රාජ්‍ය සමාගම් කැඳහැලි පනත එයි! විකුණන්න බලා ඉන්න අයට රජ මගුල්! කවුද උපදෙස් දුන්නේ? හුලංගමුවද?

රජය සතු සමාගම් ප්‍රතිව්‍යුහකරණය යැයි කියමින්, පොදු සේවාවන් එක කැඳ හැලියක් වාගේ තනි රාමුවක් ඇතුළට දැමීම උදෙසා සකස් කළ නව පනත් කෙටුම්පත පෞද්ගලිකකරණයට පහසුකම් සැලසීමක් මෙන්ම, ව්‍යාපාරික ප්‍රභූන්ගේ ආධිපත්‍යයට පොදු සේවාවන් යටත් කිරීමට හේතුවනු ඇතිදැයි සැකයක් මතු කර තිබෙනවා.

මෙලෙස සියලු රාජ්‍ය ආයතන කැඳ හැලියකට දැමීමෙන් ඒවා එකපාරම කාර්යක්ෂම වන හැටි ආණ්ඩුව විසින් අධ්‍යනයක් කර ඇති බවක් හැඟෙන්නේ නෑ. මෙය කවුරුන් හෝ නිර්මාණය කර දුන් ‘විසඳුමක්‘ තමන්ගේ වාගේ කපා මසා ඇඳගැනීමක් ලෙසයි හැඟෙන්නේ. මෙයට පාදක වී ඇත්තේ සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක සිදුකරන ලද ආකෘතිමය වෙනස්කමක් බව ඇත්ත. එහෙත්, ඒ රටවල ඒවා කර ඇත්තේ විශේෂ සැලසුම්වල කොටසක් ලෙස බවත්, ඒ ආකෘතිය ඒ ඒ රටවලට මෙන්ම ඒ ඒ කාලයට ගැලපුණ නිසා බවත් මතක තබාගත යුතුයි. අපේ රාජ්‍ය යාන්ත්‍රණයට ඒ විසඳුම එලෙසම හරියන බව අධ්‍යනය කළේ කවුද? මේ යුගයට ගැලපෙන විසඳුම මෙය බව යෝජනා කළේ කවුද? කුමන පදනමක් මතද?

දැනට මෙම පනත් කෙටුම්පතේ අඩංගු කරුණු පිළිබඳ පැහැදිලි නොමැති නිසා සැකයක් පමණක් මතුවෙන අතර, මෙයට හේතුව වී තිබෙන්නේ රජයට අයත් වාණිජ නොවන ආයතන මෙන්ම ආර්ථිකයේ අනෙකුත් අංශවලදී රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරට ව්‍යාපාරික ප්‍රභූන්ගේ ආධිපත්‍යයට කටයුතු කරමින් සිටින නිසායි.

විසඳුමක් නැති මෙවැනි විසඳුම්වලට උපදෙස් දී ඇත්තේ කවුද? ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුවලාද? ඔවුන් අයත් වන්නේ ව්‍යාපාරික ප්‍රභූ පැළැන්තියට බව අමතක නොකළ යුතුයි. කොයිතරම් දුර හුලංගමුවලාගේ පාරේ යන්නද? ඔය යද්දී අතෘප්තියට පත් ජනතාව මේ ආණ්ඩුව ‘බොරු කියනවා‘ යැයි විශ්වාස කරමින් හිටපු පාලකයන්ටම බලය දුන්නොත්? ඔවුන් එක සැණෙන් මේ ආණ්ඩුව හදා දුන් කැඳහැලි නීති රාමුවෙන් වාසි ලබමින් ආයතන විකුණා දමාවි.

දනට කියා ඇත්තේ, රාජ්‍ය ව්‍යවසායන් සම්පූර්ණයෙන්ම දේශපාලන බලපෑම් වලින් ඉවත් කිරීමටත්, එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වෘත්තීය සුදුසුකම් සහිත ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වයක් සහිත වෘත්තිකයන් පත් කිරීමටත් සැලසුම් කර තිබෙන බව.

ඒ අනුව රජය සතු ව්‍යාපාරික සමාගම් මනා කළමනාකරණයකින් යුතුව හා අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදු කර පවත්වාගෙන යාමට අවශ්‍ය ව නෛතික රාමුවක් හඳුන්වා දීම එම පනතෙන් අපේක්ෂා කරන බවයි රජය පවසා ඇත්තේ. ඔවුන් විසින් සකස් කර ඇති පනත් කෙටුම්පත,  “රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත” යනුවෙන් නම් කර තිබෙනවා.

කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවෙදී ලියුම්කරු විමසා සිටියේ, ඇතැම් සමාගම් ව්‍යාපාර පමණක් නොව සේවාවන් බවත් ඒ සමාගම්වලට සැලසුම්කරණයට රජය මැදිහත් වීම අවශ්‍යය බැවින් රජයේ බලපෑමෙන් ඉවත් කිරීම බාධාවක් නොවේද යන්නත්. මීට අමතරව වාණිජ ව්‍යාපාර කළමණාකාරණය සඳහා වෙනම සමාගමක් පිහිටුවීමෙන් අනාගතයේ එම ආයතන පෞද්ගලීකරණය කිරිමට නීතිමය පසුබිමක් සැකසෙනු ඇතිද යන්නත් කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මෙම ලියුම්කරු ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කියා සිටියේ මෙසේයි.”සමහර රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කර ගැනීමට නොහැකි වුණේ, ඒ පනත්වල තිබුණා ශක්තිමත්භාවය නිසා. තවත් පැත්තකින් සමහර රාජ්‍ය ව්‍යවසායකයන් නූතන ලෝකයට සහ ආර්ථික දැක්මට අනුව සංවර්ධනය කරගන්න බැරිවෙලා තියෙන්නේත් ඒ පනත් කෙටුම්පත වලම තියෙන ප්‍රශ්නයම මත. මේ පනත් කෙටුම්පත් බොහොමයක් සම්පාදනය වුණේ ලෝකයේ වෙනත් ආර්ථික තත්ත්වයක් සහ දේශපාලන තරගයක් තුළ. එනිසා මේ පනත් කෙටුම්පත් පිළිබඳ යළිත් සංශෝධනයක් කළ යුතුමයි.

අපි මේ රාජ්‍ය ව්‍යවසාය සඳහා මැදිහත් වෙන්නේ ජනතාවට වෙළඳපොළ තරගකාරීත්වය තුළ උපරිම සේවාවක් ලබා ගැනීමේ දී රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි. සමහර ඒවා නියාමනයක් හැටියට, සමහර අවස්ථාවල රාජ්‍ය විසින් යම් පංගුවක් වෙළඳපොලේ අත්පත් කර ගැනීම හැටියට. විශේෂයෙන්ම සමහර ආයෝජන කැඳවා ගැනීමේදී මේ පනත් කෙටුම්පත් වල තියෙන කරුණු බලපාලා තියෙනවා, එකක් ආයායෝජන නොකැඳවා සිටීමත් අනිත් එක ඒ සංවර්ධන කටයුතු බාධා කරන්නත්.

ඒ නිසා තමයි අපි දේශපාලන මැදිහත්වීමකින් තොරව වෘත්තිකයන් මේ ආයතනයට ඇතුළත් වන පරිදි සහ රාජ්‍ය ව්‍යවසායන් හැටියටම රාජයේ ආර්ථිකයට දායක වන පරිදි මේ ආයතන සංවර්ධනයට උත්සාහ කරන්නේ.දැනට තියන පනත් කෙටුම්පත යළිත් සමාලෝචනය කර ගනිමින් අදාළ කරන වෙනස්කම් ඉදිරිපත් කිරීමටයි මෙම අමාත්‍ය කමිටුව පත් කළේ”

මෙම තීන්දුව පුද්ගලිකකරණයට පසු දොරක් වනු ඇතැයි සැක පළවෙන්නේ, මෙරට රජය විසින් සමාගම් ලෙස පවත්වාගෙන යන සේවාවන් බොහොමයක් ජනතාවට සේවාව ලබාදෙන බව සහතික කිරීමට මෙන්ම පෞද්ගලිකකරණය කිරීමට අසීරු වන පරිද්දෙන් ඒ ඒ ආයතනවල පනත් හරහා සීමා පැනවී තිබීම නිසායි. විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට අනුබද්ධව පවතින බොහෝ පොදු සේවාවන්, ලෙහෙසියෙන් පුද්ගලිකකරණය කළ හැකි ලිහිල් නීතියකට මාරු කරවාගතහොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙන්ම ව්‍යාපාරික බලවතුන්ට මේ ආණ්ඩුවෙන් එය සිදු කරගැනීම ප්‍රමාණවත් වේවි. ඉදිරියේදී විවිධ උපක්‍රම හරහා මෙම ආණ්ඩුව පරාජය කිරීමට හැකි වුවහොත්, ඉදිරි ආණ්ඩුවක් යටතේ ලෙහෙසියෙන් පෞද්ගලිකකරණයට ඉඩ පහසුකම් සැලසේවි. මහජන වගවීමෙන් මෙන්ම මහජනයාගේ වගවීමට යටත් කරන නීතිමය පසුතලයන්ගෙන් මෙම ආයතන නිදහස් කළහොත්, හුදු කොටස් විකිණීමකින් පමණක් මෙම සමාගම් විකුණා දැමීමට හැකි වේවි.

දෙවැනි ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධනය මෙරටින් පිටරට පැන්නූ, දූෂිත කටයුතුවලින් රාජ්‍ය දූෂණයට දායක වූ මෙරට ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තිය සංවිධානාත්මකව මෙවැනි ආයතන අත්පත් කරගනීවිද යන්නයි. මීට පෙර අසූ ගණන්වලදී සහ අනූ ගණන්වලදී සිදු වූ පෞද්ගලිකකරණයන් හරහා රජය සතු ඉඩකඩම්, රජය සතු දේපළ පුද්ගලික ව්‍යාපාරිකයන් විසින් කුණුකොල්ලයට තමන් සතු කරගත්තා. එලෙස තමන්ගේ ආධිපත්‍යයට සේවාවන් ගැනීම හෝ එවැනි සේවාවන්වල පාලනයට තමන් හිතවත්, තමන්ට ඕනෑ දේ කිරීම ආර්ථික දෘෂ්ඨිවාදයක් ලෙස අදහස පුද්ගයන් පත් කර ගැනීමෙන් එම සේවාවන් දුර්වල කිරීමටත් එවැනි ප්‍රභූන්ට හැකි වේවි.

හැත්තෑ වසරක් රට පාලනය කළ ප්‍රභූ පැළැන්තිය එළවා දැමීමට ජනතාවට ඕනෑ වුණා. එහෙත්, ඒ ප්‍රභූන් සමන්විත වුණේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල දේශපාලනඥයන්ගෙන් පමණක් නෙවෙයි. එයටම ගැලපෙන ‘විද්වතුන්‘ යැයි කියාගත් තාක්ෂණවේදවාදීන්, නිලධාරීවාදීන් මෙන්ම ව්‍යාපාරික ප්‍රභූන්ද සිටියා. ඔවුන්ට ජනතාව පීඩාවට පත් කිරීමට අවශ්‍ය දැනුම් පද්ධතියක්, විශ්වාස පද්ධතියක් වගේම වටිනාකම් පද්ධතියකුත් හදා තිබුණා.

දේශපාලන ප්‍රභූ පැළැන්තිය ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් බවට පත් කර ගනිමින් ඒ දේශපාලන ප්‍රභූ පැළැන්තිය හරහා මෙරට සමාගම්- ආයතන- සේවාවන් – කර්මානත සහ රාජ්‍ය ව්‍යවසාය පාලනය කරන ලද ව්‍යාපාරික ප්‍රභූන්ට මෙවැනි නිතිරීති මගින් ඉදිරියේදී ඍජුව ඒ කටයුත්ත කිරීමට හැකි නොවිය යුතුයි. එහෙත්, දේශපාලන බලපෑමෙන් ස්වාධීන කිරීම වැනි සංකල්පවලින් තාක්ෂණවේදවාදීන්ට,  නිලධාරීවාදීන්ට මෙන්ම ව්‍යාපාරික ප්‍රභූන්ට මහජනතාව විසින් පත් කරන ජනතාවාදී ආණ්ඩුවල අතගැසීමකින් තොරව තමන්ට රිසි සේ රජය සතු සේවාවන් හැසිරවීමට බලයක් ලැබෙන්නට ඉඩ තිබෙනවා. දූෂණයට වැට බැඳීම එකක්. ආයතන වඩාත් කාර්යක්ෂම කිරීම එකක්. අනෙක් පැත්තෙන් ඒ ආයතන මහජන වගවීමට යටත් කොට තබාගැනීම අමතක කරන්නම බැහැ.

ජනතාවාදී ආණ්ඩුවකට ජනතාවගේ වුවමනා මත මහජන සේවාවන් වර්ධනය, කාර්මික සංවර්ධනය, ජනතාව වෙළඳපොළෙහි පීඩාවන්ගෙන් ආරක්ෂා කර ගැනීම යනාදී කටයුතුවලට මැදිහත්වීමට තිබෙන්නේද ඔය රාජ්‍ය සේවා පද්ධතියයි. ඒවා ජනතාව සතු අයිතීන්. මේ සියලු සේවාවන් දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව විසින් පොදුජන මුදලින් ගොඩනැගූ සේවාවන් බවත් අමතක කරන්න බැහැ.

ප්‍රවාහනය, බලශක්තිය, ජලය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර යනාදී මූලික සේවාවන්ට අදාල සමාගම් රැසක් මෙරට පවතිනවා. ඊට අමතරව ඉතිරි වූ කර්මාන්ත කිහිපයක් පවතිනවා. මේවාට ඇති ප්‍රවේශය නැති වන්නේ නම් එය ගැටලුවක්.

රජයේ සියලු සේවාවන් මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිව්‍යුහගතකරණය විය යුතු බව ඇත්ත. එහෙත්, ඒ විධිමත් සැලසුමක් අතැතිවයි. පසුගිය වසරේදී මහබැංකුව ‘ස්වාධීන කිරීමට‘ බව කියමින් පනතක් ගෙන එනු ලැබුවා. ජනතාව විසින් හිටපු ආණ්ඩු එළවා දැමූ පසුවත් නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරී තාක්ෂණවේදවාදීන් හිතුමතේට කටයුතු කරමින් ඉන්නේ එවැනි පනත් පසුබිමේයි. ජීඇල් පීරිස්ලාගේ සිට චන්න ජයසුමනලාගේ සිට තව බොහෝ උදාහරණ කියා පාන්නේ ආචාර්ය මහාචාර්යවරුන් වූ පමණින් හෝ ක්ෂේත්‍රයේ දැනුම ඇත්තන් වූ පමණින් ඔවුන් පොදුමහජනයාගේ වුවමනා ඉටු කරන බවට සහතිකයක් නොමැති බවයි. එම නිසා, විද්වත් උගුලේ පොදු සේවාවන් දැමීමත් සුදුසු වන්නේ නෑ. ඒ ඒ සේවාවන් ලබන ජනතාවගේ අයිතිය සැමවිටම ආරක්ෂා කළ යුතුයි.

ඒ ඒ ක්ෂේත්‍රවල ඇති සේවාවන් උදෙසා ජනතාවගේ අපේක්ෂා පෙරදැරි කරගෙන අලුතින් අරමුණු සකස් කිරීම, ඒ ඒ ආයතනවල වගකීම සහ ඉදිරි සැලසුම් ඇතුළත් කරමින් අණපනත්, රෙගුලාසි, සැලසුම් සහ ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කොට ඒවා සම්මත කරගැනීමයි වඩා සුදුසු පියවර වන්නේ. එසේ නොමැතිව සියලු ආයතන කැඳ හැලියකට වගේ තනි සමාගමකට යටත් කිරීමත්, මේවා පොදු සේවාවන් වෙනුවට ව්‍යාපාර ලෙස හඳුන්වමින් අනුන් විසින් සකස් කර දෙන ලද විසඳුම් තමන්ගේ කරගනිමින් කපා මසා ඇඳගැනීමත් ආණ්ඩුවට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියක් බව විශ්වාස කළ නොහැකියි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading