එක් කෙටි නාට්‍යයක් විතරක් පෙනුණු යෞවන නාට්‍ය උලෙළේ විනිශ්චය මණ්ඩලය හිතාමතා අමතක කළ “පුරාවත අවසරයි”

යෞවන නාට්‍ය උලෙළේ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ කොළඹ කමත පරිශ්‍රයේ දි පැවැත්වුණා. සම්මාන ප්‍රදානෝත්සවයේ “සිංහල – කෙටි” නාට්‍ය අංශයේ, හොඳම සහය නළුවා, හොඳම සංගීත නිර්මාණය, හොඳම රංගාලෝකය වගේ සම්මාන දෙකක් හෝ තුනක් හැරුණුකොට අනිත් සියලුම සම්මාන දිනාගත්තෙ “The Guest” කෙටි නාට්‍යය.

“The Guest” කෙටි නාට්‍යය රංගගත වුණේ නාට්‍ය උලෙළෙ අවසාන දවසෙ. ඒ කියන්නෙ 26 වන දා. The Guest සාම්ප්‍රදායික පවුල් ජීවිතය ඉක්මවා යන නියම් සහ අනියම් ප්‍රේමය සම්බන්ධ කතිකාවතක් සහ ඒ සම්බන්ධතා තුළ ගැහැනු සහ පිරිමින්ගේ අසරණභාවය පිළිබඳව ගොඩනැගුණු නාට්‍යයක්. නාට්‍යයේ මුල ආරම්භයේ දි නාට්‍යයට කාව්‍යාත්මක ස්ටයිලිශ් ආරම්භයක් දීලා තිබුණා.

“The Guest” කෙටි නාට්‍යය

නාට්‍ය තුළින් යෝජනා කරලා තිබුණ ගලායෑමේ තිබුණෙ ඕලාරික බවක්. නාට්‍යය සම්බන්ධයෙන් මගේ අදහස වුණේ රඟපෑම්, අධ්‍යක්ෂණය සහ විශේෂයෙන් ම පිටපත සෑහෙන්න දුරකට වර්ධනය විය යුතු බවයි. නාට්‍යය විසින් යෝජනා කරන අවසානය බොහෝදුරට සාමාන්‍යයෙන් මේ වගේ නාට්‍යවල අපිට දකින්න ලැබෙන බොහෝ නාට්‍යයවල තියෙනව වගේ සාම්ප්‍රදායික අවසානයක්. සහ බොහෝදුරට චරිත නිරූපණය සහ හැඟීම් දැනවීම නාට්‍යය විසින් ඉල්ලා සිටි මට්ටමට වුණේ නෑ කියන එකයි මගේ මතය. නාට්‍යයේ ටික වෙලාවකින් අවශේෂ චරිත නාට්‍යයෙන් ඉවත් කරලා ප්‍රධාන චරිත දෙක විතරක් වේදිකාවේ ඉතුරු වෙන මොහොතේ යන අතීතය පිළිබඳ සංවාදය සෑහෙන වෙලාවක් තිබීමත් ඊට පස්සෙ ඒක ඒ විදිහට ම අවසාන වීමත් නාට්‍යය එතෙක් කළ ගොඩනැංවීමට බාධා කරා කියලයි මට හිතෙන්නෙ.

සමහර වෙලාවට පරිව‍ර්තන නාට්‍යවල තියෙන හරියට පරිවර්තනය කරගන්න බැරි වචනවලට බර වචන දාලා එදිනෙදා දෙබස් කියනව වගේ දෙබස් කීපයකුත් අතරින් පතර නාට්‍යයේ තිබුණා. ඒ නිසා The Guest සම්බන්ධයෙන් මට තිබුණෙ මධ්‍යස්ථ මතයක්. නාට්‍යයේ පසුතල, රංග වින්‍යාසය ඇත්තටම හොඳ මට්ටමක තිබුණත්, නාට්‍යයේ භාවිතාව ඇතුළෙදි සහ නාට්‍යයේ මූලික තේමාවට ඒවා සම්බන්ධ වෙනවා වෙනුවට ඉන් වියුක්තවයි බොහෝදුරට පැවතියේ. ඒ කියන්නෙ නාට්‍යය ලස්සන කරන්න කළාට නාට්‍යයට ඒ දේවල් සෘජුව භාවිතා වුණේ නැහැ.

“The Guest” කෙටි නාට්‍යය

විනිශ්චය මණ්ඩලය විසින් මේ නාට්‍යය හොඳම නාට්‍ය නිශ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම පිටපත විදිහට තෝරාගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මට මතුවුණේ මේ නාට්‍යය හා සංසන්දනාත්මකව උලෙළේ රඟදැක්වුණ “පුරාවත අවසරයි” නාට්‍යය නිසා. මම නරඹපු කෙටි නාට්‍ය කිහිපයෙන් මම ඉතාම ප්‍රිය කරන නාට්‍ය වුණේ පුරාවත අවසරයි. ඒක තමයි 2025 මම බලපු හොඳම කෙටි නාට්‍යය. නාට්‍යයේ පිටපත ඉතා ම ප්‍රබල මට්ටමක තිබුණා. විශේෂයෙන් ලංකාවේ ඉතිහාසය තුළ ප්‍රබල අවස්ථා කිහිපයක් ඉතාම නාටකීය අවස්ථාවක් වෙත ගොනු කරලා, නාට්‍යයේ චරිත සඳහා නම් තෝරාගැනීම පවා ඉතාම සූක්ෂමව කරපු නාට්‍ය පිටපතක් තමයි පුරාවත අවසරයි කියන්නෙ. විශේෂයෙන් ඒ ඔස්සේ මතු කරන ලංකාවේ සුළු ජාතිකයාගේ ප්‍රශ්නය සහ ලංකාවේ ඉතිහාසය තුළ සුළු ජාතිකයාගේ ඉරණම ගැන ප්‍රශ්නය මේ මොහොත දක්වා රටේ කේන්ද්‍රීයව බලපැවැත්වෙන ප්‍රශ්නයක් බවයි මම නම් විශ්වාස කරන්නෙ. ඒ වගේ ම නාට්‍යය මුල සිට අග දක්වා ම නාට්‍යමය බව පවත්වාගෙන යන අයුරින් නිර්මාණය කරලා තිබුණා වගේ ම විශේෂයෙන් ම සංගීතය නාට්‍යයේ ගලායෑමට ඉතා ම හොඳින් බද්ධ කරගෙන තිබුණා. නාට්‍යයේ දෙබස් පව ඉතා ම සූක්ෂමවයි ගොඩනගලා තිබුණේ. ඒවා අදාළ තේමාව සහ නාට්‍යයේ සන්දර්භය එක්ක ඉතා ම හොඳින් බද්ධ වෙලා තිබුණා.

ඒ පිටපතට වඩාත් හොඳින් ඉස්මතු වන අධ්‍යක්ෂණයක් නාට්‍යයේ තිබුණා. විශේෂයෙන් ම “මහින්ද” චරිතය රඟපෑ නළුවාගේ රංගනය සහ තීක්ෂණගේ සහයත්, රංග වස්ත්‍ර වගේ දේවල් ඉතා ම හොඳින් පාවිච්චි කරලා තිබුණා. නාට්‍යයේ නාට්‍යයට අනුචිත හෝ බලහත්කාරීම ඇතුළත් කරපු කිසිම දෙයක් තිබුණෙ නැහැ. ඒ සියල්ලම නාට්‍යයේ කේන්ද්‍රය එක්ක සම්බන්ධයි. නාට්‍යයමය අවස්ථා ඉතා ම හොඳින් මතුවුණ විදිහයි සියල්ල ගොඩගංවලා තිබුණේ.

“පුරාවත අවසරයි” කෙටි නාට්‍යය

මම නාට්‍යයක් කියවාගන්න විදිහ සහ මගේ අත්දැකීම් අනුව පුරාවත අවසරයි කියන්නෙ වඩාත් හොඳ නාට්‍යමය අත්දැකීමක්. මගේ ම අත්දැකීමක උදාහරණයක් අරගෙන කිව්වොත් සචිත්‍ර රාහුබද්ධගෙ දෙමළා නම් කෙටි නාට්‍ය බලපු මොහොතෙ දැනුණ යම් විදිහක පරිසමාප්ත අත්දැකීම මේ නාට්‍යය අවසානයෙත් මට දැනුණා. නාට්‍යයේ හාස්‍යය පවා නාට්‍යය අභ්‍යන්තරයෙන් මතුවුණා මිසක ඒක වෙනම මතුවෙන විදිහට නෙවෙයි ගොඩනංවලා තිබුණෙ.

මම බලපු නාට්‍යය කිහිපය අතර මේ ජයග්‍රහණය කළ නාට්‍යය වගේ ම කිසිම සම්මානයක් හිමි නොවූ , අඩුම පිටපත සඳහා තුන්වන ස්ථානයවත් හිමිවුණේ නැති මේ නාට්‍යය දෙක සංසන්දනය කරාම සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් විදිහට මට නම් අනිවාරෙන් ම හොඳ සහ පරිසමාප්ත, ප්‍රශස්ත නිර්මාණය විදිහට පේන්නෙ “පුරාවත අවසරයි” තමයි. රංගනය අතින් ගත්තොත් මට පුරාවත අවසරයි නාට්‍යයේ මහින්දගේ චරිතය සාපේක්ෂව හොඳ නිරූපණයක් බවත් කියන්න පුළුවන්. ඒක මගේ සාමාන්‍ය ප්‍රේක්ෂක සිතුවිල්ලනෙ. ඒ නිසා මම කැමතියි විදර්ශන කන්නංගර, සචිත්‍ර රාහුබද්ධ, පූජිත ද මැල්, සමාධි ලක්සිරි ඇතුළු විනිශ්චය මණ්ඩලය මේ නාට්‍ය විනිශ්චයේ දී යොදාගත්ත නිර්නායක සහ පදනම දැනගන්න.

කිසිඳු සම්මානයක් නොදී ඉවත විසි කරන්න තරම් පුරාවත අවසරයි නාට්‍යය නොවටිනවා කියලා මම විශ්වාස කරන්නෙ නෑ. විශේෂයෙන් මේ ජයග්‍රහණය කරපු නාට්‍යය එක්ක සසඳනකොට ඒක කිසිම විදිහකින් විශ්වාස කරන්න නම් බෑ.

ඒ නිසා මං කැමතියි මේ විනිශ්චය මණ්ඩලයේ තීරණය සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් විදිහට විවේචනය කරන්න. ඒ වගේ ම ඇයි මේ දිනපු නාට්‍යය තෝරාගත්තේ කියලා අහන්න. මම හිතන්නෙ ඒක ඉතා ම සාධාරණ ප්‍රශ්නයක් කියලා. ලංකාවෙ සම්මාන ගැන කතා කරලා තේරුමක් නැති වුණත්, මේක ඉතාම අසාධාරණ තීරණයක් බවයි මට නම් පෞද්ගලිකව දැනෙන්නෙ.

පුළුවන් නම් “පුරාවත අවසරයි” ආපහු පෙන්නුවොත් බලන්න. ඒක සිරා ම නාට්‍යයක්. මරු වැඩක්. මම මේ අවුරුද්දෙ බලපු නාට්‍යයවලින් හොඳම කෙටි නාට්‍යය අවිවාදයෙන් ම.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading