BAFTA 2026 සම්මාන උලෙළ අවසන් ! One Battle After Another ජය සමරද්දී Marty Supreme වේදිකාවෙන් බැස යයි !!

79 වන වරටත් සංවිධානය කරනු ලබන, BAFTA නම් කෙටි නාමයෙන් හඳුන්වන ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා සම්මාන උළෙල (British Academy Film Awards) ඊයේ (22) ලන්ඩනයේ රෝයල් ෆෙස්ටිවල් හෝල් (Royal Festival Hall) හි දී පැවැත්වුණා.

ඒ අනුව 2025 වසරේ නිකුත් වූ චිත්‍රපට මෙම සම්මාන උලෙළේ සම්මාන කාණ්ඩ සඳහා නිර්දේශ වී තිබූ අතර, 2025 වසරේ නිකුත් වූ විවිධ ශානරයන්ට අයත් විශිෂ්ට හා අති විශිෂ්ට චිත්‍රපට ගණනාවක් ම මෙහි දී සම්මාන වෙනුවෙන් තරග වැදුණේ, සම්මාන උලෙළ වෙත වඩාත් උණුසුම් හා තරගකාරී බවත් එක් කරමිනුයි.

ජනවාරි 27 වන දා මෙකී සම්මාන සඳහා නිර්දේශිත නාම ඉදිරිපත් කිරීමත් සමඟ නාම යෝජනා 14 ක් ලබා ගනිමින් පෙරමුණ ගත් One Battle After Another, කළු ජාතික අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් BAFTA ඉතිහාසයේ ලබා ගත් වැඩිම නාම යෝජනා සංඛ්‍යාව වාර්තා කරමින් නාම යෝජනා 13 ක් ලබා ගත් Sinners, නාම යෝජනා 11 බැගින් ලබා ගත් Hamnet සහ Marty Supreme නම් චිත්‍රපට ලොව පුරා වෙසෙන චිත්‍රපට රසිකයන්ගේ අවධානය බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා සම්මාන උලෙළ වෙත යොමු කළ බව නොරහසක් .

ඒ අනුව ඊයේ රාත්‍රිය සම්පූර්ණයෙන් ම පාහේ තමන්ගේ චිත්‍රපටය වෙනුවෙන් වෙන් කරගත් One Battle After Another චිත්‍රපටය ප්‍රධාන කාණ්ඩයේ සම්මාන හයක් සඳහා හිමිකම් කියනු ලැබුවේ, හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක (පෝල් තෝමස් ඇන්ඩර්සන්), හොඳම අනුවර්තිත තිර රචනය, හොඳම සහය නළුවා – (ෂෝන් පෙන්), හොඳම කැමරාකරණය හා හොඳම සංස්කරණය ආදී සම්මාන දිනා ගනිමිනුයි.

කෙසේ නමුත්, ප්‍රේක්ෂක හා විචාරක මත පුස්සක් කරමින් තිමොතී චලමේ (Timothée Chalamet) වෙනුවට I Swear චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් රොබට් අරමායෝ (Robert Aramayo) හොඳම නළුවා සම්මානය දිනා ගැනීම, හොඳම නිළිය වෙනුවෙන් වූ සම්මානය Hamnet චිත්‍රපටයේ ඇග්නස් ගේ භූමිකාව වෙනුවෙන් ජෙසී බක්ලි (Jessie Buckley) දිනා ගැනීම, හොඳම සහය නිළිය සම්මානය Sinners චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් වුන්මි මොසාකු (Wunmi Mosaku) දිනා ගැනීම හා හොඳම සහය නළුවා සම්මානය ෂෝන් පෙන් විසින් දිනා ගැනීම 79 වන BAFTA සම්මාන රාත්‍රිය අමතක නොවන රාත්‍රියක් බවට පත් කළ බවයි ඒ පිළිබඳව අදහස් පළ කරන බොහෝ දෙනෙකු සඳහන් කරන්නේ.

රොබට් අරමායෝ (Robert Aramayo)

ජෙසී බක්ලි (Jessie Buckley)

මෙම ප්‍රධාන සම්මානවලට අමතරව, කලා අධ්‍යක්ෂණය (production design), ඇඳුම් නිර්මාණය සහ වේශ නිරූපණය ඇතුළු තාක්ෂණික අංශ කිහිපයකම ජයග්‍රහණය Frankenstein චිත්‍රපටය වෙත හිමි වූ අතර, හොඳම සජීවිකරණ චිත්‍රපටය ලෙස Zootopia 2 ද, හොඳම ළමා සහ පවුලේ චිත්‍රපටය ලෙස Boong චිත්‍රපටය ද, හොඳම වාර්තා චිත්‍රපටය ලෙස Mr. Nobody Against Putin චිත්‍රපටය සම්මාන ලැබීම ද කැපී පෙනුණා.

මීට අමතරව, ඉංග්‍රීසි නොවන භාෂාවකින් නිර්මාණය වූ හොඳම චිත්‍රපටයට (Best Film Not in the English Language) හිමි සම්මානය දිනා ගනු ලැබුවේ, Sentimental Value චිත්‍රපටයවිසින් වීම ද ‌මෙහි දී අවධානයට යොමු වුණා.

මේ සියලු ජයග්‍රහණයන් පිළිබඳ කතිකා යටපත් කරමින්, Marty Supreme චිත්‍රපටය, නාම යෝජනා 11 ක් හිමිකරගත් නමුත්, එකඳු සම්මානයක් හෝ නොමැතිව චිත්‍රපටයට උත්සවයෙන් පිටවීමට සිදු වීම ජාත්‍යන්තර මාධ්‍ය දැඩි ලෙස විවේචනය කර තිබූ අතර, එය තනි BAFTA උළෙලකදී වැඩිම නාම යෝජනා ලබා කිසිදු සම්මානයක් නොලබා යාමේ වාර්තාව සම කිරීමක් ලෙස ද පෙන්වා දී තිබුණා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading