2026 T 20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ සහ ලංකාවේ සම-සත්කාරකත්වයෙන්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026දී ඉන්දියාවේ සහ ලංකාවේ සම-සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, එමගින් මෙරට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ප්‍රචාරණය, විදෙස් සංචාරකයින්ගේ පැමිණීමෙහි සිදු වන වර්ධනය ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇතැ’යි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ සම-සත්කාරකත්වය සහිතව පැවැත්වීමට නියමිත 2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට අනුව, ඉතා ප්‍රශස්ත මට්ටමින් අදාළ තරගාවලිය මෙරට තුළ පැවැත්වීම සම්බන්ධව මෙන්ම, මෙරටට පැමිණෙන විදේශීය ප්‍රේක්ෂකයන් මුහුණ දෙන ආගමන හා විගමන ගැටලු කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි.

එසේම, මෙම තරගාවලිය හේතුවෙන් රටේ ආර්ථිකයට ඇති විය හැකි සුබවාදී බලපෑම සහ උත්පාදනය විය හැකි නව ආර්ථිකමය අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මෙම තරගාවලිය කොළඹ සහ පල්ලේකැලේ පිහිටි ක්‍රීඩාංගණ තුනක් කේන්ද්‍ර කර ගෙන පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම තරගාවලිය සඳහා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ දායකත්වය ලබා ගැනීම පිළිබඳවද එහිදී අවධානයට යොමු විය.

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 07 වන දා සිට මාර්තු 08 වන දා දක්වා කාලය තුළ පැවැත්වේ. රටවල් 20ක් මෙම තරගාවලිය සඳහා සහභාගි වන අතර, එම රටවල් අතර පැවැත්වෙන තරග විස්සක් පමණ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර ඇත.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ක්‍රීඩා) ලුතිනන් කර්නල් අනුර අබේවික්‍රම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුන් සහ අදාළ අමාත්‍යාංශවල නිලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක සහ භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading