මාව පසු කරගෙන ගැහැණු කෙනෙක් වේගයෙන් දුවගෙන ගියා. ඒත් එක්කම මට ඇසුනේ පුංචි ළමයෙකුගේ ඇග හිරිවැටෙන කෑ ගැසීමක්. ‘අනේ අම්මේ මාව දාලා යන්න එපා. මට ඔයාව ඕනේ “ මම ආපසු හැරිල බැලුව. කුඩා ගැහැණු ළමයෙක් ඉස්කෝලේ ගේට්ටුව ළග ඉදන් බිම පෙරලෙමින් අඩනව. තවත් හතර දෙනෙක් විතර දුවන්න දගලන ළමයව වඩා ගන්න ලොකු මහන්සියක් ගන්නව.

ඉස්කෝලේ පාර පහුවෙලා මහපාරට හැරෙනකම්ම මට ඒ කෑ ගැසිල්ල ඇහුනා. “ අනේ අම්මේ මාව දාලා යන්න එපා“
මුලින්ම පෙර පාසලකට හෝ දිවා සුරකුම් මද්‍යස්ථානයකට ළමයෙකු බාර දුන් දෙමවුපියකුට මේක එතරම් දුරස්ථ අත්දැකීමක් නොවේ. මමත් බොහෝ වෙලාවට ගේට්ටුව පිටුපස්සට වෙලා දුවගේ අඩන හඩ අඩු වෙනකම් හොරෙන් බලා ගෙන ඉදල තිබෙනව.
වෙන් වීම කියන්නේ එක්තරා විදියකට ක්ෂතිමය අත්දැකීමක්. ඒත් අපි හැමෝම පිළිගන්නව ළමයා දෙමවුපියන්ගේ ලෝකයෙන් කැඩිල සමාජය වෙත ගමන්කරන්නේ මේ අනිවාර්ය වූ ක්ෂතිමය අත්දැකීම හරහා කියල.
දෙමාපියන් සහ දරුවා අතර ඇතිවන මෙම පැල්ම, මවගේ උණුසුම් ගර්භාශමය සුරක්ෂිතතාවයේ ඉදල අවිනිශ්චිත ආගන්තුක සමාජයක් වෙත ළමයෙකු ඇතුළු වීම, මිනිස් විෂයේ පදනම් මොහොත ලෙසයි මනෝවිශ්ලේෂණයේදී හදුනා ගන්නේ.

ඉතින් මේ වෙන් වීම අපගේ ජීවිතයේ තීරණාත්මකය මොහොතක්. ඒත් මේක ක්ෂණික බලහත්කාරී ක්‍රියාවලියක් නොවෙයි. ක්‍රමික ක්‍රියාවලියක්. සෑම සමාජයකම, ප්‍රජාවකම මේ සදහා නිර්මාණය වූ සමාජ සැකසුම් තිබෙනව.
මේ සිද්ධියත් එක්කම මගේ සිතට ආසන්නම තවත් සිදුවීම් දෙකක් මතකයට එනව. එකක් තමයි ඔස්ට්‍රේලියාවේ ස්වදේශීය ජනයාගේ ළමුන් බලහත්කාරයෙන් තම දෙමවුපියන්ගෙන් වෙන් කිරීම ගැන සම්මාණනීය ඡායාරූප ශිල්පිණියක්වූ ඇලීතියා කැසී ගේ ඡායාරූපකරණය. අනිත් එක අල්ජසීරා මාධ්‍යවේදියකු වූ මෙහිදී හසාන් සමග රනිල් වික්‍රමසිංහ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව.
මේ සිදුවීම් දෙකම එක්කරා ආකාරයකට වෙන් කිරීම ගැන සමාජයේ ක්ෂතිමය අත්දැකීම් දෙකක් ආමන්ත්‍රණය කරනව. එකක් ඔස්ට්‍රේලියාවේ “සොරාගත් පරමිපරාව“ “ Stolen Genaration”ලෙස හදුන්වන ස්වදේශික ජනයාගේ ක්ෂතිමය අත්දැකීමක්. අනෙක ලංකාවේ සිවිල් යුද්ධ දෙකක් තුළ සිදුවුණු බලහත්කාරී අතුරුදහන් කිරීම් ගැන ජන සමාජ කිහිපයක ක්ෂතිමය අත්දැකීමක්.
මේ සිදුවීම් දෙක සම්බන්ධයෙන්ම ඇලීතියා කැසී සහ මෙහිදී හසාන් අසන්නේ එකම ප්‍රශ්නයක්. මෙම සිදුවීම් ගැන වගකීම ඔබ බාරගන්නවද? මේ සිදූවීම් ගැන ඔබ සමාව ගන්නවද?
මෙය අභිමාණය පිළිබඳ කාරණයක් නොවෙයි. සහකම්පනය පිළිබද කාරණයක්. මේ ආමන්ත්‍රණය කරන්නේ සාමූහික ක්ෂතිමය අත්දැකීමක්.
ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනයාගේන් බලහත්කාරයෙන් වෙන් කෙරුනු ළමයින්ට කිසිදිනක තමන්ගේ දෙමවුපියන්, ප්‍රජාව සහ භූමිය නැවත ලැබුනේ නැහැ. ඇලීතියා කැසී තමන්ගේ ඡායාරූපකරණය හරහා ආමන්ත්‍රණය කරන්නේ මෙසේ වෙන් කෙරුණු ළමයින්ගේ ක්ෂතිමය අත්දැකීමයි. ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව 2018 දී “මහා ඔස්ට්‍රේලියානු නිහඩත්වය“ “ The Great Australian Silence”අවසන් කරමින් මෙම බලහත්කාරී වෙනිකිරීම ගැන සමාව ගනු ලැබුව.
ඒත් රනිල්,

මට තාමත් පාසල ලගදී ඇසුණ කුඩා ගැහැණු ළමයාගේ කෑ ගැසීම දෝංකාර දෙනව. ඒත් ඇය තවත් හෝරා කිහිපයකින් ඇයගේ දෙමාපියන් වැළද ගනීවි. එත් ලංකාවේ සිවිල් යුද්ධ වලදී අතුරුදහන් කෙරුනු අය නැවත කවදාවත් ආපසු එන්නේ නැහැ. ලංකාව කියන්නේ පරම්පරා ගණනක අතුරුදහන්වීම් නිහඩත්වය තුළ සැගවූ දේශයක්. ලංකාව කියන්නේම සාමූහික ක්ෂිතිමය අත්දැකීමක්.
රනිල් අල්ජසීරා සාකච්ඡාවේදී තර්කය, අභිමානය, සමච්ඡලය සහ කලහකාරීත්වය පිටුපස සැගවී පැනයාමට උත්සාහ කරන්නේ මෙම සත්‍යයයෙනුයි. එය නිර්භීතභාවයක් හෝ ශක්තියේ ප්‍රකාශමානවීමක් නොවෙයි.
ජැක්ලින් සිමෝන් ගන් කියන ලේඛිකාව සහ මනෝ වෙද්‍යවරිය උපුටා දක්වමින් රනිල් වික්‍රමසිංහට මෙසේ කීමට කැමතී. ඔබ සිටින්නේ සාමූහික ක්ෂිතිමය අත්දැකීමකට මුහුණ දුන් ජන කණ්ඩායමක සාමාජිකයන් ද සිටින් ප්‍රේක්ෂකාගාරයක් ඉදිරිපිටයි. සහකම්පනය යනු දුර්වලතාවයක් නොවේ.
“සමාවෙන්න කියන එක ශක්තිමත් ක්‍රියාවක් (Saying you’re sorry is an act strength)
චායාරූප – ඇල්තියා කැසී

Yes. It’s completely true 👍