කාංචනා අනුරාධිගේ මියුරු හඬින් සහ සජිත ඇන්තනීගේ අපූරු රංගනයෙන් හැඩවී, චමිල් පතිරණ විසින් අධ්‍යක්ෂණය කරන ලද “මනමාල කතා” රූප රචනය මේ වෙද්දී සමාජ මාධ්‍යවල ප්‍රධානම මාතෘකාව වී ඇත.
ඇත්තටම මේ රූප රචනය ශ්‍රී ලාංකීය ගැමි සමාජය තුළ ගැහැනියගේ යටපත් කළ ආශාවන්, ඊට එරෙහිව නැගෙන සමාජ තහංචි සහ ඇගේ මානසික අරගලය පිළිබඳව කෙරෙන අතිශය ගැඹුරු මනෝවිද්‍යාත්මක කියවීමකි. මෙහිදී සම්ප්‍රදායික “කළු කුමාර” සංකල්පය මනාව භාවිත කරමින්, කාන්තාවකගේ සිත තුළ ඇතිවන “හිස්ටීරියා” (Hysteria) තත්ත්වය සහ එයින් මිදීමට ඇය දරන උත්සාහය අපූරුවට රූපගත කර ඇත. රෝහණ වීරසිංහගේ සංගීතයත් සමිත්ගේ වචනත් මුහු වී අන්තිමේ කාංචනා ඇගේම ප්‍රකාශනයක් කරන්නී, කළු කුමාරයාටත් වඩා කාන්තා සිත ගැනය.
යටපත් කළ ආශාව
අපේ ජනශ්‍රැතියට අනුව කළු කුමාරයා යනු තරුණියන්ට දිෂ්ටි හෙළන, ඔවුන් වසඟයට ගන්නා රාගාධික යක්ෂයෙකි. එහෙත් නවීන මනෝවිද්‍යාවට අනුව කළු කුමාරයා යනු පිටතින් පැමිණෙන යක්ෂයෙකු නොව, සමාජය විසින් තහංචි දමා හිරකරනු ලැබූ තරුණියකගේ යටිසිතේ (Unconscious mind) බුරබුරා නැගෙන ලිංගික සහ චිත්තවේගීය ආශාවන්ගේ ප්‍රතිමූර්තියයි.

වීඩියෝවේ ආරම්භයේදීම පිරිමි මූලික සමාජයක බලපෑම සහ කළු කුමාරයාගේ ආගමනය මගින් සංකේතවත් කෙරේ. ඉන්පසුව, වැඩිහිටි ගැහැනුන් විසින් ඇයව සම්ප්‍රදායේ සුදු රෙද්දකින් වසා දමමින් කොටු කිරීමට උත්සාහ කරන ආකාරය දැකගත හැකිය. මේ සියලු සීමා කිරීම් මැද, කුටියක සිරවී සිටින ඇය, තමන්ගේම යටපත් කළ ආශාව (කළු කුමාරයා) කෙරෙහි ආකර්ෂණය වෙයි. ඇය සහ කළු කුමාරයා අතර ඇතිවන මෙම බැඳීම සහ ලාලසාව හි දැක්වෙන සමීප දර්ශනයෙන් මනාව නිරූපණය වේ.
හිස්ටීරියාව
මෙම රූප රචනය තවත් එක් අතකින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වැනි මනෝවිද්‍යාඥයින් විසින් සාකච්ඡා කළ “හිස්ටීරියාව” (Hysteria) නම් තත්ත්වය පිළිබඳව කෙරෙන ප්‍රබල සමාජ විද්‍යාත්මක කියවීමකි. පිරිමි මූලික සමාජයක් තුළ ගැහැනියකගේ ලිංගිකත්වය සහ චිත්තවේගීය ආශාවන් නිරන්තරයෙන්ම යටපත් කරනු ලබයි. මෙලෙස යටිසිතේ (Unconscious mind) දැඩිව සිරකරගෙන සිටින මානසික පීඩනය දරාගත නොහැකි වූ තැන, එය අසාමාන්‍ය කායික සහ මානසික ව්‍යාකූලත්වයක් ලෙස පිටතට පුපුරා එයි. වීඩියෝව තුළ වැඩිහිටියන් විසින් සුදු රෙද්දකින් වසා ඇයව කොටු කිරීමට දරන උත්සාහය සහ ඉන්පසු ඇය තුළ ඇතිවන ආවේශය යනු ඇත්ත වශයෙන්ම වෙනත් අද්භූත බලවේගයක් නොව, ඇගේම යටපත් කළ මානසික පීඩනය හිස්ටීරියා තත්ත්වයක් ලෙස ඉස්මතු වීමයි. සමාජය එය “කළු කුමාර දිෂ්ටිය” ලෙස නාමකරණය කරයි.

මෙම හිස්ටීරියා තත්ත්වයට ගැමි සමාජය ලබා දෙන සාම්ප්‍රදායික විසඳුම වන්නේ “තොවිලයයි”. මනෝවිශ්ලේෂණාත්මක දෘෂ්ටිකෝණයෙන් බැලූ කල, තොවිලයක් යනු අතිශය සාර්ථක “කැතාරිසිස්” (Catharsis) හෙවත් භාව විරේචන ක්‍රියාවලියකි. දැඩි සමාජ තහංචි මැද කොටුවී සිටින තරුණියකට, තොවිල්පොළේ නඟින බෙර හඬ, දුම්මල සුවඳ සහ මන්ත්‍ර ගායනා මධ්‍යයේ දඟලමින්, කෑගසමින් තම පපුවේ සිරවී ඇති පීඩනය සමාජයට හානියක් නොවන අයුරින් මුදාහැරීමට නිල නොවන අවසරයක් ලැබේ.
එහෙත්, “මනමාල කතා” රූප රචනය හරහා අධ්‍යක්ෂවරයා මෙම කතාන්දරය තවත් එක් පියවරක් ඉදිරියට ගෙන යයි. මෙහිදී තොවිලය නැමැති කැතාරිසිස් ක්‍රියාවලිය හරහා ඇයට පීඩනය මුදාහැරීමට ඉඩ ලැබුණද, එහි අවසාන අරමුණ ඇයව සුවපත් කිරීම නොව, ඇගේම ස්වාභාවික ආශාවන් සහ හැඟීම් (කළු කුමාරයාව) ඇගේ දෑතින්ම ගෙල සිරකර ඝාතනය කිරීමට ඇයට බල කිරීමයි. අවසානයේදී තොවිල්පොළේදී පීඩනය පිටකර සන්සුන් වන ඇය, සාම්ප්‍රදායික සමාජය බලාපොරොත්තු වන අන්දමේ “කීකරු, හැඟීම් විරහිත” හිස් ගැහැනියක් බවට පත්වෙයි. ඇය අසල මැරී වැටී සිටින්නේ අන් කවරෙකුවත් නොව, ඇය තුළම ජීවත් වූ නිදහස් ගැහැනියගේ ආත්මයයි.
භාව විරේචනය
ඇගේ මෙම ආශාවන් සහ අසාමාන්‍ය හැසිරීම් සමාජය දකින්නේ යක්ෂ දිෂ්ටියක් ලෙසිනි. ඊට පිළියම ලෙස ඔවුන් තොවිලයක් සංවිධානය කරයි. මනෝවිශ්ලේෂණයේදී මෙය හඳුන්වන්නේ “කැතාරිසිස්” (Catharsis) හෙවත් භාව විරේචනය ලෙසිනි. තොවිල්පොළේදී සුදු පැහැයෙන් සැරසී සිටින ඇගේ මනසේ ඇතිවන ව්‍යාකූල බව පෙන්වා දෙයි.

කළු කුමාරයාට අවනත වෙනවාද? මිදෙනවාද යන්න ඇය කල්පනා කරන්නීය.
පවුලේ අය සහ සමාජය වටවී ඈට බල කරන්නේ ඇගේම කොටසක් වූ මේ “ආශාව” පලවා හරින ලෙසයි. ශාන්තිකර්මය, ඇගේ පපුවේ සිරවී ඇති පීඩනය කෑගසා පිටකිරීමට ඇයට ලැබෙන එකම සහ අවසාන නිදහසයි.
ආත්ම ඝාතනය
තොවිලයේ උච්චතම අවස්ථාවේදී, සමාජයේ බලපෑමට නතු වන ඇය, තමන්ගේම ආශාවට එරෙහිව සටන් වදියි. කළු කුමාරයාගේ ගෙල සිරකරමින් ඇය ඔහුව විනාශ කිරීමට (එනම්, තම යටිසිතේ ආශාවන් යටපත් කිරීමට) ගන්නා දරුණු උත්සාහය දක්නට ලැබෙයි.
මෙම අරගලයේ අවසානය කුමක්ද? ඇය කළු කුමාරයාව පරාජය කරයි. නමුත් ඉන්පසු ඇගේ මුහුණේ ඇතිවන කම්පනය සහ හිස්බව පෙනෙන්නට ඇත. ඇය එළවා දමා ඇත්තේ වෙනස් යක්ෂයෙකු නොව, තමන්ගේම ජීවයයි; තම යෞවනයේ හැඟීම්ය. තමන්ගේම ආසාවය.
වීඩියෝවේ අවසාන දර්ශනය වඩාත්ම කම්පන සහගතය. සුදු රෙද්දකින් වසා ඇති මළ සිරුර වෙන කාගේවත් නොව ඇගේමය. මෙයින් අදහස් කරන්නේ භෞතිකව ඇය මියගිය බවක් නොවේ. ඇය තම ආශාවන් (කළු කුමාරයා) යටපත් කරගත් පසු, ඇය තුළ සිටි සැබෑ ගැහැනිය මියගොස් ඇති බවයි. තොවිලයෙන් පසුව ඇය සමාජය බලාපොරොත්තු වන “සාම්ප්‍රදායික, කීකරු සහ හැඟීම් විරහිත” මළකඳක් බඳු ගැහැනියක් බවට පත්වෙයි.
කළු කුමාරයා
කළු කුමාරයා ගැන කතා කරද්දී, ඔහු ගැන ප්‍රධාන කතාන්දර කිහිපයක් පවතී. ඒවා සියල්ලම විවිධ ඛේදවාචක අසුරෙන් විවිධ රජපවුල්වලට සම්බන්ධ කාමලෝලී පිරිමින්ගේ මරණ ගැන කියැවුණු කතාය.
සකලකලා වල්ලභ රජුගේ කෲර පුත්‍රයා (උඩුගම්පොළ පුරාවෘත්තය)
උඩුගම්පොළ රාජධානිය පාලනය කළ දැහැමි පාලකයෙකු වූ සකලකලා වල්ලභ රජුට, අනියම් බිසවකට දාව උපන් කෲර පුත්‍රයෙක් විය. මෙම කුමරු දැඩි කාමාශාවෙන් පෙළුණු අතර, හිරිමල් යෞවනියන්ට මෙන්ම ගැබිනි කාන්තාවන්ටද දැඩි සේ හිරිහැර කළේය. රටවැසියන්ගේ පැමිණිලි මත රජු විසින් කුමරාට දැඩි දඬුවම් ලබා දෙන ලදී. මින් කෝපයට පත් කුමරු, පියා දිය කෙළින පොකුණේ උල් සිටුවා රජු මැරීමට උත්සාහ කළේය. එහෙත් රජුගේ බුද්ධිමත්කම නිසා එම උත්සාහය ව්‍යර්ථ වූ අතර, බියට පත් කුමරු සමනල අඩවියට පලා ගොස් “කුණු දිය පර්වතයෙන්” පැන සියදිවි නසා ගත්තේය. මරණින් පසු ඔහු තම පැරණි පුරුදු අත්නොහැර “කළු කුමාරයා” ලෙස ඉපිද කාන්තාවන්ට පීඩා කරන බව පැවසේ.
නීල මහා යෝධයාගේ ඛේදවාචකය (නීල මදන කළු කුමාර උපත)
ගජබා රජ දවස රජවාසලේ රෙදි නැන්දාට දාව උපන් “නීල” නම් අතිවිශාල ශරීර ශක්තියකින් යුත් කුමරෙක් විය. ඔහු ගජබා රජු සමඟ සොලී රටට (ඉන්දියාවට) ගිය අවස්ථාවේදී, පිරිමින් නොමැති හුදෙක් ස්ත්‍රීන් පමණක් වෙසෙන ගමකට ගොඩබට බව කියැවේ. නීලගේ දැවැන්ත සිරුර දුටු ස්ත්‍රීහු දැඩි රාගයෙන් යුතුව ඔහු වටකරගත්හ. ස්ත්‍රීන්ගේ දැවටීම සහ පොරබැදීම නිසා දැඩි අපහසුතාවට පත්වූ නීල කුමරුට තම ශරීර ශක්තිය යොදා ඔවුන්ට පහර දීමටද නොහැකි විය. අවසානයේ අධික මෛථූනය සහ වෙහෙස හේතුවෙන් ස්ත්‍රීන් කෙරෙහි වෛරයෙන් යුතුව මියගිය ඔහු, “නීල මදන කළු කුමාරයා” ලෙස යක්ෂ භවයක උපත ලැබීය.
ආභරණ ඇල්ලේ ශෝකාන්තය (මානවළු පුරාවෘත්තය)
ක්‍රි.ව. 6 වන සියවසේදී ඉන්දියාවේ විල්ලෝඩි ප්‍රදේශයෙන් පැමිණ මානවළු ප්‍රදේශය පාලනය කළ රාගාධික කුමරෙකු පිළිබඳව ඉතිහාසයේ සඳහන් වේ. ඔහුට කොණ්ඩමාල, ගිරිමේඛල, ඕංකාර ආදී කුමරියන් 7 දෙනෙකුද, පරිවාර බිසවුන් 32ක්ද සිට ඇත. දිනක් කැරැල්ලක් මැඩලීමට ගිය ඔහු, ජයග්‍රහණය කර ආපසු එන විට තම බිසෝවරුන්ට විහිළුවක් කිරීමේ අරමුණින් පරාජයේ සලකුණ වූ ‘කළු කොඩිය’ එසවීය. මෙය දුටු බිසෝවරුන් කම්පාවට පත් වී ආභරණ පිටින්ම දිය ඇල්ලට පැන සියදිවි හානි කර ගත්හ (මෙය අදටත් “ආභරණ ඇල්ල” ලෙස හැඳින්වේ). තම විහිළුව දුරදිග යාම ගැන කම්පාවට පත් කුමරුද එම ඇල්ලටම පැන දිවි නසාගත් අතර, පසුව ඔහු කළු කුමාර යක්ෂයා බවට පත්වූ බව ජනශ්‍රැතියේ එයි.
එහෙත්, කාංචනාගේ රූප රචනයේදී කියන පරිද්දෙන්ම ඇත්තටම කළු කුමාරයා කවුරුත්ම නොව කාන්තාවගේම සිතය. ඇගේම ආසාවය. එයට ආරෝපණය වන මනුෂ්‍ය රූපය ජැක්සන් ඇන්තනි (ඝරසරප) හෝ සජිත ඇන්තනි හෝ තව ඕනෑම කෙනෙක් විය හැක. එහෙත්, ඇත්තටම ඒ චරිතය ආරෝපණය වෙන්නේ ඇගේම යටපත් කළ හැගීම්වලටය.
