මෙය රැකියාවටම ඇලී ඉන්නට කාලයද? ඔබ වැඩකරන ආයතනය වෙනුවෙන්ම කැප වී සිටිනවාද? එසේ නම් ජින් මාර්ක්ස් ගාඩියන් පුවත්පතට ලියූ ලිපියක් ඇසුරෙන් වන පහත සටහන කියවන්න. මේ පොඩි සටහන බ්‍රිතාන්‍යය පසුබිම් කරගෙන ලියූවක් වුව මේ වෙද්දී ලංකාවටත් අදාල වෙනවා.
ජීන් මාර්ක්ස් (Gene Marks) යනු ප්‍රකට තීරු ලිපි රචකයෙකු, ලේඛකයෙකු සහ සුළු පරිමාණ ව්‍යාපාර හිමිකරුවෙක්. ඔහු බ්‍රිතාන්‍යයේ ගාඩියන් (The Guardian) පුවත්පතේ නිත්‍ය තීරු ලිපි රචකයෙකු ලෙස කටයුතු කරනවා. ඔහුගේ ආයතනය වන Marks Group PC, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු විදේශීය රටවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා තාක්ෂණික සහ මූල්‍ය කළමනාකරණ උපදේශන සේවා සපයනු ලබනවා.
මේ යුගයේ රැකියා වෙළදපලට ඇලී ගැලී ඉන්න එක එතරම්ම හොද නැති බවයි ඔහු ලියා තියෙන්නේ.
පහුගිය කාලයක් තිස්සේ තිබුණේ මහා පරිමාණයෙන් සේවකයන් රැකියාවලින් ඉවත් වීම්. වැඩ වර්ජන. වෘත්තිය සමිති නැගී සිටීම් ආදිය. සමහරු නිහඩව අස් වුණා. සමහරුන් අකුරට වැඩ කරන සදුදා වැනි ප්‍රවණතාවලට යොමු වුණේ සදුදා දිනයේදී තමන්ගේ මුලික රාජකාරී හැර අමතර කිසිවක් නොකරන ක්‍රියාමාර්ගයක් ලෙස.
එහෙත් පෙර කී තීරු ලිපි රචකයා පෙන්වා දෙන්නේ දැන් සියලුදෙනා රැකියාවටම ඇලී ගැලී ඉන්න, රැකියාවට කැපවෙන ප්‍රවණතාවක් දැන් තියෙන බව.
ඒකට හේතුව තමයි ආර්ථික අවිනිශ්චිතතාව සහ ජීවන වියදම් ඉහළ යෑම. රැකියා අත්හැරීමේ රැල්ලට ගිහින් රැකියා අහිමිවුවන්ට සිද්ධවුණේ කුමක්ද? ඔවුන්ට ආදායම් අවස්ථා මගහැරීයැම සිදු වෙන්නට ඇති. ජීවන වියදම් වැඩිවෙද්දී රස්සාව නැතිවිමේ අවදානමට මුහුණදෙන්න බෑ. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධියෙන් සිදුවිය හැකි බලපෑම නිසා මිනිස්සු තමන්ගේ රැකියාවටම යොමුවෙලා ඒකටම කැප වෙන එක තේරුම් ගන්න පුලුවන්.
Monster.com වෙබ් අඩවියේ මෑත කාලීන වාර්තාවකට අනුව, සේවකයින්ගෙන් අඩකට ආසවින්න පිරිසක් පවසන්නේ ආරක්ෂාව සහ ස්ථාවරභාවය වෙනුවෙන් තමන් බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් වත්මන් රැකියාවේ රැඳී සිටින බව.
“සේවකයින් වෙනදාට වඩා තදින් තම රැකියාව අල්ලාගෙන සිටින්නේ තෘප්තිමත් නිසා නෙවෙයි, අවදානමකට ඇති අකමැත්ත නිසයි. නව පක්ෂපාතීත්වය ගොඩනැඟී ඇත්තේ පැවැත්ම සඳහා මිස සතුට සඳහා නෙවෙයි,” යැයි වෘත්තීය විශේෂඥ විකී සැලේමි කියා තිබුණාලු.
කොහොම වුණත් ගාඩියන් තීරු ලිපි රචකයා මෙහෙම කියනවා.
ඔබත් “රැකියා වැළඳ ගන්නෙකු” නම්, මේ ගැන හිතන්න.
ඔබ ඔබේ අනාගතය විනාශ කරගනිමින් ඉන්නවා. ඔබ වත්මන් රැකියාවෙන් අනිවාර්යයෙන්ම ඉවත් විය යුතු යැයි මම කියන්නෑ. ඔබ කරන වැඩට සහ ආයතනයට ඇත්තටම කැමති නම් එය ඉතා හොඳයි. නමුත් රැකියාවටම පමණක් ඇලී ඉන්න එපා. මොකද, ඔබේ කාර්යය පරිගණක ආශ්‍රිත එකක් නම්, කෙටි කලකින් එය සහමුලින්ම වෙනස් වනු ඇති. සමහරවිට එම රැකියාව නැති වී යාමට පවා ඉඩ තියෙනවා.
තාක්ෂණික සමාගම් දැන් AI නියෝජිතයන් සහ බොට් (bots) හඳුන්වා දෙමින් ඉන්නවා. නුදුරු අනාගතයේදී බැංකු ගිණුම් සැසඳීමේ සිට පාරිභෝගික සේවා සැපයීම දක්වා සෑම දෙයක්ම ඔවුන් විසින් කරනු ඇති. එවැනි පසුබිමක පවතින රැකියාවටම ඇලී සිටීම, මියයාමට ආසන්න රෝගී සුරතල් සතෙකු වැළඳගෙන ඉන්නවා වගෙයි.
හාම්පුතුන්ගේ අපේක්ෂාව
ඇත්ත කිව්වොත් ඔබේ හාම්පුතා ඉන්නෙත් ඔබ වගේම ව්‍යාකූල තැනකට වැටිලා. ව්‍යාපාරිකයෙකු ලෙස මා ද දන්නවා ඉදිරියේදී විශාල වෙනස්කම් සිදුවන බව. මා ප්‍රධානියෙකු ලෙස මට අවශ්‍ය වන්නේ විසඳුම් රැගෙන එන සේවකයින් මිස, පවතින තත්වයම රැක ගැනීමට වෙහෙසෙන අය නෙවෙයි. තාක්ෂණික රැල්ල සමඟ වෙනස් වීමට සූදානම් ඕනෑම සේවකයෙකු වෙනුවෙන් මම පෙනී සිටිමි.
රැකියාවටම ඇලී සිටින්නන් (job huggers) ව්‍යාපාරයකට හානිකර වන්නේ ඔවුන් අවදානම් ගැනීමට බිය වන නිසා. වගකීම් මඟහරින නිසා. ව්‍යාපාරිකයන් ලෙස අප නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අලුත් මඟක් හොයන්න. සේවකයෙකු ලෙස ඔබත් එක තැන පල් වුවහොත්, එය වෘත්තීයමය වශයෙන් සියදිවි නසා ගැනීමක් වගෙයි.
ඔබ ඔබේ වත්මන් ආයතනයට එතරම් කැමැත්තක් නොදක්වන්නේ නම්, එහිම රැඳී ඉන්න එපා. රැකියාවක නිරතව සිටියදීම වෙනත් අවස්ථා හොයන්න. ඔබ රැකියාවක් කරමින් සිටින විට ඔබට ඇති ඉල්ලුම සහ කේවල් කිරීමේ හැකියාව වැඩියි.
ඉන්න තැන පරෙස්සම් කරගෙන, එතැනින්ම ස්ථාවරත්වය හොයන එක ආරක්ෂිතයි කියලා හිතුණාට ඒක අවදානම් සහගත පාරක්. ඔයා අලුත් දේවල් ඉගෙනගත්තේ නැත්නම්, අලුත් අවස්ථා විවෘත කරගත්තේ නැත්නම් ඔබ පරාජිතයෙක්.
දැන් එක තැන නතර වී සිටීමට කාලය නෙවෙයි.
