ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මහත් උනන්දුවෙන් බලා සිටින ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන තීරණාත්මක විස්සයි විස්ස ක්‍රිකට් තරගය එළඹෙන පෙබරවාරි 15 වැනි ඉරිදා දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම සුවිශේෂී තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන මෙම තීරණාත්මක තරගය නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඒ අනුව, පස්වරු 07.00 ට ආරම්භ වීමට නියමිත තරගය සඳහා ක්‍රීඩාංගණයේ දොරටු පස්වරු 03.00 සිට විවෘතව තැබෙන අතර, ආරක්ෂක පරීක්ෂාවන් සඳහා ගතවන කාලය හේතුවෙන් ඇතිවිය හැකි අනවශ්‍ය තදබදය මඟ හරවා ගැනීමට හැකි ඉක්මනින් ක්‍රීඩාංගනය වෙත පැමිණෙන ලෙස ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බැවින්, රියදුරන් විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කළ යුතු බව ද පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.
තරගයේ පවතින සුවිශේෂීත්වය සහ ප්‍රේක්ෂක ආකර්ෂණය සැලකිල්ලට ගෙන ක්‍රීඩාංගණය ඇතුළත සහ පිටත දැඩි ආරක්ෂක රැකවල් යෙදවීමට පියවර ගෙන තිබේ. ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණයට ඇතුළු වීමේදී සිදුකරන පරීක්ෂාවන් සඳහා සහයෝගය ලබා දෙන ලෙසද පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.
දෙරට අතර පවතින දීර්ඝකාලීන ක්‍රිකට් එදිරිවාදිකම් සහ මෙම දේශපාලනික පසුබිම හේතුවෙන්, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම සටන ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන පිටුවක් පෙරළනු නොඅනුමානය.
මෙම දැවැන්ත තරගය හේතුවෙන් කොළඹ නගරයේ යම් මාර්ග තදබදයක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
මෙම ඉන්දු – පාකිස්ථාන තරගය හුදෙක් ලෝක කුසලාන තරඟාවලියේ තවත් එක් තරඟයකට එහා ගිය ප්‍රබල දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික මුහුණුවරක් ගෙන ඇති අතර, ඒ වටා ගොඩනැගී ඇති ආන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන් මෙය ඓතිහාසික තරඟයක් වනු ඇත. විශේෂයෙන්ම, කලාපීය ආරක්ෂක සහ දේශපාලන තත්ත්වයන් මත පාකිස්ථාන කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වීම පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් පැවති අතර, ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ තරග වැදීමට ගත් තීරණය ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක් විය.
මෙම ගැටලුකාරී තත්ත්වය සමනය කරමින් පාකිස්ථාන කණ්ඩායමේ සහභාගීත්වය තහවුරු කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පවා සෘජුව මැදිහත් වීම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර, රාජ්‍ය මට්ටමින් ලබාදුන් එම සහතිකය තරගයේ ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය ඉහළ නැංවීමට හේතු විය.
මෙම තරගය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව තිබූ අවිනිශ්චිතතාවය දුරු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෘජුව මැදිහත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා සමඟ විනාඩි 30කට ආසන්න කාලයක් තීරණාත්මක දුරකථන සාකච්ඡාවක නිරත වූ බව පැවසේ.
එහිදී, 1996 ලෝක කුසලාන සමයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අසීරු අවස්ථාවේ ඉන්දියාව සහ පාකිස්ථානය ලබාදුන් ඓතිහාසික සහයෝගය කෘතවේදීව සිහිපත් කර ඇති ජනාධිපතිවරයා, මෙවරද එවැනිම සහයෝගයක් අපේක්ෂා කරන බවත්, තරගය අවලංගු වුවහොත් මෙරට සංචාරක කර්මාන්තයට සහ ආර්ථිකයට සිදුවන දැවැන්ත මූල්‍ය අලාභය පිළිබඳවත් කරුණු පැහැදිලි කර දී ඇත. ජනාධිපතිවරයා විසින් රාජ්‍ය මට්ටමින් ලබාදුන් පූර්ණ ආරක්ෂක සහතිකය සහ මිත්‍ර රටවල ඉල්ලීම සැලකිල්ලට ගත් පාකිස්ථාන රජය සිය වර්ජන තීරණය ඉල්ලා අස්කර ගනිමින් තරගයට එක්වන බව නිල වශයෙන් ප්‍රකාශ කළ අතර, ඒ අනුව මෙම තරගය දෙරටේ කලාපීය සහයෝගීතාව විදහාපාන සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නොඅනුමානය.
