අනුර මැදිහත් වූ ලෝක කුසලාන තරඟය අද…සියලු ටිකට් විකිණී අවසන්… ටිකට් නැති අය පැත්ත පළාතේ එන්න එපා… කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්…

2026 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම උද්යෝගිමත් තරගය ලෙස සැලකෙන ඉන්දියාව සහ පකිස්තානය අතර ගැටුම අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම සුවිශේෂී තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක සහ රථවාහන පාලන වැඩපිළිවෙලක් දියත් කර තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය නිකුත් කළ නිවේදනයකට අනුව, ක්‍රීඩාංගණයේ ආරක්ෂාව සහ මහජන සාමය පවත්වා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් 2,000ක් යොදවා ඇත. මීට අමතරව, ක්‍රීඩාංගණය අවට ඇති විය හැකි රථවාහන තදබදය පාලනය කිරීම සඳහා තවත් රථවාහන පොලිස් නිලධාරීන් 600ක් පමණ රාජකාරීවල නිරත වනු ඇත.

ප්‍රේක්ෂක පහසුව වෙනුවෙන් අද පස්වරු 3.00 සිට ක්‍රීඩාංගණයේ සියලුම දොරටු විවෘත කිරීමට කටයුතු යොදා ඇති අතර, තරගය නැරඹීමට පැමිණෙන ක්‍රීඩාලෝලීන් විශේෂ නීති රීති මාලාවක් අනුගමනය කළ යුතු බව පොලීසිය අවධාරණය කරයි.

ඒ අනුව ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල්, විශාල ගමන් මලු, හෙල්මට්, ජැකට්, මත්පැන්, සංගීත භාණ්ඩ මෙන්ම ඩ්‍රෝන උපකරණ, පිහි වැනි ආයුධ සහ අවසර නොලත් ඉලෙක්ට්‍රොනික අයිතම ක්‍රීඩාංගණය තුළට රැගෙන ඒම සපුරා තහනම් වේ. ප්‍රේක්ෂකයින්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට ක්‍රීඩාංගණය තුළ අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, කිසියම් අයෙකු බීමත්ව හෝ කලහකාරී ලෙස හෝ අශෝභන ලෙස හැසිරෙන්නේ නම් ඔවුන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලීසිය වැඩිදුරටත් දන්වා සිටියි.

පොලීසිය විසින් දැනුම් දී ඇති පරිදි පස්වරු 3.00න් පසුව කොළඹ මාර්ග රැසක රථවාහන ධාවනය සීමා කෙරෙනු ඇත. එම නිසා හැකි තාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී. මෙම තරගය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම අනුව, කෙත්තාරාම මාවත හංදියෙන් සහ විල්සන් පෙරේරා මාවතෙන් ඇතුළුවීමට අවසර හිමිවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද විශේෂ බලපත්‍ර සහිත වාහනවලට පමණි. සාමාන්‍ය ප්‍රේක්ෂකයින්ගේ පහසුව උදෙසා සතොස රථගාල, සෙබෙස්තියන් ඇළ පාර රථගාල, මැටිපාර්ක් රථගාල, කෝවිල පාර රථගාල, ඇපල්වත්ත රථගාල මෙන්ම අඩි 100 මාර්ගයේ දෙපස රථවාහන නවතා තැබීම සඳහා වෙන් කර ඇත.

මීට අමතරව වින්සන්ට් පෙරේරා මාවත, ග්‍රෑන්ඩ්පාස් පාර, බ්‍රිටෝබබා පුල්ලේ මාර්ගය, මාලිගාවත්ත පටුමග, සද්ධර්ම මාවත සහ පන්සල පාර ඇතුළු ක්‍රීඩාංගණය දෙසට විහිදෙන අතුරු මාර්ග රැසක ගමනාගමනය සීමා කර ඇති බැවින්, හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කර සහයෝගය දක්වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම තරගය වර්ජනය කිරීමට පකිස්තානය මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කරවා ගැනීමට ජනාධිපතිවරයා සෘජුවම මැදිහත් විය. ඔහු පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා සමඟ පෞද්ගලිකව දුරකථනයෙන් සාකච්ඡා කර, දෙරටේ පවතින දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කරමින් පකිස්තාන කණ්ඩායම තරගයට සහභාගී කරවා ගැනීමට අවශ්‍ය මගපෑදූ බව රජය නිල වශයෙන් තහවුරු කළේය.

තරගය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයා ඊයේ (14) විශේෂ ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ. එහිදී ක්‍රීඩාංගණය සහ ඒ අවට ප්‍රදේශවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යෙදවීමට ඔහු උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළට පොලිසිය, විශේෂ කාර්ය බලකාය (STF) සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු 5,000කට අධික පිරිසක් එක්ව සිටිති. විශේෂයෙන්ම ඩ්‍රෝන මර්දන පද්ධති සහ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා පවා සීරුවෙන් තැබීමට පියවර ගෙන ඇත.

විශේෂ ආරක්ෂාව සම්බන්ධයෙන් අද දින විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා , “කරුණාකරලා, නිසි අවසර පත්‍රයක් නොමැති නම් පැමිණ අපහසුතාවයට පත්වෙන්න එපා. මාර්ග බාධක 4ක් තියෙනවා. සෝදිසි කපොලු 6ක් තියෙනවා. මේවාගෙන් ඇතුළු වෙන්න දෙන්නේ නෑ. QR කේතය එක්ක මේක ඕනේ. එහෙම එන්න එපා. ඇතැම් ස්ථානවල අපි පුළුල් තිර යොදලා අවශ්‍ය පහසුකම් යොදලා තියෙනවා” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් පළ කරන ලද මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading