සිනමාව අමතක කර “Father” හෙවත් වැලිකතර 2 දිහා බලන්න.

පහුගිය සතියෙ “Father” බැලුවට පස්සෙ මුලින්ම හිතුණෙ චිත්‍රපටියේ පිටපත ඉතා ම දුර්වල බව. මුළු චිත්‍රපටියම සිනමා ප්‍රකාශනයක් විදිහට ගත්තම එන අසාර්ථකත්වය පිටිපස්සෙ තිබුණෙ ඒ පිටපත විසින් ඇති කරලා තිබුණු කඩතොල්ල බවයි මම නම් විශ්වාස කරන්නෙ. ලංකාවේ සිනමාව කියන කලාත්මක ප්‍රකාශනය වෙනුවට “වර්තමාන සිනමා රැල්ල” කියල අපි හඳුන්වා ගත්ත 2025 සිට තිරගත වුණු සිනමාපට කීපයකම ප්‍රධාන ලක්ෂණයක් වුණේ කලාත්මක ප්‍රකාශනය කියන එක ඉස්මතු කරගෙන එන කමර්ශලි ගොඩයෑමේ වුවමණාව. ඒ බව තදින් ම උදාහරණ සහිතව පෙන්වන්න පුළුවන් චිත්‍රපටිය තමයි මම හිතන්නෙ “Father” කියන්නෙ.

චිත්‍රපටයේ පිටපත විසින් යෝජනා කරලා තිබුණ සිදුවීම් සහ චරිත සියල්ලම වගේ ලියැවිලා තිබුණෙ ඉතාම ප්‍රාථමික විදිහට. විශේෂයෙන් ප්‍රධාන චරිතය වන “ඩෙස්මන්” ගේ චරිතය ගොඩනැංවෙන්නෙ ඉතාම ඕලාරික විදිහට. ඩෙස්මන්ගේ චරිතය තුළ පෙන්වන “දේවගැතිවරයා සහ පාතල මැරයා” අතර වන දෝලනය ඒ චරිතය තුළ සටහන් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරන්නෙ නෑ. ඒක යම් රූපරාමු මඟින් පෙන්වීමේ බලහත්කාරී උත්සහයන් කීපයක් ගත්තත් ඒ චරිතය ගොඩනැංවීමේ දී කිසිම තැනක ඩෙස්මන්ගේ මනස තුළ වන ඒ දෝලනය සනිටුහන් වෙන්නෙ නැහැ. ඒ වගේ උදාහරණ ගණනාවක් ඩෙස්මන් හරහා ම දෙන්න පුළුවන්. ඒ අතරින් එකක් කියනවා නම් “ඩෙස්මන්” කතාව තුළ අපට ඉදිරිපත් වෙන්නෙ “හිත හොඳ මැරයෙක්” විදිහට. ඒ හිත හොඳ මැරයා යම් මිනී|මැරීමක් සිදු කළායින් පස්සෙ ඒ ගැන ඔහු තුළ ඇති වෙන්නේ පශ්චත්තාපයක් ද ? නැත්නම් සුපහන් හැඟීමක් ද ? කියන කාරණය විශේෂයෙන් ම මේ විදිහෙ චිත්‍රපටයක චරිත ගොඩනැංවීමේ දී ඉතා ම වැදගත්. ඒත් කිසිඳු තැනක ඒ විදිහෙ චරිතය විවර වීමක් අපිට දකින්න ලැබෙන්නෙ නැහැ.

ප්‍රධාන චරිතය ගොඩනැංවීම මෙහෙම නම් අනිත් චරිත සම්බන්ධයෙන් අපිට කතා කරන්න තරම් දෙයක්වත් ඉතුරු නොවන බවයි මම හිතන්නෙ. සේවියර් හෝ අකලංක රඟපාන චරිත දෙක අපි උදාහරණ විදිහට ගත්තත් අපිට ඔවුන්ගේ චරිත සම්බන්ධයෙන් කිව හැකි කුමක් හෝ චිත්‍රපටිය අවසානයේ දී ඉතිරි වනවා ද ? මට නම් නැහැ මිත්‍රවරුණි. ඔවුන් ඇවිත් තමන්ට අදාළ කොටස රඟපා යනවා මිස ඒ චරිත අපට හෙළි කරන්නෙ නැහැ. ඒ වගේ ම සෞම්‍ය ලියනගේ යොදාගෙන කරන වර්තමාන කාලය හා සම්බන්ධ කිරීම චිත්‍රපටියට අවශ්‍ය ඇයි ? කියන ප්‍රශ්නය මට තියෙනවා. ඒ විදිහෙ Flashback එකක් නැතිව කතාව කියන්න තරම් තිර රචකයා අසමත් ද ? නැත්නම් ඒ වගේ කතාවට කිසිඳු අදාළත්වයක් නැති වර්තමාන කතාවක් ඇයි චිත්‍රපටිය තුළ පවතින්නේ ? මට නම් ඒක ප්‍රශ්නයක්.

මට චිත්‍රපටිය ගැන තියෙන සම්පූර්ණ චිත්‍රය තමයි මේ චිත්‍රපටිය ගොඩනංවලා තියෙන්නෙ Scenes කීපයක් අරගෙන ඒවාට ගැලපෙන පරිදි කතාව සහ චරිත ඇමිණීමෙන් කියන එක. මේ චිත්‍රපටිය නැවත ඇතුළෙන් කොටස් 5 කට වගේ ආසන්නව බෙදන්න පුළුවන්. ඩෙස්මන්ගේ පළමු ඝාතනය, කොටහළු නිවස, මඟුල් ගෙදර, වවුල් කැලේ සිද්ධිය, වවුල් කැලේ සිද්ධියේ උසාවි සිද්ධිය. මේ එක එක කොටස චිත්‍රපටියෙන් ගලවලා වෙන වෙන ම ගත්තත් ඒවා කිසිම අවුලක් නැතිව රසවිඳින්න පුළුවන්. ඒ තරම් ඒවා එකිනෙකින් වියුක්තයි. චරිත, සිද්ධි කිසිවක නිශ්චිත සම්බන්ධයක් හෝ ගලායෑමක් නැහැ. මං හිතන්නෙ මේ තමයි තිර රචනයේ තියෙන අර්බුදය. අවස්ථා සිද්ධි අතර සම්බන්ධය චරිත ඔස්සේ ගොඩගැනීමේ අසාර්ථකත්වය සහ නොහැකියාව.

මට චිත්‍රපටයේ දෙබස් සහ “දුෂ්ටයා” වෙනුවෙන් වෙන් කරලා තිබුණ ඉඩ ගැන දැක්කම හිතුණෙ Father වෙනුවට මේ උත්සාහ අරගෙන තිබුණෙ “වැලිකතර 2” හදන්න කියලා. චිත්‍රපටය ආරම්භ වෙන්නෙම ඒ විදිහෙ සාහිත්‍යමය බර වචන කිහිපයකින්. චිත්‍රපටය ඇතුළෙත් ඒ වගේ දෙබස් ඕනෑතරම් අපිට අහුලාගන්න පුළුවන්. මේ ප්‍රකාශනය නරක නැහැ. හැබැයි චිත්‍රපටයට අදාළ වෙන්නෙ කොහොමද කියන ගැටලුවයි මට තියෙන්නෙ. බර අඩි තියලා උඩින් ඇවිදගෙන යන්න තරම් මේ පිටපත ප්‍රබල නෑ. එතකොට වෙන්නෙ ඉතාම ඉක්මණින් ඒක කඩාගෙන වැටෙන එක. ඒ නිසා අර අමාරුවෙන් ලිව්ව සහ කියන දෙබස් චිත්‍රපටියත් එක්කම අපේ ඔළුව උඩට අතඇරෙනවා මිසක් ඒක කාලත්මක ප්‍රකාශනයක් විදිහට අපිට සමීප වෙන්නෙ නැහැ. මං අර කලින් කිව්ව දුෂ්ටයාගේ චරිත නිරූපණයත් ඒ විදිහම තමයි. ගෝරිංව තිස්ස අබේසේකර නිර්මාණය කරන විදිහ සහ ඥානෙව නිර්මාණය වෙන විදිහ ගත්තම ඥානෙගෙ හිස්කම ඉතාම හොඳින් පේන්න පටන් ගන්නවා. ඥානෙගෙ හිස්කම එළියෙන් ජගත් මනුවර්ණගෙ Act එක විසින් වහන්න උත්සාහ කළත් අභ්‍යන්තර හිස්කම, වර්ධනය වුණේ නැති චරිතය වහන්න තිර රචකයාවත්, අධ්‍යක්ෂවරයාවත් සමත් වෙලා නැහැ. ඒ නිසයි ඥානේ මැරුණම සතුටක්වත් දුකක්වත් වේදනාවක්වත් වෙනුවට “අන්න මැරුණා” කියන ෆීල් එක අපිට එන්නෙ.

චිත්‍රපටයේ Climax එක විදිහට තිබුණෙ වවුල් කැලේ ඝාතන නඩුවේ දී කරන ද්විත්ව ඝාතනය. ඒ ද්විත්ව ඝාතනය චිත්‍රපටයේ දි ඒ තරම් දැනෙන දෙයක් නෙවේ. ආවා – තිබ්බා – ගියා. අර කලින් කිව්ව අසමර්ථ චරිත සහ සිද්ධි ගොඩනැගීම නිසා තමයි ඒ විදිහෙ දියාරු අවසානයක් අපට ඉතුරු වෙන්නෙ. මම හිතන්නෙ සමස්තයක් විදිහට ගත්තම චිත්‍රපටයේ වැදගැම්මකටම නැති කෑල්ල තමයි ඒ සිද්ධිය. ඒක ඒ තරම්ම මුළු ගැන්වුණු සහ පුස්සක් බවට පත්වුණු සිද්ධියක් බවට චිත්‍රපටය තුළ පත් කරලා තියෙනවා.

මේ චිත්‍රපටය පුරා අධ්‍යක්ෂවරයාගේ අසාර්ථකත්වය (අපිට ඕනෙ නම් ආධුනිකත්වය කියන්න පුළුවන්) කැපී පේනවා. තිර රචනයෙන් පස්සෙ අධ්‍යක්ෂවරයාට පුළුවන් තමන්ගේ කතාව රූප මාධ්‍යයෙන් කියන්න. හැබැයි Father චිත්‍රපටයේ දි අපිට දකින්න ලැබෙන්නෙ තිර පිටපත කරපින්නාගත් අධ්‍යක්ෂවරයෙක් මිස අධ්‍යක්ෂවරයෙක් විදිහට තමන්ගේ කතාවක් කියන්න සූදානම් අයෙක් නෙවෙයි. ඒ නිසා අර කඩතොළු රූපයෙන් වැහෙනවා වෙනුවට සිද්ධ වෙන්නෙ ඒ කඩතොළු තව පුළුල් වෙන එක. අපි අර අවසාන ද්විත්ව ඝාතන සිද්ධිය ගමු. ඒ සිද්ධියේ තිර පිටපත විසින් නොදෙන ටෙන්ශන් එක නිර්මාණය කරන්න රූපයට පුළුවන්. සාමාන්‍යයෙන් අපි දකින මේ ශානරයේ චිත්‍රපටි තුළ ඒ බව දකින්න පුළුවන් ලංකාවෙම උදාහරණයක් විදිහට ගිනි අවි සහ ගිනිකෙළි චිත්‍රපටයේ ඒ අවස්ථාවන් වල තියෙන ටෙන්ශන් එක බලන්න, නැත්නම් gangs of wasseypur වගේ චිත්‍රපටයක් බලන්න. මේවා එක්ක බලනකොට මේ අවසාන සීන් එකේ අධ්‍යක්ෂවරයෙක් විදිහට Father අධ්‍යක්ෂවරයාගේ අසාර්ථකත්වය අපිට දැකගන්න පුළුවන්.

චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය විසින් ලබාදෙන ඉතා සියුම් ඩීටේල්ස් සහ මේ සත්‍ය සිදුවීම තමයි චිත්‍රපටය සඳහා බැලීමට පෙළඹවීමක් ඇති කරන ප්‍රධාන කාරණා දෙක විදිහට සමාජ මාධ්‍යයේ දකින්න ලැබෙන්නෙ. නමුත් චිත්‍රපටයකට කලා අධ්‍යක්ෂණය හොඳ තත්ත්වයක පැවතීම ම සාර්ථක චිත්‍රපටයක් වීමට ප්‍රමාණවත් ද ? මම නම් හිතන්නෙ කිසිසේත්ම නෑ කියලයි. අනෙත් අතට කලා අධ්‍යක්ෂවරයා විසින් වෙනස් කරන්නෙත් පසුබිම විතරයි. එතකොට අපිට ඒ අදාළ කාලයට යන්න පුළුවන්. නමුත් චරිත ? ඔබට චරිතත් 1980 දශකයේ වගේ දැනෙනවා ද ? පෞද්ගලිකව මට නම් ඒ චරිත දැනුණෙ ඉතා ම මෑතක වගේ මිස 1980 චරිත විදිහට නම් නෙවේ.

