රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (08) බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි අතර රටේ පවතින සෞඛ්‍ය අර්බුදය, ගොවි ගැටලු, ජල හිඟය, සහල් ආනයනය, රේගු අක්‍රමිකතා සහ දරුවන්ට එරෙහි සයිබර් අපරාධ ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ඔහු අද (08) පාර්ලිමේන්තුවේදි අදහස් ඉදිරිපත් කළා.
විනාඩි 10ක කාලයක් සිය අදහස් දැක්වූ නාමල් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ආණ්ඩුව බලයට පත්වූ දා සිට විවිධ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කළ බව පැවසුවද බිම් මට්ටමේදී ඒවා යථාර්ථයක් බවට පත්ව නොමැති බවත් වර්තමාන ආර්ථික ප්‍රතිපත්තිය සාමාන්‍ය ව්‍යාපාරිකයාට සහ ව්‍යවසායකයාට දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවයි.
රජයේ රෝහල් පද්ධතිය තුළ පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ මෙන්ම අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ පවා නොමැතිව දැඩි අර්බුදයක් මතුව ඇතැයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ගැටුම් ඇති කරගනිමින් රෝහල්වලට අවශ්‍ය බෙහෙත් ලබාදීමට අපොහොසත් වී සිටින ආණ්ඩුව, රෝගීන්ට රෝහල් වෙත නොපැමිණ “කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න” යැයි පැවසීමෙන් ජනාධිපතිවරයාගේ මානසිකත්වය මනාව පැහැදිලි වන බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
වසරකට කෝටි අටක පමණ ජනතාවක් ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රක්ෂණාවරණ සහිතව පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගත හැකි වුවද ගමේ සාමාන්‍ය දෙමව්පියන්ට සහ දරුවන්ට යැපීමට සිදුව ඇත්තේ බෙහෙත් නොමැති රජයේ රෝහල් මත පමණක් බවත් ඔහු පෙන්වාදෙනවා.
එමෙන්ම රට තුළ ඩෙංගු රෝගීන් ලක්ෂයක් පමණ වාර්තා වී මරණ රැසක් සිදුවෙමින් පවතිද්දී, ආණ්ඩු පක්ෂය බලය හොබවන පළාත් පාලන ආයතන මඟින් ඩෙංගු මර්දනයට නිසි පියවර නොගෙන රෝගීන් රෝහල් වෙත යාම ගැටලුවක් කරගෙන ඇතැයිදනාමල් රාජපක්ෂ චෝදනා කළා.
පසුගිය කාලයේ විපක්ෂයේ සිටියදී වී කිලෝවකට රුපියල් 150ක් ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ ආණ්ඩුව, අද වන විට තෙත වී කිලෝවක් රුපියල් 80ත් 85ත් අතර මිලකටත්, වේලූ වී කිලෝවක් රුපියල් 90ත් 95ත් අතර මිලකටත් අලෙවි කිරීමට ගොවියාට සිදුවන තත්ත්වයක් උදා කර ඇති බවද නාමල් රාජපක්ෂ පවසනවා.
රජය රුපියල් 120කට වී මිලදී ගන්නා බව පැවසුවද ප්‍රායෝගිකව වී මිලදී නොගන්නා බව පැවසූ ඔහු, මීට පෙර ලබාගත් වී සඳහාද මුදල් ගෙවා නොමැති බවත් දේශීය ගොවියාගේ වී අස්වැන්න සාධාරණ මිලකට විකුණා ගැනීමට නොහැකි පසුබිමක, රටේ ජනතාවට මාස දෙකක් පරිභෝජනය කළ හැකි ප්‍රමාණයට සමාන මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක සහල් පිටරටින් ආනයනය කර ඇති බවත් එහිදී කියා සිටියා.
එල්නිනෝ කාලගුණ තත්ත්වය පෙන්වමින් රජයේ පොහොර බෙදාහැරීම ප්‍රමාද කර ඇති අතර එකම නැවෙන් පැමිණියද පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ පොහොර ගමට කලින් යාම නිසා වැඩි මිලට පොහොර මිලදී ගැනීමට ගොවීන්ට සිදුවීමෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බවදනාමල් රාජපක්ෂ පවසනවා.
මේ අතර දිවයිනේ ප්‍රධාන ජලාශ 74න් ජල මට්ටම 34% දක්වා පහත වැටී ඇති බව පැවසූ නාමල් රාජපක්ෂ පවසන්නේ, ඇතැම් ගම්මානවලට පානීය ජලය සැපයෙන්නේ දින 20ත් 25ත් අතර කාලයකට වරක් පමණක් බවයි.
ආපදා තත්ත්වයන්හිදී හානි වූ නිවසකට සහ ඉඩමකට රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදෙන බවටත් නේපාලයට ඩොලර් මිලියනයක ආධාර ලබාදෙන බවටත් පැවසූ පොරොන්දු ඉටු නොකරන බවට චෝදනා කළ ඔහු, ජාත්‍යන්තරය හමුවේ රට අපකීර්තියට පත් නොවන සේ නේපාලයට හෝ පොලු නොතබන ලෙස ඉල්ලා සිටියා.
එමෙන්ම මෙම රජය යටතේ රේගුවෙන් වැඩිම ආදායමක් ලැබුවේ කන්ටේනර් 323ක් මුදාහැර පන්නාගත් අවස්ථාවේදී බව පැවසූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයා බේරුවල සංචාරයක නිරත වූ අවස්ථාවේදී ධීවර බෝට්ටුවලට බේරුවල වරායට ඇතුළු වීමට ඉඩ නොදීමෙන් ධීවර ප්‍රජාව දැඩි පීඩාවට පත් වූ බවද සඳහන් කළා.
නව විශ්වවිද්‍යාල 50ක් ඉදිකරන බවට ආණ්ඩුව පොරොන්දු දුන්නද, පාසල් ගොඩනැගිලිවල දෙවැනි මහල ඉදිකිරීමට සහ වැසිකිළි පද්ධති සඳහා මුල්ගල් තබමින් ආණ්ඩුව ජනතාව මුළා කරමින් සිටින බවටද ඔහු පවසනවා.
එමෙන්ම ළමුන්ට එරෙහි සයිබර් අපරාධ වැළැක්වීම සහ සයිබර් අවකාශය තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනමින් නීති සම්පාදනය කළ යුතු බව පවසන නාමල් රාජපක්ෂ මහතා, ආණ්ඩුව සිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් යොදවා දේශපාලන විරුද්ධවාදීන්ට අපහාස කරමින් සහ චරිත ඝාතනය කරමින් ගෙනයන ක්‍රියාවලියේ ගොදුරක් බවට අද වන විට රටේ සමස්ත දරු පරම්පරාවම පත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරිය වහා පියවර ගත යුතු බවත් වැඩිදුරටත් කියා සිටියා.
