ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන නවතම ලිඛිත වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) මඟින් ඉදිරිපත් කර තිබෙනවා.
2025 ඔක්තෝබර් මස සිට 2026 ජූලි මාසය දක්වා කාලසීමාව තුළ මෙරට මානව හිමිකම්, ප්රතිසන්ධානය සහ වගවීම් ක්‍රියාවලීන්හි සිදුව ඇති ප්‍රගතිය මෙන්ම පවතින බරපතළ අභියෝග විශ්ලේෂණය කරමින් මෙම වාර්තාව සකස් කර ඇත.
එම වාර්තාව මඟින් ශ්‍රී ලංකාවේ දූෂණ විමර්ශන සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු අනාවරණය කර ඇති අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ප්‍රංශයේ එයාර්බස් සමාගම අතර සිදුවූ ගනුදෙනුවට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කරමින් නව විමර්ශන ආරම්භ කර ඇති බව එහි දක්වා තිබෙනවා.
මීට අමතරව මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ගල් අඟුරු ප්‍රසම්පාදනයට අදාළ අක්‍රමිකතා විමර්ශනය කෙරෙන බවත් එහි සඳහන් වනවා.
වත්මන් රජය විසින් දූෂණය පිටුදැකීම සහ ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා ගෙන ඇති මෑතකාලීන පියවර වාර්තාව මඟින් ඇගයීමට ලක්කර තිබුණ, දේශපාලන ඝාතන, අතුරුදන්වීම් සහ ඇතැම් පැරණි නඩුවල වගවීම් ක්‍රියාවලීන් තවමත් ප්‍රමාද වෙමින් පවතින බව එහි පෙන්වා දී තිබෙනවා.
මීට අමතරව මෙරට මුහුණ දී සිටින දැඩි ආර්ථික බලපෑම් සහ මූල්‍ය පීඩනය පිළිබඳවද වාර්තාව මගින් අවධානය යොමු කර තිබුණා.
2026 අයවැය ඇස්තමේන්තුවලට අනුව රජයේ සමස්ත ආදායමෙන් 49.38%ක දැවැන්ත ප්‍රතිශතයක් ණය සඳහා පොලී ගෙවීමට වැය වන බව එහි දැක්වෙන අතර පවතින දැඩි මූල්‍ය සීමාවන් හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සෞඛ්‍ය ක්ෂේත්රයට 1.9%ක්, අධ්‍යාපනයට 2%ක් සහ සමාජ ආරක්ෂණයට 2.4%ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් වෙන් කිරීමට සිදුව තිබෙනවා.
එමෙන්ම 2025 නොවැම්බර් මාසයේදී මෙරටට බලපෑ දිට්වා කුණාටුව හේතුවෙන් ඩොලර් බිලියන 3.4ක අතිවිශාල ආර්ථික සහ භෞතික හානියක් සිදුවූ බවත් සමස්ත ජනගහනයෙන් 22.1%ක් තවමත් දැඩි ආර්ථික අවදානමකට ලක්ව සිටින බවත් පෙන්වා දී තිබෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුවූ බිඳවැටීම් පිළිබඳව ද ජිනීවා වාර්තාවේ කරුණු ඇතුළත් වනවා.
නීතිමය ආරක්ෂණ විධිවිධාන මඟහරිමින් ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ආනයනය කිරීම හරහා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දුව එහි උපුටා දක්වා තිබෙනවා.
එමඟින් පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය, යහපත් සෞඛ්‍යය සහ පිරිසිදු පරිසරයක් භුක්ති විඳීමේ අයිතිය සුරැකීමට රජයකට ඇති වගකීම තහවුරු කර ඇති බව මානව හිමිකම් කාර්යාලය සඳහන් කළා..