චිත්‍රපටයේ සංගීතය බර වෙලා තිබුණෙත් නූතන සංගීතය ප්‍රවණතා සහ ශබ්දවලට මිස ඒ යුගය නියෝජනය කරන ඒ කතාව සම්බන්ධ යුගය වඩාත් තීව්‍ර කරන්න නෙවෙයි කියලයි මට හිතුණෙ. සංගීතය හොඳ මට්ටමක තිබුණත් ඒ සංගීතය චිත්‍රපටය යෝජනා කරන බිමේ පැළ වෙලා නැත්නම් මම හිතන්නෙ එතන අසාර්ථභාවයක් තියෙනවා කියලයි. චිත්‍රපටයේ සින්දු ගැන මට තියෙන ස්ථාවරයත් ඒකයි.

Father චිත්‍රපටයේ මම පෞද්ගලිකව කැමති අවස්ථා තිබුණා. මේ චිත්‍රපටයේ අර ගහ උඩ ඉන්න දර්ශනයට මම ඉතාම කැමතියි. ඒක ඉතාම සිනමාත්මකයි මට නම්. ඒ වගේ ම තමයි මඟුල් ගෙදර අවසන් වෙලා රාත්‍රියේ වෙන සිදුවීම තරම් මෑත ඉතිහාසයේ චිත්‍රපටයක මම Cringe සිදුවීමක් දැකලා නැහැ.

චිත්‍රපටයේ නළු නිළියන්ගේ රංගනයන් ගැන මම කතා කරන්න උත්සාහ ගන්නෙ නැහැ. නමුත් මම තාමත් හිතනවා “අනූ” මේ චිත්‍රපටය සඳහා විශේෂයෙන් ම අදාළ චරිතය සඳහා Cast කළේ ඇයි ? කියලා. ඉතාම ප්‍රාථමික රංගනයක් ඒක අවිවාදයෙන් ම. මං හිතන්නෙ චිත්‍රපටයත් එක්ක ගත්තම ඒ ප්‍රාථමික බවට සමාවක් දෙන්න පුළුවන් චිත්‍රපටියත් ඒ තරම්ම ප්‍රාථමික නිසා. ඒත් මට දැනුණෙ අනූ සහමුලින්ම සරාගීත්වය පෙන්වීම සඳහා ම ගෙනාව නිළියක් විදිහටයි.

අනිත් කාරණය සඳුන් ප්‍රියංකර විතානගේ Act එකේ (වෙල්ලා) තිබුණ ආධුනික බව ඉතා ම තදින් චිත්‍රපටියේ සටහන් වෙලා තියෙනවා. මට හිතුණෙ දෙබස් අඩු නිසා යම් තාක් ගොඩ ගියත් තිබුණ දෙබස් දෙක තුනේ දි සඳුන් හොඳට ම නෑවා කියලයි. කැපී පෙනෙණ රංගනයක් නම් ඇත්තටම කාගෙන්වත් තිබුණෙ නෑ. එහෙම කැපී පෙනෙන රංගනයකට පිටපතෙන් ඉඩ දීලා තිබුණෙත් නෑ. සිගරට් එකෙන් විතරක් හොඳ රංගනයන් ඉදිරිපත් කරන්න බැහැනෙ ඉතින්.

සමස්තයක් විදිහට ගත්තාම චිත්‍රපටය ගැන මට තියෙන්නෙ විකිණිය හැකි නමුත් සිනමාව නැති රූප පෙළක් ගැන තියෙන මතකයක්. Cast එක හොඳ හෝ විශාල වූ පමණින් චිත්‍රපට හදන්න බැහැ කියන්න මේ තරම් හොඳ උදාහරණයක් ආයෙත් එන එකක් නැහැ කියලයි මට හිතෙන්නෙ. කවදාහරි ඔබ සිනමාපටයක් කරනවා නම් පිටපත සාහිත්‍යය දන්න ගොඩ වෙද්දු ළඟට වෙනුවට සිනමාව දන්න වෙදෙක් ළඟට අරගෙන යන්න !! නැත්නම් ඔයාටත් පුළුවන් Father වගේ චිත්‍රපටියක් හදන්න

සටහන – ජිමුත් ඉඳුසර රත්නායක

ඡායාරූප – Ape Cinamawa – අපේ සිනමාව ෆේස්බුක් පිටුවෙනි

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading