තරිඳු උඩුවරගෙදර
කල් දමන ලද මහා පරිමාණ ව්‍යාපෘති කාල රාමුව තුළ අවසන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. එම ව්‍යාපෘති වෙනුවෙන් 2027 වසර අවසන් වීමට පෙර තවත් රුපියල් ට්‍රිලියන 1.4ක් අවශ්‍ය වන බව මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව (PMMD) පවසා තිබේ.
අවසන් වරට තිබුණු කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී 2025 මාර්තු මස අවසන් වන විට ව්‍යාපෘතිවල තත්ත්වය ඇතුළත් වූ විශ්ලේෂණ සහිත නවතම වාර්තාව පිළිබඳව සාකච්ඡා කරන ලදී.
වාර්තාවට අනුව, අඛණ්ඩව ක්‍රියාත්මක වන මහා පරිමාණ ව්‍යාපෘති 205න්, ව්‍යාපෘති 145ක්ම මේ වසරේදී අවසන් කිරීමට නියමිතය. මෙයින් 74ක්ම මේ වසරේ පළමු කාර්තුව වන විට අවසන් විය යුතුව තිබූ ව්‍යාපෘති වේ. තවත් ව්‍යාපෘති 24ක් ලබන වසරේදීත්, 2027 දී තවත් 19ක් අවසන් විය යුතුය.
ව්‍යාපෘති කළමණාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව අවසන් වරට ප්‍රසිද්ධ කළ වාර්තාව වන්නේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය 2024 වර්ෂය- සිව්වන කාර්තුව නම් වූ වාර්තාවයි. එයට අනුව, 2024 වසර අවසන් වන විට ක්‍රියාත්මක වෙමින් තිබූ ව්‍යාපෘති 226ක මුළු පිරිවැය රුපියල් ට්‍රිලියන 3.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
මේවායින් ව්‍යාපෘති පහක් හැර අන් සියල්ල 2027 වසර අවසන් වන විට අවසන් කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘති සඳහා පමණක් තවත් රුපියල් ට්‍රිලියන 1.4ක් අවශ්‍ය වනු ඇතැයි වාර්තාව පෙන්වා දෙයි.
‘සංවර්ධන ආයෝජනයන්හි ප්‍රතිඵල, අපේක්ෂිත කාලය තුළ ජනනය කිරීමේ අරමුණින් ව්‍යාපෘති කළමණාකරණ හා අධික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම තුළින් එළඹි නිරීක්ෂණ හා යෝග්‍ය නිරීක්ෂණ හා යෝග්‍ය නිර්දේශ, සුදුසු ප්‍රතිපත්තිමය හා උපායමාර්ගික තීරණ ගැනීම සඳහා කාර්තුමය වශයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරේ. ඒ අනුව එක් එක් රේඛීය අමාත්‍යාංශ විසින් වාර්තා කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන්හි කාර්යසාධන තොරතුරු හා දත්ත මත පදනම්ව සකස් කළ 2024 වර්ෂයේ හතරවන කාර්තුව දක්වා වූ එම ව්‍යාපෘතීන්හි සමුච්චිත ප්‍රගතිය මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත.‘ යනුවෙන් එම වාර්තාවේ සඳහන් විය.

‘2024 හතරවන කාර්තුව අවසන් වන විට ක්‍රියාත්මක වෙමින් පැවති මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 226ක ප්‍රගතිය මෙම සමාලෝචනය සඳහා සැලකිල්ලට ගන්නා ලදී. ඒ අතුරින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 110ක් 2024 වරෂයට පෙර සහ 2024 වර්ෂයේ දෙසැම්බර් මස අවසන් වන විට නිම කිරීමට සැලසුම් කර තිබූ අතර ඉන් ව්‍යාපෘති 23ක කර්යයන් 2024 වර්ෂය තුළ නිම කර මහජනතාව වෙත ප්‍රතිලාභ ලබා දී ඇත. 2024 වර්ෂය අවසානය වන විට ව්‍යාපෘති 02ක කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති අතර ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයන් නිම වනතෙක් විදේශ ණය මුදල් අත්හිටුවා ඇති ව්‍යාපෘති 07ක කටයුතුද තාවකාලිකව නැවතී ඇත. ඒ අනුව සමාලෝචිත වර්ෂය අවසන් වන විට සංවර්ධන ව්‍යාපෘති සමුච්ඡය තුළ ව්‍යාපෘති 194ක් ක්‍රියාත්මක තත්වයේ පැවතුණි. තවද ව්‍යාපෘති 66ක් 2025 වර්ෂයේද, ව්‍යාපෘති 35ක් 2026 වර්ෂයේ හා ව්‍යාපෘති 10ක් 2027 වර්ෂයේද නිම කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ඉදිරි වසර 03 ඇතුළත ව්‍යාපෘති 196ක වැඩ නිම කිරීමට පියවර ගත යුතු වේ.
සමාලෝචනයට භාජනය කෙරෙන ව්‍යාපෘති සමුච්ඡයෙහි මුළු ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් ට්‍රිලියන 3.6ක් වන අතර, ඒවායෙහි වැඩ නිමකිරීම සඳහා තවදුරටත් වෙන් කළ යුතු ප්‍රතිපාදනය රුපියල් ට්‍රිලියන 1.6ක් පමණ වේ. මෙම ව්‍යාපෘති සමුච්ඡයෙන් ව්‍යාපෘති 05ක් හැර අනෙක් ව්‍යාපෘති සියල්ල 2027 නිම වන විට අවසන් කළ යුතුව ඇත. එසේ 2027 වර්ෂය නිම වන විට මෙම ව්‍යාපෘතිවල වැඩ නිම කිරීමට නම් රුපියල් ට්‍රිලියන 1.4ක් පමණ අවශ්‍ය වේ.‘ යනුවෙන් වාර්තාවේ සඳහන්ය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ප්‍රමාදයන්ට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල කාර්ය සාධනය, ප්‍රමාණවත් අරමුදල්/අත්තිකාරම් ලැබීමේ ප්‍රමාදයන් සහ ප්‍රසම්පාදන ප්‍රමාදයන් ය. තෙවන පාර්ශවීය අනුමැතියන් සහ ඉඩම් අත්පත් කර ගැනීමේ ප්‍රමාදයන්, ව්‍යාපෘති විෂය පථයේ වෙනස්කම් සහ අඩු මට්ටමකින් උපදේශකවරුන්ගේ දුර්වල කාර්ය සාධනය ද ක්‍රියාත්මක කිරීම මන්දගාමී කර ඇත.
2024 වසරේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 705ක් (රුපියල් ට්‍රිලියන 0.705ක්) වෙන් කර තිබුණද, වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 402ක් (57%) පමණි. භාණ්ඩාගාරයෙන් අරමුදල් නිකුත් කිරීමේ ප්‍රමාදයක් නොතිබුණද, “ව්‍යාපෘති ක්‍රියාකාරකම් අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන්” බිල්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සැබෑ වියදම් අඩුවීමට හේතු වී තිබේ.

වාර්තාවට අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා යන අංශවල ව්‍යාපෘති වැඩිපුරම ප්‍රමාදයට ලක්ව ඇත. මෙයට හේතුව ලෙස ප්‍රසම්පාදන ප්‍රමාදයන්, කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල කාර්ය සාධනය, ව්‍යාපෘති විෂය පථයේ වෙනස්කම් සහ අරමුදල් සපයන ආයතනවල තීරණ බලපා ඇත. අධ්‍යාපන, ජල සම්පාදන, බලශක්ති, සෞඛ්‍ය සහ වාරිමාර්ග අංශවල ද ප්‍රමාද වූ ව්‍යාපෘති තිබී ඇත.
