නාමල් බලන්න ශිරන්ති කාර් එකෙන්ම හිරගෙට ගිය හැටි ගැන ඇමැතිගෙන් පැහැදිලි කිරීමක්

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැලීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට වාහනයෙන්ම බන්ධනාගාරය තුළට යාමට අවසර හිමිවූයේ ඇය හිටපු ජනාධිපතිවරයෙකුගේ බිරිඳ වීම නිසා විය හැකි යැයි අමාත්‍ය විජිත හේරත් මහතා පවසනව.

අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සාමාන්‍ය පුද්ගලයෙකුට බන්ධනාගාරය ඉදිරිපිට වාහනයක් නැවැත්වීමට පවා අවසර නොලැබෙන පසුබිමක, නාමල් රාජපක්ෂ මහතා බැලීමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය වාහනයෙන්ම බන්ධනාගාර භූමියට ඇතුළු වීම විශේෂ වරප්‍රසාදයක් දැයි මාධ්‍යවේදින් මෙහිදී විමසා සිටි‍යා.

ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, නාමල් රාජපක්ෂ මහතාට තවමත් අධිකරණයෙන් දඬුවම් නියම වී නොමැති බවත් ඔහු පසුවන්නේ සැකපිට අත්අඩංගුවට ගත් රැඳවුම්කරුවෙකු ලෙස බවයි.

එවැනි රැඳවියන් බැලීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ක්‍රමවේදයක් පවතින අතර එම ක්‍රමවේදයට අනුව හෝ ඇය හිටපු ජනාධිපතිවරයෙකුගේ බිරිඳ වීම සලකා එම අවසරය ලැබෙන්නට ඇති බවත් ඒ පිළිබඳව නිශ්චිතව සොයා බලා ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති ස්ටීවන් තිරුනීලකන්දන් මහතා විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විවේචනාත්මක වාර්තාව රජය පිළිගන්නේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා, රජයක් ලෙස පිළිගනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව පමණක් බව පැවසුවා.

එමෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවට බේරුවල පැවති ජනහමුවකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා ජනමත විචාරණයක් නිර්දේශ වෙයිද නැතහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් එය සම්මත කළ හැකිද යන්න පිළිබඳව රජයට පවතින විශ්වාසය කුමක්දැයි විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ නීතිය දන්නා ඕනෑම කෙනෙකුට ජනමත විචාරණයකට යා යුතු සහ නොයා යුතු වගන්ති මොනවාදැයි පැහැදිලිව තේරුම් ගත හැකි බවයි.

කෙසේ වෙතත් ජනමත විචාරණයක් පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව ලැබුණු පසු බලාගත හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Author

Related Posts