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ වගවීම පිළිබඳව සොයා බැලීමේදී, විමර්ශනවල යම් ප්‍රගතියක් පැවතියද අදාළ නීතිමය ක්‍රියාමාර්ග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවීම පිළිබඳ කනස්සල්ල පළ කර තිබෙනවා.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට මරණ දඬුවම නියම වීම මෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්වයන්ට විදෙස් ගමන් තහනම් පැනවීම පිළිබඳව ද වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන තෙක් එහි භාවිතය වහා අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින අතර තවදුරටත් එම පනත යොදාගනිමින් පුද්ගලයන් රඳවා තබා ගැනීම පිළිබඳව කනස්සල්ල පළ කර ඇත.
විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල රාජ්‍ය ඔත්තු සේවා මඟින් සිවිල් ක්‍රියාකාරීන් සහ වින්දිතයන්ගේ පවුල් ඉලක්ක කර ගනිමින් සිදුකරන නිරීක්ෂණ හා බියවැද්දීම් සංහිඳියාවට දැඩි බාධාවක් බවද අවධාරණය කර තිබෙනවා.
මෙම වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ, මානව හිමිකම් සුරැකීමට ශ්‍රී ලංකාව දේශීය යාන්ත්‍රණයන් හරහා උපරිමයෙන් කැපවී සිටින බවයි.
ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් :
“බාහිර සාක්ෂි සෙවීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරනවා. ගිය වසර තුළ සංහිඳියාව සහ මානව හිමිකම් සහතික කිරීමට රජය විවිධ පියවර ගෙන තිබෙනවා. එක්සත් ජාතීන් සහ අනෙක් අන්තර්ජාතික පාර්ශ්වවල උපදෙස් ද ලබාගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත්කර ඒ වෙනුවට නව පනතක් ගැසට් කරලා එය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මාර්ගස්ථ සුරක්ෂිතතා පනතේ සංශෝධන සිදුකර අවසන්. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සහයෝගීතා සහ සංහිඳියාව පිළිබඳ කාර්යාලය අඛණ්ඩව ක්‍රියාත්මකයි. පවතින සත්‍ය සහ සංහිඳියා කොමිසමේ ක්‍රියාවලියත් සංශෝධනයට ලක්කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ගේ නායකත්වයෙන් යුතුව ස්වාධීන නීතිපති කාර්යාලයක් ඇති කිරීමට උත්සාහය කරමින් ඉන්නවා. ඉඩම් නිදහස් කිරීම, තක්සේරුව සහ වන්දිගෙවීම ගැන අන්තර් අමාත්‍යංශ කමිටුවක් පත්කර තිබෙනවා. අධිකරණය ස්වාධීනව පවත්වාගෙන යාම, සහ නීති ප්‍රවේශය පහසු කිරීමට රජය බැඳී සිටිනවා. සියලු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ නවතම නීති ප්‍රතිපාදන ගේන්නේ අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාදවීම වැළැක්වීමටයි.”
කෙසේ වෙතත් මානව හිමිකම් කවුන්සිලය විසින් පත්කර ඇති බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සෘජුවම හානි පමුණුවන බැවින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා රජය යළිත් අවධාරණය කර තිබෙනවා..
මෙරට දේශපාලන වේදිකාව තුළද මානව හිමිකම් පිළිබඳ උණුසුම් කතිකාවක් නිර්මාණය වී ඇති අතර අතීතයේ ඉන්ධන සහ ගෑස් පෝලිම්වල ජනතාව මියයාම මෙන්ම බාල ඖෂධ හේතුවෙන් රෝගීන් අන්ධභාවයට පත්වීම වැනි බරපතළ ඛේදවාචකයන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ලෙස ජිනීවා වෙත ගෙන නොයන්නේ මන්දැයි ප්‍රශ්න කෙරෙනු ඇති.
එවකට සිටි පාලකයින් ඊට සෘජුවම වගකිව යුතු බවට ජනතාව චෝදනා කරන පසුබිමක, විපක්ෂයට එවැනි පීඩාවන් එල්ල නොවීම නිසා ඔවුන් මෙම සැබෑ ජනතා ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යාමට උනන්දු නොවන බවට ද දේශපාලන කරළියේදී විවේචන එල්ල වෙමින් පවතිනවා.
