ඉන්දියාව ගත්ත ඩොක්යාඩ් එකේ කතාව

ජිමුත් ඉඳුසර රත්නායක

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නැව් නිෂ්පාදන සහ නැව් අලුත්වැඩියා කිරීමේ සමාගමක් වන Colombo Dockyard PLC සමාගම ඉන්දියාවේ ප්‍රමුඛ යුධ නෞකා හා සම්බැරීන් නිෂ්පාදන සම්බන්ධ රාජ්‍ය සමාගමක් වන Mazagon Dock Shipbuilders Ltd. සමාගමට විකිණීම සම්බන්ධ ගිවිසුමකට පසුගිය දා එළඹ තිබුණා.

කොළඹ වරාය පරි‍ශ්‍රයේ උපායමාර්ගිකව ඉතා ම වැදගත් ස්ථානයක පිහිටා ඇති Colombo Dockyard සමාගම මෙරට ප්‍රමුඛ සමාගමක් ලෙස සැලකෙන අතර, 1974 දී රාජ්‍ය සමාගමක් ලෙස ආරම්භ කරන ලද එම සමාගම ප්‍රේමදාස පාලන සමයේ නම් 1993 දී ප්‍රථම වරට පුද්ගලික සමාගමකට පවරා ඇති නමුත්, 1998 දක්වා වසර 5ක් කාලයක් රජයේ අධික්ෂණය යටතේ පවත්වාගෙන ගොස් ඇති බව සඳහන් වනවා.

ඒ අනුව ජපානයේ onomichi dockyard සමාගම වෙත 51 % ක කොටස් පවරා දෙමින් 1993 දී මෙම ආයතනය පෞද්ගලීකරණය කිරීමේ හේතුව ලෙස එවක පෙන්වා දී තිබූ හේතු වූයේ, එම නිෂ්පාදන හා අලුත්වැඩියා කටයුතු සඳහා තාක්ෂණික වශයෙන් ජපානය ඒ වන විටත් දැඩි ස්ථාවරයක පසුවීමයි.

කෙසේ නමුත් සිංගප්පූරු රජයේ සහය ද ලබාගනිමින් එරට ඉංජිනේරුවන් යොදා ගනිමින් මෙම සමාගම සිය කටයුතු සිදු කිරීම දිගින් දිගටම සිදු කළ අතර, 2021 වන තෙක් ම ලාභ ලබන ආයතනයක් ලෙස ලෝකයේ ඉහළ පෙළේ නැව් නිෂ්පාදන හා අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වශයෙන් කටයුතු කරමින්, මූල්‍ය ලාභයට අමතර කීර්ති නාමයක් ද දිනාගනු ලැබූ මෙම සමාගම ලෝකයේ හොඳම නැව් හදන රටවල් අතුරින් එකක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ ප්‍රශංසාවට ලක් කිරීමේ ගෞරවයට ද හිමිකම් කියනු ලබනවා.

කෙසේ නමුත් 51 % ක කොටස් ප්‍රමාණයක් එනම් වැඩි අයිතිය ජපානයේ onomichi dockyard සමාගම සතු වූ නමුත්, කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත පොදු සමාගමක් වන Colombo Dockyard PLC සමාගමේ ඉතිරි කොටස් 49 % අතුරින් 30 % ක් සඳහා රජය හිමිකම් කියන අතර, තනි පුද්ගල හා වෙනත් ආයතන ඉතිරි 19 % ට හිමිකම් කියනු ලබනවා.

එකී රජය සතු 30 % ක කොටස් ප්‍රමාණයෙන් 16 % ක හිමිකම සේවක අර්ථ සාධක මුදල සතු වන අතර, 10 % ක් සඳහා හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමයි. තව ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද මෙහි කොටස් හිමියෙක් ලෙස කටයුතු කරන අතර පෙර අප විසින් සඳහන් කරන ලද අනෙකුත් ආයතන අතර ලංකා බැංකුව වැනි රාජ්‍ය ආයතන ද ඇති බව අප විසින් අමතක කළ යුතු නැහැ.

CABLE LAYING හා CABLE REPAIRING සම්බන්ධයෙන් ද ඉතාමත් කීර්තියට පත්ව සිටින මෙම සමාගම ලෝකයේ හොඳම CABLE LAYING සමාගම් 10 අතර වීම ද අප විසින් අමතක කළ යුතු නොවන්නේ මෙහි වැදගත්කම පිළිබඳ අප කෙතෙක් සැලකිලිමත් විය යුතු ද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමේදී යි.

කෙසේ නමුත් තාක්ෂණික විශිෂ්ටත්වයට යෑමට යැයි කියා ජපාන සමාගමකට බාර දී අවුරුදු 30 කට පසුව පාඩු ලබන ආයතනයකත් බවට පත් කර මෙම සමාගම හැර දමා onomichi dockyard යාමට තීරණය කිරීමත් සමඟ ඔවුන් සතු 51 % ක කොටස් හිමිකම පවරා දෙනු ලබන්නේ කාටදැයි යන ගැටලුව පැන නැගුණු අතර, සාමාන්‍යයෙන් එවැනි අවස්ථාවක දී සිදුකරනු ලබන පරිද්දෙන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියේ කොටස් වෙන්දේසි කිරීම වෙනුවට එවක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හා එක්ව තානාපති කාර්යාලවල ආර්ථික කටයුතු භාර කොමිෂනර්වරයා හරහා එම රටවල මෙම කොටස් මිළ දී ගත හැකි සමාගම් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමින් නිසි ක්‍රියා පටිපාටි නොසලකා සිදුකරන ලද ක්‍රියාවලිය හරහා ඉන්දියානු රාජ්‍ය සමාගමක් වෙත මෙම කොටස් හිමිකම අවසාන වශයෙන් හිමි ව ඇත.

කෙසේ වෙතත් මෙසේ කොටස් මිල දී ගනු ලැබූ ඉන්දීය සමාගම ඉන්දීය රජයේ සමාගමක් වන අතර එය යුධ නෞකා හා සම්බැරීන නිෂ්පාදන සම්බන්ධයෙන් කටයුතු කරන සමාගමක් බව ද අනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට පවා ආයුධ සහිත නෞකා නිෂ්පාදනය නො කළ මෙම සමාගමේ හිමිකාරීත්වය මේ වන විට ලැබී ඇත්තේ ලොව යුධ නෞකා නිෂ්පාදන ආයතනයක් අතටයි. මෙය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව යුධ කටයුතුවලට වක්‍රම සහභාගී කරවන මර උගුලක් ලෙස ද හැඳින්විය හැකි අතර, අනෙක් අතින් එය ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට ද දැවැන්ත තර්ජනයක් ව ඇත.

මෙම කොටස් ගනුදෙනුවේ දී එම සමාගම සතුව තිබූ කොටස් මෙරට කොටස් වෙළඳපොළ වෙත නිකුත් කිරීමක් ද සිදු නොවුණු අතර, රජය විසින් එම කොටස් මිල දී ගැනීමට ද උත්සුක නොවී කෙළින් ම එකී ඉන්දීය සමාගම වෙත විකුණා දැමීම බරපතල ගැටලුවකි.

එසේ ම එම සමාගමේ සේවකයන්ගෙන් නොවිමසා සේවකයන් සඳහා කිසිඳු දැනුවත් කිරීමකින් තොරව සිදු කර ඇති මෙම ගනුදෙනුව පිළිබඳ සේවකයන් දැනුවත් වී ඇත්තේ ද ගනුදෙනුව සිදුවීමෙන් දින දෙක තුනක් ගෙවුණු තැන වීම ඛේදජනක තත්ත්වයකි.

තව ද මේ පිළිබඳව කොටස් හිමියන්ගෙන් විමසීමක් කළේ ද යන්න බරපතල ගැටලුවක් වන්නේ එසේ කිරීම සාමාන්‍ය සිරිත වන හෙයින් එසේ සිදු නොකර මෙය විකුණා දැමීමට තරම් රජයට ඇති හදිස්සිය කුමක්දැයි යන්න අප නොදන්නා බැවිනි. යමස් හෙයකින් කොටස් හිමියන් දැනුවත් කර ඇත්නම් එහි රාජ්‍ය හිමිකාරීත්ව ය ද පවතින බැවින් මෙය ජනාධිපතිවරයා දැනුවත් වීම ප්‍රායෝගිකව ම සිදුවන්නකි. එසේ නම් මෙම කූඨ ගනුදෙනුව සිදුවූයේ ජනාධිපති දැනුවත් ව ද ? අපට පැනගනින ගැටලුව එයයි.

අනෙක් විහිළු සහගත කරුණ නම් ඉන්දීය සමාගම මෙය මිල දී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 47 ක් වැනි මුදලකට වීමයි. කෙසේ වෙතත් මෙම සමාගම නැව් අලුත්වැඩියා කිරීමේ කටයුතුවලදී පමණක් ශුද්ධ ලාභය ලෙස වාර්ෂිකව ඩොලර් මිලියන 10 ක් අපේක්ෂා කරන අතර, ණයක් මත වුවත් මෙම ඉන්දීය සමාගමේ ආයෝජනය මෙම සමාගමට වසර 05 ක දී ලබාගත හැකි බව හොඳින් ම පෙනෙන්නට ඇති කරුණක්.

මේ පිළිබඳව අදහස් දක්වනමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසා සිටියේ, ‘‘මෙවැනි කටයුත්තක් කොළඹ සහ ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව සිදුවීම ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඒ වගේම භූ දේශපාලන උගුලක අප පැටලෙනවා. මීට අදාළ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ ජුනි 27 වැනිදා. මෙය මුළුමනින්ම හොර ගිවිසුමක්. අප දන්නා තරමින් මේ සඳහා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය විධිමත්ව අරන් නැහැ. සේවකයන්ට ගිවිසුමේ පිටපතක් පෙන්වා තිබෙනවා. නමුත්, සාකච්ඡාවකට ඉඩක් දී නැහැ. මේ ආකාරයට හොර ගිවිසුම් අත්සන් කරන්නේ ඉන්දියාව සමග හොර ගිවිසුම් හරහා ඇති කරගත් එකඟතා නිසයි” යනුවෙනු යි.

තවදුරටත් අදහස් දක්වමින් “මේ වගේම හොර ගිවිසුමක් වන 2025 අප්‍රේල් 5 වැනිදා අත්සන් කළ ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගිතා ගිවිසුමේ 2.2.8 වගන්තියේ තිබෙනවා නැව් ඉදිකිරීම, නැව් අලුත්වැඩියාව, ජල ශාස්ත්‍රීය මිනුම් කටයුතු සහ සමුද්‍රීය මිනුම් කටයුතු සඳහා ඉන්දියාවට ඉඩ දෙනවා කියලා. ආණ්ඩුව බොරුවට ජපන් සමාගම පෙන්වා කර ඇරියාට කොළඹ ඩොක්යාඩ් සමාගම ඉන්දියාවට දෙන්නේ ආණ්ඩුවේ තීරණයකින්. නැතිනම් කොටස් වෙළෙඳපොළට නිදහස් නොකළේ ඇයි? මේ කොටස් රජය මිලදී නොගත්තේ ඇයි? ඉන්දියානු සමාගම කරන ආයෝජනය ඩොලර් මිලියන 47යි. එක වසරකදී නැව් අලුත්වැඩියාවෙන් පමණක් සොයන ශුද්ධ ලාභය ඩොලර් මිලියන 10ක්. ණයක් අරන් කොටස් මිලදී ගත්තත් අවුරුදු පහෙන් ණය ගෙවන්න තිබුණා.” යනුවෙන් ඔහු සඳහන් කර සිටියා

අවසාන ව‍ශයෙන් කරුණු දක්වමින් ඩෙක්යාඩ් සමාගම සතුව කොළඹ වරාය අසල අක්කර 25ක ඉඩමක් තියෙනවා. ඒ ඉඩම අවුරුදු 5කට කුලියට දුන්නත් මේ ගාණට පාඩුයි. ඩොලර් මිලියන 47 – 50 කියන්නේ අවුරුද්දකට ඩොලර් මිලියන 10යි. මාසෙකට ඩොලර් ලක්ෂ අටයි දශම තුනයි (8.3)යි. ඒ කියන්නේ අක්කරයක් මාසෙකට ඩොලර් 33,200යි. පර්ච් එකක් දීලා තියෙන්නේ ඩොලර් දෙසිය හතයි දශම පහකට (207.50). තව තේරෙන්න කිව්වොත් පර්ච් එක රුපියල් 62,250 ගානේ දීලා තියෙන්නේ. මේ ලෝක ශ්‍රේණිගත කිරීමවල 16 වැනි ස්ථානයේ තියෙන වරායක ඉඩමක්. මේකේ ආර්ථික පාඩුව, ඊට වඩා විශාලයි දේශපාලන අවදානම. මේක ජනතාද්‍රෝහී ගිවිසුමක්. මෙය පරාජය කරන්න ජනතාව පෙළගැසිය යුතු බව’’ ඔහු අවධාරණය කළා‍.

මෙසේ කුණු කොල්ලයට මෙරට වටිනා ආර්ථික මර්මස්ථාන ඉන්දියාවට හදිසියේ පාවා දෙමින් ඔවුන්ගේ යුධ අපරාධ සඳහා අප ද කොටස්කරුවන් වීම පසුපස සැඟවුණු යථාර්ථය කුමක්දැයි අපි සොයා බැලිය යුත්තේ මහජනතාව ද පාවා දෙමින් හොර රහසේ නිසි ක්‍රියාවලින් ට පිටින් සිදු වන මෙවැනි යටිකූට්ටු උපායන්වල සැඟවුණු සත්‍යය ඉන්දියාවේ කොලනියක් බවට ලංකාව පත් කිරීම ද, ඉන්දියාට ගොස් රහසේ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම් යථාර්ථයක් බවට පත් කිරීම ද යන්න අප විමසා බැලිය යුතු ය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading