“සුභාවිත ගීතයේ සිටුවරයාණෝ” වික්ටර්: මමත් ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ රසිකයෙක්- හරිනි

ශ්‍රී ලාංකේය සංගීත අඹරේ දශක හයකට අධික කාලයක් ස්වකීය මියුරු ස්වරයෙන් සහ අසමසම නිර්මාණශීලීත්වයෙන් ජන හදවත් ස්පර්ශ කළ ආචාර්ය වික්ටර් රත්නායකයන් උදෙසා පිදෙන උත්තමාචාර ප්‍රණාම උළෙල අද (24) කොළඹ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

“සුභාවිත ගීතයේ සිටුවරයාණෝ” තේමාව යටතේ සංවිධානය වූ මෙම අභිනන්දන වැඩසටහන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඓතිහාසික කුමාරතුංග මුනිදාස මැදිරියේදී පැවැත්වුණු අතර, එය මෙරට සුභාවිත සංගීතයට එතුමන් කළ අමිල මෙහෙවර ඇගයීමට ලක් වූ සුවිශේෂී අවස්ථාවක් විය.

වසර 60කට වැඩි කාලයක් පුරා ගායන ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම මියුරු තනු නිර්මාණකරුවෙකු ලෙස වික්ටර් රත්නායකයන් ඉටු කළ සේවය වචනවලින් විස්තර කළ නොහැකි තරම්ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ එතුමන් පවත්වාගෙන ගිය සමීප සබඳතාවය සහ ගුවන්විදුලි ගීත සාහිත්‍යය පෝෂණය කිරීමට දැක්වූ දායකත්වය මෙහිදී මහත් ඇගයීමට ලක්විය.

මෙම අවස්ථාවට එක් වූ සම්භාවනීය අමුත්තන් සහ රසික පිරිස් අතර වූ පොදු හැඟීම වූයේ වික්ටර් රත්නායකයන් යනු හුදෙක් ගායකයෙකු පමණක් නොව, මෙරට සංගීතයේ අනන්‍යතාවය රැකගත් සැබෑ යුග පුරුෂයෙකු බවයි.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ද සමබන්ධ වූ අතර වික්ටර් රත්නායකයන් පිළිබඳව ඇය මෙසේ පවසා සිටියාය.

“මමත් ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ රසිකයෙක්. ඒ නිසාම මේ මොහොත මට ඉතාම විශේෂයි. වසර හැටකට වැඩි කාලයක් වික්ටර් රත්නායකයන් අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඉටුකළේ වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක්”

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කේන්ද්‍ර කරගනිමින් ආචාර්ය වික්ටර් රත්නායකයන් දශක හයක් පුරා සිදුකළ ගී පියස පෝෂණය කිරීමේ මෙහෙවර මෙහිදී විශේෂ මතකාවර්ජනයකට ලක්විය. ගුවන්විදුලි මාධ්‍යය ඔස්සේ එතුමන් දායාද කළ අමරණීය ගී නිර්මාණ සමුච්චය, මෙරට සුභාවිත සංගීතයේ පදනම ශක්තිමත් කිරීමට ඉවහල් වූ ආකාරය විද්වත් කතාවලදී අවධාරණය කෙරිණි.

එතුමන් සතු එම අසමසම ස්වර සංකලනය සහ ගීතාවලිය පිළිබඳ කෙරුණු ශාස්ත්‍රීය විවරණ මගින් පසක් වූයේ, වික්ටර් රත්නායකයන් යනු හුදු ගායන ශිල්පියෙකු පමණක් නොව සංගීතයේ ගැඹුරු සෞන්දර්යය සහ තාක්ෂණික ශිල්ප ක්‍රම මැනවින් භාවිත කළ ප්‍රාඥයෙකු බවයි. මෙම අමිල සේවය අගයමින් පිරිනැමුණු අභිනන්දන තිළිණ සහ විශේෂ උපහාර සම්මාන, එතුමන් ජාතියේ සංගීත අනන්‍යතාවය වෙනුවෙන් ඉටුකළ මහා මෙහෙවරට හිමිවූ උත්තමාචාරයක් බඳු විය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading