරම්පරාව ඇත්තටම සතුටු වෙනවා තමන්ගේ අනාගතයේ එවැනි වංචා, දූෂණ වලින් තොර රටක් බිහි කරන්න මැදිහත් වීම පිළිබඳව.
රනිල් වික්‍රමසිංහගේ චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නාමල් රාජපක්ෂට අදාළ මෙම නඩුව රනිල් වික්‍රමසිංහ පාලන සමයේදීම පවරා තිබූ එකක් බවයි. පසුගිය රජය සමයේදී මෙම නඩුව පවරා තිබුණද එය නිසි පරිදි පවත්වාගෙන නොගොස් ඩීල් හරහා යටපත් කර තිබූ බවත්, වත්මන් රජය සිදුකළේ යටපත් කර තිබූ නඩු සියල්ල නැවත විභාග කිරීම සඳහා අවශ්‍ය නීතිමය පහසුකම් සැලසීම පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
