හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන දූෂණ නඩුවකදී ඔහුට අත්හිටවූ සිරදඬුවමක් ලබාගැනීමට කටයුතු කළ හැකි බව පවසා රුපියල් 750,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැප්තැම්බර් 8 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
මේ පිළිබද අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත්තේ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා විසින්මය.
අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
අල්ලස් ගනුදෙනුවට පසුබිම් වී ඇත්තේ හිටපු සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපති හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මේ වනවිට කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ නැවත විභාග වන “මාදිවෙල නිවාස” දූෂණ නඩුව බවට තොරතුරු අනාවරණය වී තිබේ.
විමර්ශන ආරංචිමාර්ග පවසන්නේ මෙම මුදල් ගනුදෙනුවට අදාළ වැදගත් ඩිජිටල් සාක්ෂිද විමර්ශකයන් සතුව පවතින බවයි.
ඒ අතර WhatsApp ඔස්සේ හුවමාරු වී ඇති පණිවිඩ සහ අදාළ මුදල් ගෙවීම් සනාථ කරන බව කියන රිසිට්පත්ද තිබෙන බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
මෙහිදී ඉතා වැදගත් කරුණක් වන්නේ නඩුව විභාග කරන මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා මෙම අල්ලස් ගනුදෙනුවට සම්බන්ධ බවට මේ වනවිට කිසිදු කරුණක් හෙළිවී නොමැති වීමයි. මේ සිදුවීම පිළිබද පැමිණිලි කර ඇත්තේද විනිසුරුවරයා විසින්මය.
මෙම සිද්ධියේ පසුබිමේ ඇති සරණ ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ආරම්භ වන්නේ ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2006–2007 කාලයේ සිදුවූ බව කියන ගනුදෙනුවක් සම්බන්ධයෙනි.
අල්ලස් කොමිසමේ චෝදනාව අනුව මාදිවෙල පිහිටි නිවසක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයට කුලියට ගැනීමේදී එම නිවසේ හිමිකරු වෙත රුපියල් 1,980,000ක — එනම් ලක්ෂ 19.8ක — බදු අත්තිකාරම් මුදලක් නීතිවිරෝධී ලෙස මුදාහැරීමට මණ්ඩලයේ නිලධාරීන් පෙළඹවීමෙන් සරණ ගුණවර්ධන මහතා අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ “දූෂණය” නමැති වරද සිදුකළ බව පැමිණිල්ල කියයි. අල්ලස් කොමිසම 2022දී මෙම නඩුව පවරා තිබුණි.
නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අනුව, එම නිවස සරණ ගුණවර්ධන මහතාගේ හිටපු බිරිඳ වන කුමාරි අබේවික්‍රම මහත්මියට අයත්ව තිබූ නිවසක් බවත්, පසුව එය වෙනත් අයෙකුට පවරා ඔහුගෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයට කුලියට ගැනීම සිදුකර ඇති බවත් සඳහන් වේ.
2026 ජූලි මාසයේ නඩු විභාගයේදී සාක්ෂි ලබාදුන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු ප්‍රධාන පරිපාලන නිලධාරී පියසේන දේවගේ මහතා පවසා තිබුණේ, මණ්ඩලය සතුව මහරගම ප්‍රදේශයේ අමතර ගබඩා දෙකක් තිබියදී ඉතිරි වූ ලොතරැයි ටිකට්පත් ගබඩා කිරීම සඳහා යැයි පවසමින් මෙම මාදිවෙල නිවස කුලියට ගත් බවයි.
එමෙන්ම මණ්ඩලය ඒ වනවිට කොල්ලුපිටියේ ස්ථානයක කුලී පදනම මත පවත්වාගෙන ගොස් තිබූ අතර 2004දී යූනියන් පෙදෙසේ පැරණි කඩදාසි සංස්ථාවට අයත් විශාල ඉඩමක්ද මිලදීගෙන තිබූ බව සාක්ෂිකරු අධිකරණයට පවසා තිබුණි.
පැමිණිල්ලේ තර්කය වන්නේ ඒ අනුව ආයතනයට අවශ්‍ය ගබඩා පහසුකම් තිබියදීත් මෙම නිවස කුලියට ගැනීම සඳහා රුපියල් 1.98 මිලියනක අත්තිකාරමක් ගෙවීමට නිලධාරීන් පෙළඹවීම තුළින් සරණ ගුණවර්ධන මහතා සිය ධුරය අයුතු ලෙස භාවිත කර ඇති බවයි.
සරණ ගුණවර්ධන මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කර තිබෙන අතර, ඒ අනුව පැමිණිල්ලේ සාක්ෂි විමසීම මේ වනවිට සිදුවෙමින් පවතී.
මෙම නඩුවේ තවත් විශේෂත්වයක් වන්නේ එය මීට පෙර එක් අවස්ථාවක අවසන් වී තිබීමයි.
සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගත් කොළඹ මහාධිකරණය ඔහු නඩුවෙන් නිදහස් කර තිබුණි. එම තීරණයට එරෙහිව අල්ලස් කොමිසම 2024 අගෝස්තු 21 වැනිදා අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළ අතර, අගෝස්තු 29 වැනිදා එය සලකා බැලූ අභියාචනාධිකරණය සරණ ගුණවර්ධන මහතාට නොතීසි නිකුත් කිරීමට තීරණය කළ බව අල්ලස් කොමිසමේ නිල වාර්තාවේ සඳහන් වේ.
පසුව එම නිදහස් කිරීමේ නියෝගය අවලංගු වී නඩුව නැවත විභාගයට පැමිණ ඇති අතර, වර්තමානයේ එය මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ විභාග වෙමින් පවතී.
මෙම මාදිවෙල නිවාස නඩුව සරණ ගුණවර්ධන මහතා මේ වනවිට වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් විඳීමට නියමව සිටින නඩු හතරෙන් වෙනස්, වෙනම නඩුවකි.
2026 ජූනි 9 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාහන කුලී පදනම මත ලබාගැනීමේදී සිදුකළ බව කියන දූෂණ සම්බන්ධ වෙනම නඩු හතරකදී සරණ ගුණවර්ධන මහතා වරදකරු කරනු ලැබීය. චෝදනා 18කට වරදකරු වූ ඔහුට නාමිකව වසර 72ක සිරදඬුවම් නියම වූ අතර, ඒවා එක් එක් නඩුව තුළ එකවර ගෙවී යන ආකාරයට ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රායෝගික සිරදඬුවම වසර 16ක් බවට පත්විය. ඔහුට රුපියල් ලක්ෂ 18ක දඩයක්ද නියම කෙරිණි.
එම තීන්දුවට එරෙහිව සරණ ගුණවර්ධන මහතා 2026 ජූලි 1 වැනිදා අභියාචනාධිකරණය වෙත වෙන වෙනම අභියාචනා හතරක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මේ වනවිට ඔහු බන්ධනාගාර භාරයේ සිටියදී, මාදිවෙල නිවාස ගනුදෙනුවට අදාළ වෙනම දූෂණ නඩුවේ විත්තිකරු ලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලබයි.
