ක්‍රීඩා ඇඳුම් කර්මාන්තයේ ලොව සුපතල සන්නාමයක් වන ‘Under Armour’ සමාගම, තමන්ගේ නිෂ්පාදනවල ව්‍යාජ අනුකරණයන් අලෙවි කිරීම හේතුවෙන් හවුස් ඔෆ් ෆැෂන්ස් සමාගමට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාවේ වෙළඳ නාම හිමිකරුවන්ගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. අන්ඩර් ආමර් සමාගම සතු වෙළඳ ලාංඡනය සහ නාමයන් ව්‍යාජ ලෙස යොදාගනිමින් සකස් කළ නිෂ්පාදන අලෙවි කිරීමට එරෙහිව මෙම නියෝගය ඉල්ලා තිබෙනවා.
වාණිජ මහාධිකරණ විනිසුරු ජගත් ඒ. කහඳගමගේ මහතා, House of Fashions සමාගමට ව්‍යාජ ‘Under Armour’ ඇඳුම් අලෙවි කිරීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කළා. මීට අමතරව වාණිජ මහාධිකරණය විසින් රෙජිස්ට්‍රාර්වරයාට ඇන්ටන් පිලර් නියෝගයක් නිකුත් කරමින් අංක 101, ඩී.එස්. සේනානායක මාවත, කොළඹ 8 සහ අංක 28, ආර්.ඒ. ද මෙල් මාවත, කොළඹ 4 යන ස්ථානවල පිහිටි හවුස් ඔෆ් ෆැෂන්ස් අලෙවිසැල් දෙක වෙත ගොස්, එහි තිබී සොයාගත් සියලුම ව්‍යාජ ‘Under Armour’ ඇඳුම් නියැදි වශයෙන් අත්අඩංගුවට ගෙන ඒවායේ ඉන්වෙන්ට්‍රි සටහනක් සකස් කරන ලෙසද උපදෙස් දුන්නා. ඇන්ටන් පිලර් නියෝගයක් යනු අධිකරණය විසින් යම් ස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී යම් සිදුවීමකට අදාල සාක්ෂ්‍ය එකතු කරගැනීම සඳහා ලබා දෙන අතිවිශේෂ නියෝගයක්. මෙය යම් ස්ථානයක් පරීක්ෂා කිරීමට වරෙන්තු ලබා දීමට සමාන වුණත්, ඇන්ටන් පිලර් නියෝගයක අපේක්ෂාව වන්නේ නිශ්චිතවම යම් සිදුවීමකට අදාල සාක්ෂි එකතු කිරීමයි.
පසුව පැවති අතුරු තහනම් විමර්ශනයේදී, පැමිණිලිකරු විසින් ඔවුන්ගේ සැබෑ ‘Under Armour’ ඇඳුම් සහ විත්තිකරු විසින් විකුණන ලද ව්‍යාජ ඇඳුම් අතර වෙනස පැහැදිලිව පෙන්වා දුන්නා. කෙසේ වෙතත්, විත්තිකරු කියා සිටියේ, ‘Under Armour’ වෙළඳ ලකුණු සහිත ඇඳුම් සැබෑ ඒවා බව.

කෙසේ වුවද, දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු, ඇඳුම්වල සත්‍යතාව පිළිබඳව ඉදිරිපත් කළ ප්‍රකාශය විශ්වාසදායක සාක්ෂි මගින් තහවුරු කිරීමට විත්තිකරු අපොහොසත් වී ඇති බවට අධිකරණය නියෝගයක් ලබා දුන්නා. තවද, විත්තිකරු විසින් අලෙවි කරන ලද නිෂ්පාදන මුල් ‘Under Armour’ භාණ්ඩ නොවන බවත්, ඒවා ව්‍යාජ අනුරූ බවත්, පැමිණිලිකරුගේ විශේෂඥ සත්‍යාපන වාර්තාවේ සොයාගැනීම් වලින් නිසැකවම නිගමනය වී ඇති බවත් අධිකරණය සඳහන් කළා.
ඒ අනුව, විනිසුරු කහඳගමගේ මහතා, හවුස් ඔෆ් ෆැෂන්ස් සමාගමට, ‘Under Armour’ හි ලියාපදිංචි වෙළඳ ලකුණු වලට සමාන හෝ පටලවා ගත හැකි නම්, සලකුණු, ලාංඡන, සහ/හෝ උපාංග සහිත භාණ්ඩ නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදා හැරීම, අලෙවිකරණය, ප්‍රවර්ධනය කිරීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, ගබඩා කිරීම, සහ/හෝ වෙනත් කිසිදු ආකාරයකින් කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
පැමිණිලිකරු වන Under Armour Inc. සමාගම වෙනුවෙන්, ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා සමග නීතිඥවරුන් වන නතායා නානායක්කාර, ලක්ෂානි පෙරේරා, සහ ගිම්හානි හෙට්ටිආරච්චි යන මහත්මීන්, සුදත් පෙරේරා ඇසෝසියේට්ස් ආයතනයේ උපදෙස් මත පෙනී සිටිය. විත්තිකරු වන House of Fashions Mega Mall Ltd. සමාගම වෙනුවෙන්, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සමග නීතිඥ නිරාන් අන්කෙටෙල් මහතා, සනත් විජේවර්ධන ඇසෝසියේට්ස් ආයතනයේ උපදෙස් මත පෙනී සිටියා.

අන්ඩර් ආමර් දෙවෙනිහරස් වීදියෙත් තියෙන්නේ. මහරගම පමුණුවෙත් ලොරි පිටින් තියෙන්නෙ….හිනා තමයි ඕයි…