ජනප්‍රිය ව්‍යවහාරයේ “ඔස්කාර්” සම්මාන උලෙළ ලෙස හැඳින්වෙන ඇකඩමි සම්මාන උළෙල, ගෝලීය සිනමා කර්මාන්තය තුළ වඩාත් උද්වේගකර මෙන්ම බලාපොරොත්තු සහගත සම්මාන උලෙළ යැයි කීමෙහි වරදක් නැත.
ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර් ආර්ට්ස් ඇන්ඩ් සයන්සස් (AMPAS) විසින් වාර්ෂිකව පිරිනමනු ලබන මෙම සම්මාන උලෙළ, 1929 දී පළමු වරට සංවිධානය කරනු ලැබූ අතර, එතැන් සිට අද දක්වා පැමිණි ගමවේ දී ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත සිනමා සම්මාන උලෙළ බවට පත් ව ඇත්තේ, සිනමාවේ කලාත්මක හා තාක්ෂණික විශිෂ්ටතාවන් අගයමින් සිදු කරන ජනප්‍රිය ධාරාවේ සම්මාන ප්‍රදානය හේතුවෙන් බව කීම වරදක් නොවෙයි.
ඒ අනුව, 2025 වර්ෂයේ දී නිකුත් වූ චිත්‍රපට අගයමින්, 98 වරටත් සංවිධානය කරනු ලැබූ ඇකඩමි සම්මාන උලෙළ ඊයේ (15) ලොස් ඇන්ජලීස් හි සුප්‍රසිද්ධ ඩොල්බි රඟහලේදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලැබුවේ (ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 5 ට පමණ) අංශ 24ක් යටතේ සම්මාන පිරිනමමිනුයි.
කෙසේ නමුත් මෙවර ලොව පුරා විසිරි සිනමාලෝලී රසික ප්‍රජාව “ඔස්කාර්” රාත්‍රිය වඩාත් අමන්දානන්දයෙන් බලා සිටියේ, ඔස්කාර් උලෙළට පෙර නිකුත් කරනු ලැබූ නිර්දේශයන් හි තිබූ විවිධත්වය මෙන්ම සම්මාන සඳහා ආධුනික, ප්‍රවීන නිර්මාණකරුවන් අතර තිබූ දැඩි තරගයත්, තමා විශ්වාස කරන චිත්‍රපට හා ශිල්පීන් ජයග්‍රහණය කරයි යැයි වූ බලාපොරොත්තුවත් පෙරදැරිව ය.
“ඔස්කාර්” නිර්දේශ සහ Sinners
98 වැනි ඇකඩමි සම්මාන උළෙලේ වඩාත්ම කතාබහට ලක්වූ කරුණක් වූයේ Sinners චිත්‍රපටය විසින් දිනා ගනු ලැබූ සම්මාන නිර්දේශ ප්‍රමාණයයි. ඒ අනුව, ඔස්කාර් ඉතිහාසයේ තනි චිත්‍රපටයක් ලබාගත් වැඩිම නිර්දේශ සංඛ්‍යාව වන නිර්දේශ 16ක් හිමිකර ගත් Sinners චිත්‍රපටය එලෙස අභිබවා ගියේ, All About Eve (1950), Titanic (1997) සහ La La Land (2016) විසින් සම සම ව හිමිකරගත්, නිර්දේශ 14 ක වාර්තාවයි.
හොඳම චිත්‍රපටය ඇතුළු ප්‍රධාන සම්මාන
98 වන “ඔස්කාර්” සම්මාන රාත්‍රියේ, හොඳම චිත්‍රපටයට (Best Picture) හිමි සම්මානය පෝල් තෝමස් ඇන්ඩර්සන්ගේ, One Battle After Another දිනාගනු ලැබුවේ, Bugonia, Frankenstein, Hamnet, Marty Supreme, The Secret Agent, Sentimental Value, සහ Train Dreams ඇතුළු අති විශිෂ්ට චිත්‍රපට ගණනාවක් පරාජය කරමින් වීම විශේෂත්වයක්.
පෝල් තෝමස් ඇන්ඩර්සන් හොඳම අධ්‍යක්ෂකවරයාට (Best Director) හිමි සම්මානය ද තමා වෙත හිමි කර ගනිමින්, හොඳම අනුවර්තිත තිර රචනය (Best Adapted Screenplay), හොඳම චිත්‍රපට සංස්කරණය (Best Film Editing) සහ මෙවර ප්‍රථම වතාවට ලබා දුන් සම්මානය වන හොඳම නළු නිළි වරණය (Best Casting) සඳහා වන සම්මාන ද දිනා ගනිමින් ප්‍රධාන අංශයේ සම්මාන ගණනාවක් දිනා ගැනීමට සමත් වූ අතර, හොඳම සහය නළුවාට හිමි සම්මාන ය ද සමඟ සම්මාන 6 කට හිමිකම් කීමට සමත් වීම විශේෂත්වයක් බවයි බොහෝ දෙනාගේ මතය බවට පත් වූයේ.
රඟපෑම් සඳහා වන සම්මාන
මෙවර අතිශය තරගකාරී සම්මාන කාණ්ඩය ලෙස බොහෝ දෙනා විශ්වාස කරනු ලැබූ හොඳම නිළිය (Best Actress) සම්මානය Hamnet චිත්‍රපටයේ අති විශිෂ්ට රංගන ඉදිරිපත් කළ ජෙසී බක්ලි (Jessie Buckley) හට හිමි වූ අතර, ඇගේ රංගනය ඒ සඳහා සුදුසු බව විචාරකයන් මෙන්ම පොදු ප්‍රේක්ෂකයා ද අවිවාදයෙන් ම පිළිගන්නා කාරණයක් විය.
කෙසේ නමුත්, හොඳම නළුවා (Best Actor) සම්මානය හිමිවූයේ Sinners හි කළ රංගනය වෙනුවෙන් මයිකල් බී. ජෝර්ඩන්ටය (Michael B. Jordan) හිමි වූ අතර, අනෙකුත් නළුවන් අතර ඔහුගේ රංගනය ඒ තරම් විශිෂ්ට රංගනයක් නොවුණු බවත්, ඔහුට එම සම්මානය හිමි වීම පුදුමයක් බවත් බොහෝ දෙනා සඳහන් කළේ, මෙවර එම සම්මානය හිමි කර ගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ තිමෝති චලමෙට් (timothée chalamet) ට එය අහිමි වීම අනිවාර්යයෙන් ම ඛේදජනක තත්ත්වයක් වන බවයි.
සම්මාන උලෙළේ හොඳම සහය නිළිය (Best Supporting Actress) සම්මානය Weapons හි රංගනය වෙනුවෙන් ඒමි මැඩිගන් (Amy Madigan) වෙත හිමි වූ අතර, මේ අතර හොඳම සහය නළුවා (Best Supporting Actor) සම්මානය One Battle After Another හි ඔහුගේ රංගනය වෙනුවෙන් ෂෝන් පෙන් (Sean Penn) හිමිකර ගනු ලැබුවා.
අනෙකුත් සම්මාන
මෙවර “ඔස්කාර්” සම්මාන උලෙළේ හොඳම ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපටය (Best International Feature Film) සඳහා වූ සම්මානය Sentimental Value චිත්‍රපටය වෙත හිමි වූ අතර, එය බොහෝ දෙනා හැඳින්වූයේ සුදුස්සා වෙත සුදුසු තැන ලබා දුන් සම්මානයක් වන බවයි.
මීට අමතරව, හොඳම සජීවිකරණ චිත්‍රපටය (Best Animated Feature) සඳහා KPop Demon Hunters චිත්‍රපටය හා හොඳම වාර්තා චිත්‍රපටය (Best Documentary Feature) ලෙස Mr Nobody Against Putin චිත්‍රපටය සම්මාන හිමි කරගනු ලැබුවා.
තාක්ෂණික අංශයේ ජයග්‍රහණ
මෙවර සම්මාන උලෙළේ හොඳම කැමරාකරණය (Best Cinematography) සම්මානය Sinners සඳහා හිමි වූ අතර, 98 වසරක ඇකඩමි සම්මාන ඉතිහාසයේ, එම සම්මාන දිනාගනු ලැබූ එකම කාන්තාව බවට පත් වීමට චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ ඔටම් ඩුරාල්ඩ් ආකපෝ (Autumn Durald Arkapaw) සමත් වූවා.
කෙසේ නමුත් මීට අමතරව, හොඳම දෘශ්‍ය ප්‍රයෝග (Best Visual Effects) සඳහා Avatar: Fire and Ash චිත්‍රපටය ද, හොඳම නිෂ්පාදන සැලසුම (Best Production Design), හොඳම ඇඳුම් නිර්මාණය (Best Costume Design) සහ හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තරය (Best Makeup and Hairstyling) සම්මාන Frankenstein චිත්‍රපටය විසින් දිනාගැනීම ද කැපී පෙනුණා.
හොඳම සංගීතය සහ ශබ්ද සඳහා වන සම්මාන
මෙම සම්මාන උලෙළේ දී, හොඳම පසුබිම් සංගීතය (Best Original Score) සම්මානය සංගීතවේදී ලුඩ්විග් ගොරන්සන් (Ludwig Göransson) විසින් Sinners සඳහා කරන ලද නිර්මාණය වෙනුවෙන් දිනාගත් අතර, F1 චිත්‍රපටය හොඳම ශබ්ද (Best Sound) අංශයේ සම්මානය හිමිකරගනු ලැබීම විශේෂත්වයක්.
හොඳම ගීතය (Best Original Song) සම්මානය KPop Demon Hunters චිත්‍රපටයේ එන, ඊජේ (EJAE) සහ ටෙඩී පාර්ක් (Teddy Park) ඇතුළු ගීත රචකයින් කණ්ඩායමක් විසින් රචනා කරන ලද “Golden” ගීතයට හිමි වීම ද කැපී පෙනුණා.
මෙවර සම්මාන උලෙළේ රංගනය හා ප්‍රධාන සම්මාන බෙදී යාම සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ විවේචනාත්මක ප්‍රතිචාරයක් දක්නට ලැබෙන අතර, සුදුස්සන් සිටිය දී සම්මාන වෙනත් නිර්මාණ හා නිර්මාණකරුවන් අතර බෙදීයාම ඇකඩමියේ ප්‍රමිතිය ප්‍රශ්න කරන බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ නමුත්, මෙවර හොරර් ශානරයේ චිත්‍රපට විසින් සම්මාන 8 ක් දිනා ගැනීම ලෝකයේ ම අවධානය දිනාගත් අතර, සම්මාන උලෙළේ වැඩිම සම්මාන ප්‍රමාණය වූ සම්මාන 6 ක් දිනාගනිමින් One Battle After Another චිත්‍රපටය තම විශිෂ්ටත්වය වඩ වඩාත් තහවුරු කරගනු ලැබුවා.
