සිනමා වංශකතාවේ ජීවමාන පුරාවෘත්තයක් වන රංගවේදිනී අයිරාංගනී සේරසිංහගේ රුවින් විශේෂ සමරු මුද්දරයක්

ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 79ක් සපිරීම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර 54ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු සුවිශේෂී ජාතික සැමරුම් උළෙල පසුගිය ඊයේ (21) ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම උළෙල හුදෙක් සංවත්සර සැමරුමකට එහා ගිය, මෙරට සිනමා ඉතිහාසයේ රන් සලකුණු ඇගයීමට ලක්කළ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක් වේ.

ශ්‍රී ලංකාවේ පළමු කථානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ (1947) සමඟ ආරම්භ වූ මෙරට කතානාද සිනමා ගමන අද වන විට දශක හතකට වැඩි කාලයක් පුරා විවිධ යුගයන්හි දී විවිධ අභියෝගවලට මුහුණ දෙමින් අද්‍යතනය වන විට ජාතික සංස්කෘතික උරුමයක් බවට පත්ව ඇති බව මෙම උත්සවයේදී අවධාරණය කෙරුණා.

‘රාජකීය වික්‍රමය”  මුලින්ම සිංහලයෙකු රඟපෑ සහ මුල්වරට ලක්දිව රූගතකල නිහඬ චිත්‍රපටය ලෙස පිළිගැනෙයි. මෙහි පළමුව රූගත කිරීම් සිදු කර ඇත්තේ කොළඹ බම්බලපිටියේ හිස්‌ව තිබූ බංගලාවකදීය. මෙහි රූගත කිරීම් කොළඹ හා කෝට්‌ටේ හි නාවල දියවන්නා ඔය ඉවුරේදී කර ඇතැයි පැවසේ. “බෝරා ජාතික ටී. ඒ. නුර්බායි” මෙහි නිෂ්පාදකය වන අතර ඔහු විදෙස් චිත්‍රපට ගෙන්වා ලංකාවේ සිනමාශාලාවල පෙන්වීමේ ව්‍යාපාරිකයෙකිය. මෙහි අධ්‍යක්ෂක “ගුප්ත” නැමැත්තා ඉන්දියානු ජාතිකයෙකි, දකුණු ඉන්දියානු(දමිළ) චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකි. මෙහි කැමරාකරණයද ඔහුගේය.

මෙම වසරේ සුවිශේෂීත්වය වන්නේ 1925 වසරේ ‘රාජකීය වික්‍රමය’ චිත්‍රපටයෙන් ඇරඹි මෙරට නිහඬ සිනමා ඉතිහාසයට 2025 වසර වන විට වසර 100ක් සපිරීමයි. මෙය සැමරීම වෙනුවෙන් “1925 – 2025 : ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” යන තේමාව යටතේ විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීම උළෙලේ ප්‍රධානතම සිදුවීමක් විය.

එම මුද්දරය සඳහා තෝරාගෙන තිබුණේ සිංහල සිනමාවේ මහා පෞරුෂයක් වන, මෙරට සිනමා වංශකතාවේ ජීවමාන පුරාවෘත්තයක් ලෙස සැලකෙන ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ රුවයි.

ශ්‍රී ලාංකේය සිනමා කලා උරුමය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ කලාකාරිනියන් දෙපළක් මෙහිදී විශේෂ ඇගයීමට ලක්විය.

අයිරාංගනී සේරසිංහ මහත්මියගේ රුව සමරු මුද්දරයට එක්කරමින් උපහාර දැක්වූ අතර සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ දශක කිහිපයක මෙහෙවර උදෙසා ශ්‍රියානි අමරසේන “ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීය.

උළෙලේ ප්‍රධාන දේශනය පවත්වමින් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා දේශීය සිනමා කර්මාන්තයේ විකාශනය සහ එහි ඓතිහාසික ගමන පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක නිරත විය. 1972 ජනවාරි 21 දින ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවීම මගින් දේශීය සිනමාවට හිමිවූ රාජ්‍ය අනුග්‍රහය සහ එතැන් සිට පැමිණි අභියෝගාත්මක මාවත පිළිබඳව මෙහිදී අවධාරණය කෙරිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ද සහභාගී වූවාය. රාජ්‍ය සිනමා අනුමණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading