ජිමුත් ඉඳුසර රත්නායක
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “අන්‍යෝන්‍ය බද්ද” යටතේ අය කරන නව බදු ප්‍රතිශත පිළිබඳ දැනුවත් කරමින් රටවල් 14 ක් සඳහා පෙරේදා 07 පස්වරුවේ ට්‍රම්ප් පරිපාලනය විසින් ලිපි යොමු කර තිබූ අතර එම රටවල් 14 අතරට ශ්‍රී ලංකාව අයත් වූයේ නැහැ.
පසුගිය අප්‍රේල් 2 වැනිදා පැන වූ මෙම “අන්‍යෝන්‍ය බද්ද” සඳහා ලබා දුන් දින 90 සහන කාලය අද 09 දිනයෙන් අවසන් වීමට නියමිත නමුත් පැන වූ නව ඉහළ තීරු බදු එළඹෙන අගෝස්තු 1 වැනිදා සිට අය කෙරෙන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ විසින් ප්‍රකාශ කර සිටියා.
කෙසේ වෙතත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ, ඉහළ බදු ප්‍රතිශත පැනවූ රටවලට එම බදු ප්‍රතිශත වෙනස් කර ගැනීමට එළඹෙන 1 වැනිදා තෙක් උත්සාහ කළ හැකි බවයි.
ඔහු අනතුරු අඟවමින් සඳහන් කර සිටියේ, පැන වූ බදු ප්‍රතිශතවලට එකට එක කිරීමට උත්සාහ කරන රටවලට තවත් ඉහළ බදු ප්‍රතිශත පනවන බවයි.
ඇමෙරිකාව ඉදිරියට යාමට තීරණය කළ බවත්, මින් පසුව සමබර, සාධාරණ වෙළෙඳාමක් ඇමෙරිකාව සිය වෙළෙඳ හවුල්කරුවන් සමග සිදු කරනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබුවා.
ඒ අනුව ඇමෙරිකාව සඳහා වසා ඇති වෙළෙඳ දොරටු විවෘත කිරීමට මෙන්ම ඇමෙරිකාවේ වෙළෙඳ භාණ්ඩ සඳහා තීරු බදු සහ වෙළෙඳ බාධක ඉවත් කිරීමට සුදානම් රටවල් සඳහා හා ඉහළ බදු ප්‍රතිශත නැවත වරක් පැන වූ රටවල් තමන් වෙනස් ආකාරයට කටයුතු කිරීමට කැමැති යැයි දන්වා සිටින රටවල් සඳහා පනවා ඇති නව තීරුබදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සිතා බැලීමට ඉඩ තිබෙන බව එම රටවල් 14 සඳහා යැවූ ලිපිවල සඳහන් කර ඇති අතර, පැනවූ තීරු බද්ද ඇමෙරිකාව සමග ගොඩනගා ගන්නා සම්බන්ධතාව මත ඉහළ හෝ පහළ යනු ඇති බවයි තවදුරටත් සඳහන් කර ඇත්තේ.
නව බදු ප්‍රතිශත පැනවූ රටවල් 14 අතරින් ලාඕසය සහ මියන්මාරයට සියයට 40 ක තීරු බද්දක් පනවා ඇති අතර, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය සහ ටියුනීසියාව යන රටවල් සඳහා සියයට 25 ක තීරු බද්දක් පනවා තිබෙනවා. කාම්බෝජය සහ තායිලන්තයට සියයට 36 ක්, සර්බියාව සහ බංග්ලාදේශයට සියයට 35 ක් හා දකුණු අප්‍රිකාව, බොස්නියාව සහ හර්සගොවීනා රාජ්‍යයන්ට සියයට 30 ක් මෙන්ම ඉන්දුනීසියාවට සියයට 32ක් තීරු බදු ප්‍රතිශත ලෙස පනවා ඇති බවයි සඳහන් වන්නේ.
එම නව බදු ප්‍රතිශත එළඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ද සියයට 44ක තීරු බද්දක් ද පැනවීමට තීරණය කර තිබූ බව අප්‍රේල් 2 වන දින ප්‍රකාශ කළ අතර, මෙම නව බදු පැනවීමත් සමග මෙරට අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව එම අවස්ථාවේ දී ආර්ථික විශේෂඥයින් විසින් පෙන්වා දෙනු ලැබුවා.
කෙසේ වෙතත් අන්‍යෝන්‍ය බදු ක්‍රමය යටතේ මෙසේ ඇමෙරිකාව විසින් මෙරටට පනවා ඇති සියයට 44 ක තීරු බද්ද සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් ඉදිරි දිනවල දී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර සිටියා.
පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවූ සියයට 44 ක තීරු බද්ද අඩු කර ගැනීම සඳහා මෙරට බලධාරීන් මැදිහත් වී ඇමෙරිකා වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වූ බවයි වැඩිදුරටත් කරුණු දක්වමින් භාණ්ඩාගාර ලේකම්වරයා එහි දී පවසා සිටියේ.
එම සාකච්ඡාවේ දෙවැනි වටය පසුගිය මැයි 26 වැනිදා වොෂිංටන් නුවර දී පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවට පැන වූ තීරු බද්ද අඩු කර ගැනීමට හොඳ අවස්ථාවක් තිබෙන බව නිලධාරීන් මට්ටමින් දැනුම් දී තිබෙන බවත් අවසාන තීරණය ඇමෙරිකානු ගෝලීය වෙළෙඳාමේ අවශ්‍යතා මත ගනු ඇති බවත් සූරියප්පෙරුම මහතා සඳහන් කර සිටියා.
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ දත්ත වාර්තා වලට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳාමේ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 34 කි. පසුගිය වසරේ දී ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 368.2 ක භාණ්ඩ අපනයනය කර තිබූ අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 4.9 ක ඉහළ යාමක් ද ලෙස සඳහන් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පසුගිය වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 3 භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර ඇති අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 5.1 ඉහළ යාමක් ලෙසයි විශ්ලේෂකයන් පෙන්වා දෙනු ලබන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර වෙළෙඳ භාණ්ඩ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 ක් වන අතර, එය 2023 වසරට සාපේක්ෂව සියයට 6.3 ක ඉහළ යාමක් ලෙසයි සැලකෙන්නේ.
ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව වෙත පැනවූ 44% ක නව තීරු බද්ද අඩු කර ගැනීමට නො හැකි වුවහොත් ඉන් වැඩිම බලපෑම එල්ල වන්නේ මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයට බවයි විශේෂඥයන් පවසා සිටින්නේ. මෙරට ඇඟලුම් නිෂ්පාදන සඳහා පවතින ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳපොළ ඇමෙරිකාව වන අතර, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ වාර්තාවන්ට අනුව පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7 ක් වූ බවත්, එම ආදායම ඉපැයූ ඇඟලුම් අපනයනයන්ගෙන් 40.04 % ක් ශ්‍රී ලංකාව අපනයනය කර තිබුණේ ඇමෙරිකාවට බවත්, එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 19 ක් වූ බවත් සඳහන් වනවා.
ඇමෙරිකාව සමග තවමත් සාකච්ඡා කරමින් සිටින රටවලට කාලය දීර්ඝ කිරීමක් ලැබෙනු ඇති බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පසුගියදා ප්‍රකාශ කළ අතර, ජපානය සහ දකුණු කොරියාව ඇමෙරිකාවේ මිත්‍ර රාජ්‍ය වන අතර ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාවේ මෙම ක්‍රියා කලාපය ඉතා කණගාටුදායක බවයි.
කෙසේ වෙතත්, නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක දී මේ පිළිබඳ ව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රප්ගේ ” අන්‍යෝන්‍ය බද්ද යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරට පැනවූ සියයට 44 ක තීරු බද්ද ක්‍රියාත්මක වුවහොත් මුල් අදියරේ දී ශ්‍රී ලාංකිකයන්ට රැකියා 50,000 ක් අහිමි විය හැකි බවයි.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ, දකුණු සහ අග්නිදිග ආසියාවේ රටවල් සමග ශ්‍රී ලංකාවට තරග කිරීමට ඇති හැකියාවට ද මෙම නව බදු හරහා බලපෑමක් එල්ල කරනු ඇති බවත්, ශ්‍රී ලංකාවේ වෙළෙඳ ආදායමෙන් සියයට 20ක් රඳා පවතින්නේ විශාල අපනයන මත හෙයින් යෝජිත බද්ද ක්‍රියාත්මක වුවහොත් එයට ද බලපෑමක් එල්ල වනු ඇති බවත් ය.
ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ විශාලතම තනි අපනයන වෙළෙඳ පොළ බවත්, මෙරට ඇඟලුම් රෙදිපිළිවලින් සියයට 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් අපනයනය කරන්නේ ඇමෙරිකාවට බවත් පවසමින් ඒ මහතා දක්වා සිටියේ, ට්‍රම්ප්ගේ යෝජිත තීරු බද්ද අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් නොවුණහොත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ දී අනෙකුත් රටවල් සමඟ තරග කිරීමට ඇති හැකියාවට ඉන් බලපෑමක් එල්ල වනු ඇති බව යි.
අවසාන වශයෙන් මෙරට වත්මන් ආර්ථික තත්වය අනුව ශ්‍රී ලංකාවට ගැළපෙන්නේ සියයට 10 ක තීරු බද්දක් බව ද ඔහු පවසා සිටියා.
කෙසේ නමුත් ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා යැයි කියමින් ට්‍රම්ප් විසින් සිදු කරන මෙම ක්‍රියාව පසුපස සැබෑ ලෙස ම ඇත්තේ, දේශපාලනික ව අනෙකුත් රටවල් සඳහා බලපෑම් කරමින් තම අධිරාජ්‍යවාදය අනෙක් රටවල් වෙත ප්‍රදර්ශනය කරමින් තමා ලොකු අයියා බවට පෙන්වන ප්‍රදර්ශන කාමුකත්වය වැනි අදහසක් වන අතර, මෙමගින් සිද්ධ වන්නේ ලෝකයේ ධනවත් රාජ්‍යයන් තවදුරටත් බලවත් හා ධනවත් වීමත් අප වැනි තුන්වැනි ලෝකයේ රටවල් තව තවත් ආර්ථික වශයෙන් අස්ථාවර හා නො දියුණු රාජ්‍යයන් බවට පත්වීමත් ය.
