ශ්‍රී ලංකාවේ අප්‍රේල් මාසයේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 256.7 ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව (YoY) 13.8%ක වැඩිවීමකි. එහෙත්, එය 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා වාර්තා වූ අඩුම මාසික ආදායම ද වේ.
මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, මාසික පදනම මත (month-on-month), අප්‍රේල් මාසයේ ආදායම මාර්තු මාසයට වඩා 38% කින් පහත වැටී ඇත.
කෙසේ වෙතත්, සමස්තයක් ලෙස ආදායම වැඩි වී තිබීම සුභදායක තත්වයක් ලෙස සලකනු ලැබේ. පළමු මාස හතර තුළ සමස්ත ආදායම ඩොලර් බිලියන 1.37ක් වී තිබේ. 2020 කොවිඩ් වසංගතයේ සිට මේ දක්වා කාලය තුළ අප්‍රේල් මාසවලදී ලැබූ ආදායම අනුව වැඩිම ආදායමක් ලබා ඇත්තේ 2025 අප්‍රේල් මාසයේදීය.
කෙසේ නමුත්, මාසිකව සංචාරක ආදායම වර්ධනය කර ගැනීම පිළිබඳ සංචාරක කර්මාන්තය තුළ සාකච්ඡාවක් ඇතිව තිබේ. එමෙන්ම වැඩි සංචාරකයන් පිරිසක් දිගින් දිගටම ගෙන්වාගැනීම සඳහා උපායමාර්ගිකව සැලසුම් කළ යුතු බවද සාකච්ඡාවට ලක් වී තිබේ. රජය විසින් සැලසුම් කරන ලද එක් එක් කාලයන්ට හා ඍතුවලට ගැලපෙන අන්දමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් නොමැති වීම පිළිබඳ සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවන් කණස්සල්ල පළ කර තිබේ.
ස්වභාවිකව ශ්‍රී ලංකාව තෝරාගෙන පැමිණෙන සංචාරකයන් මත පමණක් විශ්වාසය නොතැබිය යුතු බවත්, වසරේ සියලු කාලයන්හි සංචාරකයන්ගේ පැමිණීම වැඩි මට්ටමක තබාගැනීමට ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් පාර්ශ්වකරුවෝ පවසති.
ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය, 2025 වසර සඳහා සංචාරකයින් මිලියන 3ක් ආකර්ෂණය කර ගැනීම සහ ඩොලර් බිලියන 5ක ආදායමක් උත්පාදනය කිරීමේ ඉහළ ඉලක්කයක් තබා ඇත.
