2025 දී ඩොලර් බිලියන 18.7ක්! කඟවේනෙක් හා මකරෙක් හොයනවා! ලෝක වෙළඳ යුද්ධය හමුවේවත් ආණ්ඩුව අපනයන ඉලක්ක සමාලෝචනය නොකරයි

පසුගිය අයවැයේදී රජය විසින් ප්‍රකාශයට පත් කළ, 2025 වර්ෂයට අදාල ආනයන ආදායම් ඉලක්කය, ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව පනවන ලද සීයට 44ක බදු ප්‍රහාරයෙන් පසු යළි සලකා බලා සංශෝධනය කරන්නට බලාපොරොත්තු නොවන බව රජය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ වේදිකාවක වහළක් උඩ යන්නට අත්පොළොසන් දීමේ හැකියාවක් ආණ්ඩු හිතවාදීන්ට ලැබී තිබෙනවා.

වඩා නිවැරදිව කිවහොත් සිදුව ඇත්තේ මෙයයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 2 වන දින ප්‍රකාශයට පත් කරන ලද ප්‍රහාරාත්මක තීරු බදු  අනුව ශ්‍රී ලංකාවට 44% ක  බදු පැනවීමේ නිවේදනය කළා. ශ්‍රී ලංකාව වැඩිම අපනයන ආදායමක් ලබා ගන්නේ ඇමෙරිකාවෙන්. එවැනි පසුබිමක වුව,  2025 සඳහා ශ්‍රී ලංකාවේ අපනයන ඉලක්කය සංශෝධනය කිරීමට රජයට කිසිදු අදහසක් නොමැති බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා ‘ද සන්ඩේ මෝනිං බිස්නස්’ වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.

රටක ආදායම පුරෝකථනය කරන්නේ ආනයන සැලසුමක් මත වන අතර, එය ‘සිහින දැකීමක්‘ නොවිය යුතුයි. දැනට පවතින තත්වයන් හමුවේ ඉපයිය හැකි අපනයන ආදායම පුරෝකථනය කළ යුතුයි. අනෙක් සියලු ප්‍රතිපත්ති තීන්දු වන්නේ ඒ මතයි. විශේෂයෙන් ආනයනය සැලසුම් කරන්නේ අපනයන ආදායමේ පුරෝකථන මත.

ඔහුගේ පැහැදිලි කිරීමට අනුව, එක්සත් ජනපදය විසින් හඳුන්වා දුන් අන්‍යෝන්‍ය බදු ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් විශේෂිත බද්දක් නොවෙයිලු. ඒ වෙනුවට ලොව පුරා රටවලට අහිතකර ලෙස බලපාන එක්සත් ජනපදය විසින් ගනු ලැබූ පුළුල් ප්‍රතිපත්තිමය තීරණයක කොටසක්ලු. එහෙත්, මාස තුනකට තාවකාලිකව අත්හිටුවා ඇති බදු අනුපාත ලෝකයේ හැම රටටම සමාන නැහැ. ශ්‍රී ලංකාව ඉලක්ක කර නොගත්තේ නමුත්, ශ්‍රී ලංකාවට ඇත්තේ ලොව ඉහළම බදු අනුපාතයක්.

ඊළඟට ඔහු ඉදිරිපත් කර ඇත්තේ ‘විෂ්ෆුල් තින්කින්‘ යනුවෙන් හැඳින්විය හැකි පුරෝකථනයක්. ඔහු කියා ඇත්තේ ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමෙන් පස්සේ තත්වය සමනය කරගන්න පුළුවන් කියා විශ්වාස කරනවාලු.

“අපගේ ඇඟලුම් කර්මාන්තය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1,800 ක් වටිනා භාණ්ඩ අපනයනය කරනවා. ඊට අමතරව අපි එක්සත් ජනපදයට රබර් අපනයනය කරනවා. සමස්තයක් වශයෙන් අපි එක්සත් ජනපදයට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් වටිනා භාණ්ඩ අපනයනය කරනවා. ඊට ප්‍රතිවිරුද්ධව, අපි එක්සත් ජනපදයෙන් ආනයනය කරන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි – ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් පමණයි. මෙම බද්ද පනවා ඇත්තේ මෙම වෙළඳ හිඟය මතයි” කියා අප හැමෝම දන්නා දෙය ඔහු යළි කියා තිබුණා. එහෙත් ශ්‍රී ලංකාව අපනයන ඉලක්ක යළි සමාලෝචනය නොකරන්නේ මන්දැයි පැහැදිලි කර තිබුණේ නෑ.

එකම පැහැදිලි කිරීම වන්නේ, ඇමෙරිකාව එක්ක එකඟතාවක් නොආවත් නව තත්වයට අනුවර්තනය වී විකල්ප වෙළඳපොළක් ශ්‍රී ලංකාව සොයාගනු ඇති බවක්. ඉතින්, ඔය විදියට ගතහොත්, මේ අවුරුද්ද ඉවරවෙද්දී ශ්‍රී ලංකාවට මකරෙක්, කඟවේනෙක් සහ නාග ලෝකයට යන දොරටුවක් සොයා ගන්න පුලුවන් කියලාත් අපට බලාපොරොත්තු තැබිය හැකියි.

ඔහු කියා ඇත්තේ, ඇමෙරිකාවෙන් අහිමිවෙන වෙළඳපොළ වෙනුවට යුරෝපය දෙසට හැරෙන බවත්, දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවත්. එහෙත්, ලෝක වෙළඳපොළට ට්‍රම්ප් බදු ප්‍රතිපත්තියේ බලපෑම එල්ලවනු ඇත්තේ ඒ තරම් ලෙහෙසියෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්තවලට විකල්ප වෙළඳපොළවල් සොයාගැනීමට පහසු අයුරින් නොවෙයි.

කරුණු කෙසේ වෙතත්, 2025 අපනයන ඉලක්කය සංශෝධනය කිරීමට කිසිදු සැලසුමක් නොමැති බව ඔහු සන්ඩේ මෝනින් වෙත අවධාරණය කරලා තියෙනවා.

“මෙම නව බද්ද හේතුවෙන් අපගේ නිෂ්පාදනවල පිරිවැය වැඩිවීම නිසා, අපගේ නිෂ්පාදන අලෙවි කිරීමේදී අපට වැඩි තරඟකාරීත්වයකට මුහුණ දීමට සිදු වෙනවා. කෙසේ වෙතත්, මෙම වැඩි වූ තරඟකාරීත්වය තිබියදීත්, අපගේ එක්සත් ජනපද ව්‍යාපාරයෙන් 100% ක්ම අහිමි වනු ඇතැයි අපි අපේක්ෂා කරන්නේ නැහැ. එක්සත් ජනපදයට නොයන ඕනෑම නිෂ්පාදනයක් සඳහා විකල්ප වෙළඳපල හඳුනා ගැනීම සඳහා අපි සාකච්ඡා ආරම්භ කරනවා.” ඔහු තවදුරටත් පැවසීය.

2025 වසර සඳහා මුළු අපනයන ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 18.7 ක් ලෙස රජය ඉලක්ක කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මීට පෙර නිවේදනය කර තිබුණා. මෙම පුරෝකථනය තුළ වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 14.54 ක ආදායමක් සහ සේවා අපනයනයෙන් බලාපොරොත්තු වෙන ඇමරිකානු ඩොලර් බිලියන 4.16ක ආදායමක් ඇතුළත් වෙනවා.

Author

1 Comment

  • We are a developing country . We shoud not go against the developed countries.
    If they take a wrong decissions will be a desaster to the whole nation. Therefore try to be flexible on behalf of our people

Comments are closed.

Related Posts