අනුර මහඅලුගෝසුතුමනි! ප්ලීස් අපට නම් වෙඩිතියන්න එපා!

තරිඳු උඩුවරගෙදර

මේ සටහන ලියන්නේ, ආරම්භයේදීම පරාජය පිළිඅරගෙනය. මේ වටයේදී ආණ්ඩුව දිනුම්ය. අපේ දිග හෑලි කියවා වැඩක් නැත. ආණ්ඩුව හරිය. අනුරලා හරිය. හුරේය! පාතාලය මැඩලමින් තිබෙන්නේය. ජයවේවාය.

ඒත්, අපට මුළු ලෝකයම චෝදනා කළත් මේ ටික නොලියා බැරිය. ඇත්තටම මේ සිද්ධවුණේ කුමක්ද? සරල වාක්‍යයකින් තේරුම් ගනිමු.

පසුගිය දින කිහිපයට මුළු සමාජයේම කතාබහට ලක් වූ නීතියට පිටින් වූ ඝාතන සිදුවීම් හතරක් වාර්තා විය. එයින් තුනක සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එහෙත්, කාකදූපතේ සිදු වූ ද්වි පුද්ගල ඝාතනය යටගසමින්, එම ඝාතනය කළ පොලිස් නිලධාරීන් පමණක් සාධාරණීකරණය කිරීමට ආණ්ඩුව මැදිහත් වී තිබුණි.

එහෙත් කාක දූපතේ ද්විත්ව ඝාතනය සාධාරණීකරණය කර තිබුණේ, එම ඝාතනය සිදු කළ පොලිස් කල්ලිය වෙනුවෙන් මීට කලින් රජයන් විසින් ලියූ නිවේදනයම කොපි පේස්ට් කර සංස්කරණය කිරීමෙනි. වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ කොඩි ගහ යට නාට්‍යයේ දෙබසක් අනුව යමින් කීවොත්, කොටුවක් එහේ මෙහේ කරමින් පැරණි තොරණම ජනතාවට පෙන්වා ඇත.

ඇත්තටම කාකදූපතේ ද්විත්ව ඝාතනය ජනාධිපති අනුර කුමාර දිසානායක, මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති  ඇතුළු අයගේ කොළ එළිය මත සිදුවූවක් බව ලියුම්කරු දැඩිව විශ්වාස කරයි. එයට අංක එකේ හේතුව වන්නේ, අනුරලාම මීට පෙර විවේචනයට ලක් කළ පොලිස් ඝාතනවලදී පාවිච්චි කරන ලද තොරණ දූවිලි පිස දමා එළියට ගැනීමය. කොපිපේස්ට් කළ නාට්‍ය පිටපත එළියට ගැනීමය.

ඝාතනයේ ලේ වේලෙන්නත් කලින්, මාධ්‍ය හමුවකට පැමිණ අධිකරණයෙන් පිට ඝාතනයක් සිදු නොවූවා සේ මාධ්‍ය අමතන්නට තරම් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න නිර්ලජ්ජිත විය. අඩු තරමේ පොලීසිය කළ ඝාතනය ගැන කම්පනයක් නැත. සමාව ඉල්ලීමක් නැත. ඒ වෙනුවට දිග පම්පෝරියක් තිබුණි.

ඇත්තෙන්ම විය යුත්තේ කුමක්ද? සමස්ත අපරාධ සංස්කෘතියම නැති කිරීමය. පොලීසිය කරන මිනීමැරුම් මෙන්ම, හිටපු පොලිස් සහ හමුදා සෙබළුන් පාතාලයයැයි කියමින් සිදු කරන අපරාධත් නැති කළ යුතුමය. එය ක්ෂණික නූඩ්ල්ස් උයා කනවා වගේ වැඩක් නොවේ. ජනතාවට තේරුම් කළයුත්තේ එයයි. වෙනස් කළ යුත්තේ අපරාධ සංස්කෘතියයි.

මේක වෙනස්

ඇත්තෙන්ම ආණ්ඩුවට හිතවත් අය කාකදූවේ පොලිස් මිනීමරුම යට ගැසීමට කිසිදු චකිතයක් නැතිව ඉදිරිපත් වනු ඇත. යටගැසුවාට කමක් නැත. එහෙත්, මෙය වැරදීමකින් සිදු වූ වෙඩිතැබීමක් කියා  තමන්ගේම හිතට එකඟ නොවෙන බොරු නොකිව මැන. ආණ්ඩුවේ නිල අනුදැනුම මත, ආණ්ඩුවේ තීරණයක් මත කළ දෙයක්ය යන අමු අමුවේ අප දෑස් ඉදිරිපිට ඇති සත්‍යය පිළිගනු මැන. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේත්, විෂ්‍ය භාර ඇමති ආනන්ද විජේපාලගේත්, අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්නගේත් කොළ එළිය නැතිව මෙය කළ නොහැකි බව පිළිගනු මැන. මෙතෙක් කල් පිටපතක් වූ ආයුධ පෙන්වීම මෙවර විතරක් ඇත්තටම සිදු වුණායැයි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් නොකළ මැන.

ආණ්ඩුව පාතාලය ‘මැඬලන්නට‘ සිතාගෙන මෙම ඝාතනය සිදු කළ බවත්, මෙවන් ඝාතනවලින් මිස වෙන ක්‍රමයකින් පාතාලය මැඬලීමට නොහැකි බව ඔබේ තර්කය ලෙස කිව මැන.

මන්ද යත්, මෙම නාටක පිටපත් ගැන අනුර කුමාර දිසානායකම, 2021 දෙසැම්බර් 03 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයකදී මෙසේ කීය.

‘අවසාන වශයෙන් මම කියන්නේ පොලීසියේ ඇතිවෙලා තිබෙන මේ සම්ප්‍රදාය හොඳ සම්ප්‍රදායක් නෙවෙයි කියලායි. ඒක එකම නාටකයක් බවට පත් වී තිබෙනවා. අත්අඩංගුවට ගත්ත කෙනෙක් පොලිස් වෙඩි පහරින් මිය යනවා. ආයුධ පෙන්වන්න ගිය තැන තිබුණු ආයුධයක් පෙරලා එල්ල කිරීම හේතුකොටගෙන. මේ එකම නාටකය. සාමාන්‍යයෙන් පොඩි ළඹයින්වත් ඒ අල්ලස සෙල්ලම කරන්නේ නැහැ. අද එක තැනක හැංගුණොත් ඊළ දවසේ වෙන තැනක හැංගෙනවා. අද දොර මුල්ලේ හැංගුණොත් ඊළ දවසේ ඇඳ මුල්ලේ හැංගෙනවා. හැබැයි, තමුන්වාන්සේලාගේ පොලීසිය එහෙම නෙවෙයි. කවුරුහරි අත්අංගුවට ගන්නවා. ආයුධ පෙන්වන්න ඔහු එක්ක යනවා. ඔහු ඒ ආයුධයක් පෙරලා අතට ගන්නවා. පොලිස් නිලධාරීන්ට ඒ ආයුධයෙන් වෙඩි තියන්න උත්සාහ කරනවා. පොලීසියෙන් වෙඩි තැබීමෙන් ඔහු ඝාතනය වෙනවා. මේක කවුද පිළිගන්නේ? ඔබතුමා කියන්න මේක පිළිගත යුතුද කියලා. මා කියන්නේ අපේ රටේ කිසිවෙක් ජීවත් වෙනවාද, නැද්ද කියලා තීරණය කිරීෆම් අයිතිය එහෙම තිබෙන්න බැහැ කියලායි. එතකොට ඔහු මැරෙනවාද ජීවත් වෙනවාද කියලා තීරණය කරන්නේ කවුද? තමුන්නාන්සේද? එහෙම නැත්නම් පොලිස්පතිතුමාද? පොලිස්පතිතුමට මොකක්ද තිබෙන අයිතිය ඒ අපරාධකාරයා ජීවත් වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න? ඇමතිවරයාට මොකක්ද තිබෙන අයිතිය. අපට ශිෂ්ඨාචාරයක් ගොඩනැගී තිබෙන්නේ ඇයි‘ මේ අනුර දිසානායකගේම වචනමය.

ඇත්තය, අපට කියන්නට දෙයක් නැත. අප කියන්නේ පණ්ඩිත කතාය. අපි ඔච්චර ආස නං අපි පාතාලයන් ගෙදර ගෙනැවිත් ගේ අස්සේ තියාගන්න ඕනෑය. අපි පාතාලයන්ට කඩේ යන්නෙමු. ඇත්තය. අපි සමාජ ද්‍රෝහීන්ය. සමාජ විරෝධීන්ය. මේ සිදු වන්නේ පාතාලය මැඬලීමට පාතාලයට අනතුරු හැඟවීමකි. අනුරයියා එක්ක සෙල්ලම් බැහැ කියාය. ඒ නිසා මේ වෙඩි තැබීම නිවැරදිය.

එහෙත්, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මීට අවුරුද්දකට පෙර නීතිඥයෙකු ලෙස මෙසේ කීය.

‘ඌ පාතාලයා, කුඩුකාරයා කියා නිහඬ වෙන්න එපා. මක්නිසාද? ඕගොල්ලන්ට ඇහෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ කවරු හෝ ඇමතිවරයෙක් කියන දෙයක්. උසාවියක නඩු අහලා වැරදිකාරයා වෙලා නොවෙයි. ඔහු වැරදිකරුවෙක් ලෙස හඳුන්වන්නේ කොහොමද? ඒ නිසා සාමාන්‍ය ජනතාවටත් විශාල වගකීමක් තිබෙනවා, සාමාන්‍යකරණය වීම වළක්වන්න, මැදිහත් වෙන්න. සෑම පුද්ගලයෙක්ම එකම නීතියට යටත් විය යුතුමයි.‘

ඇත්තය. මෙයට ප්‍රතිචාර ලෙස ඔබ නගන තර්කත් පිළිගන්නෙමු. ඒ කතාව එදාට වලංගුය. මොකද එදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකව සිටියේ බුද්ධික මනතුංග නොවේ, නිහාල් තල්දූවය. එදා පොලීසිය භාර ඇමති ආනන්ද විජේපාල නොව ටිරාන් අලස්ය. එදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මිස රවී සෙනෙවිරත්න නොවේ. එදා ජනාධිපති රනිල් වික්‍රමසිංහය. අනුර කුමාර දිසානායක නොවේ. ඒ නිසා, අනුර වෙඩි තියෙව්වාම එය රනිල්ට වඩා උත්තරීතර වෙඩි තැබීමකි.

සිදුවීම

අප සිදුවීමෙහි ඇති කතාන්දරය වෙත යොමු වෙමු. 2025 පෙබරවාරි 22 වැනිදා උදෑසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග කීවේ, කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

පෙබරවාරි 21 වැනිදා රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරා වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යවර්ථ කිරීමට ගිය අවස්ථාවේදී ඔවුන් මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව ඔහු වැඩිදුරටත් කීය.

සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරයෙකුද තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ප්‍රකාශ කර තිබුණි.

 “ඊයේ (21) රාත්‍රී 9ට පමණ කොටහේන වීදිය ජංගම දුරකථන අලෙවිසැලක් තුළදී 38 හැවිරිදි ශෂි කුමාර් නමැති පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකළා.  යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා. වෙඩිවැදුණු පුද්ගලයා රෝහල් ගත කිරීමේන් පසු ජීවිතක්ෂයට පත් වුණා. වෙඩිතැබීමට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් පලායමින් සිටියදී පොලීසිය හඹා ගොස් අත්අඩංගුවට ගත්තා. මෙම ඝාතනය සඳහා භාවිත කළ යතුරුපැදිය සහ ගිනිඅවියත් එහිදී පොලිස් භාරයට ගැනුණා. පසුව ඊයේ රාත්‍රී කාලයේදී සැකකරුවන් සඟවා තිබූ තවත් අවි ආයුධ පිළිබඳ පොලීසියට ප්‍රකාශ කිරීමෙන් පසු එම ස්ථානය වෙත සැකකරුවන් රැගෙන ගියා. එහිදී සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ගේ ගිනිඅවි උදුරාගෙන පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහ කර තිබුණා. පොලිස් නිලධාරීන් විසින් ජීවිත ආරක්ෂාව සඳහා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.”

මෙම සිදුවීමේදී සැකකරුවන්ව රැගෙන ගිය පොලිස් කණ්ඩායම තමන්ගේ ශරීරවල කැමරා පාවිච්චි කළාද? විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආයුධ පෙන්වීමේ නාඩගම ගැන මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් පැවතුණි. ඒවායේදී අවස්ථා කිහිපයකදී විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුරෙයිරාජා පොලීසිය දැඩිව විවේනය කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් රැනෙ යෑමේදී උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණි. ඒ අතරින්, ප්‍රධාන එකක් නම් ආයුධ පෙන්වන්නට යන වෙලාවට කැමරා පාවිච්චි කිරීමය.

මොකද, ආයුධ පෙන්වීම අමුතු එකකි. 2021 දී මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ෆේස්බුක් පෝස්ටුවකින් විමසා තිබුණේ මේ විදියට ආයුධ පෙන්වන්නට ගොස් ආයුධය පෙන්වා නිරුපද්‍රිතව ආයුධ රැගෙන ආ අවස්ථා තිබේද කියායි. හර්ෂණ නානායක්කාර වත්මන් ඇමතිවරයා එවකට නීතිඥවරයෙක්ව එයට ප්‍රතිචාරයක් පළ වී තිබුණේ එහෙම වෙලා නැහැ කියාය. එනයින්ම ආයුධ පෙන්වීම සැකකරුවන්ට මාරාන්තික ක්‍රියාවක් විය.

ඉන්ස්ටන්ට් ජස්ටිස්

පොලිස්පතිවරයාගෙන් අදාල සිදුවීම ගැන මෙන්ම ගනේමුල්ල සංජීව ඝාතකයා ගැන පෙබරවාරි 22 වැනිදා තිබුණු මාධ්‍ය හමුවේදී විමසූ අවස්ථාවල ඔහු කී කාරණයක් වුණේ, ඒ කාරණාවලට පිළිතුරු දීමට ඉක්මන් වැඩි බවය. පරීක්ෂණ කරන බවය. මේ ආණ්ඩුවත්, පෙර ආණ්ඩුත්, ඕනෑ ආණ්ඩුවකුත් සිදුවීමක් ගැන ඇසුවාම ඒ ගැන දැන්ම කිව නොහැකි බවත් විමර්ශන කරන බවත් කියනු ලැබේ.  කාලය ඉල්ලා සිටිනු ලැබේ.

ඉතින්! මා එතැන සිටියේ නැත. මා සිටියානම් විමසන්නේ, ඒ ගැන විමසන්නට වෙලාව නැති වුණාට කාකදුපතේ ඝාතනය යට ගසමින් එය ආයුධ පෙන්වීමේදී සිදුවූවක් කියා ලියා මාධ්‍යවලට නිකුත් කරන්නට පැය කිහිපයක් ඇතුළත පුළුවන් වුණා නේද? කියාය.

ඇත්තම ප්‍රශ්නය ඒ සැකකරුවන්ට මරණ දඬුවම ලබා දෙන්න පැය දෙකතුනක් ඇතුළත හැකිවීමය. කොටහේනේ ඝාතනයේ නඩුව විමසා මරණ දඬුවමත් ලබා දෙන්නට ගත වූ අධිවේගය පොලිස්පතිවරයාට ප්‍රශ්නයක් නොවේද? මාධ්‍ය නිවේදන එවමින් සිදුවීම පිළිකුල් සහගත ලෙස යටගසද්දී කාලය ඉල්ලා සිටියේ නැතිද?

ඒ මදිවාට මෙසේත් ඔහු කීය.                                                                                       

‘නීතියේ ප්‍රතිපාදන තියෙනවා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න. පොලිස් නිලධාරීන්ටත් තියෙනවා. පුද්ගලික ආරක්ෂාව දැනට පවතින නීතියක් තුළින් ක්‍රියාත්මක වීම විමර්ශනයේ කටයුත්තක් මිසක් බැහැර කරලා නෑ.‘ ඒ අනුව කාලය ඉල්ලා සිටියත් කොටහේන ඝාතන නඩුව මෙන්ම කාකදූපතේ ඝාතන නඩුවත් පොලිස්පති විමසා හමාරය. කොටහේන ඝාතනය කළේ, කාකදූපතේදී මැරුම් කෑ දෙදෙනාය. කොටහේන ඝාතනයට පසුබිම් වූ හේතුව කුමක්ද? සැලසුම කාගේද? මුදල් කාගෙන්ද? ඒවා සොයන්නත් ඕනෑ නැත. තීන්දුව දී හමාරය. කාකදූපතේ ඝාතනය ආත්මාරක්ෂාව පිණිසය. කාකදූපතේ ඝාතනවලට ඝාතනයට පසුබිම් වූ හේතුව කුමක්ද? සැලසුම කාගේද? මුදල් කාගෙන්ද? ඒවා සොයන්නත් ඕනෑ නැත. තීන්දුව දී හමාරය. ක්ෂණික යුක්තියය.

මේ ක්ෂණික යුක්ති මාවතේ ඉදිරියටත් ගමන් කරනවාද? එළියට ගත් තොරණ තව කී පාරක් ප්‍රදර්ශනය කරනවාද? අප දන්නේ නැත. අප දන්නේ මේ ආණ්ඩුවට තවමත් ඉතිරි වී තිබෙන ජනප්‍රසාදය නිසා මේ තොරණ මිනසුන් සාධුකාර දෙමින් නරඹන බව පමණි. ඒ සාධුකාර හඬවල්වලින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේත් දෑස් නිලංකාර විය හැක.

පිලිපීනයේ රොද්‍රිගෝ දුතාර්තේ මත්ද්‍රව්‍යවලට එරෙහිව සටනක් අරඹා එය කෙළවර කළේ 30,000කට ආසන්න පිරිසක් මරා දමමිනි. ලංකාවේ ජේආර් ජයවර්ධන ත්‍රස්ත විරෝධී නීතියකුත් සම්මත කොට, මාස හයෙන් ත්‍රස්තවාදය තුරන් කරනවා කියා උතුර බුල් වීරතුංග නම් තම ඥාති මිත්‍ර හමුදා ප්‍රධානියා යැව්වාට පසු තිස් වසරක යුද්ධයකින් මිනිසුන් ලක්ෂ ගණනක් සමූලඝාතනය කෙරිනි.

මුලින් වැඩේ පටන් ගත්තේ කුඩ්ඩන්, පාතාලයන් ඉලක්ක කරමින් කියාය. ඒ වෙද්දී පැවති ආර්ථික අර්බුදය පිලිපීනය කළමණාකරණය කළේ ඝාතන පිට ඝාතන සිදු කරමින් ඒ ඝාතන මැද්දට මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීනුත් ඝාතනය කරමින්ය.

මේ ණය අර්බුදය, මේ ගෙවුම් ශේෂ අර්බුදය, මේ ආර්ථික විනාසය වත්මන් ආණ්ඩුව යන පාරේ ගොස් කළමණාකරණය කළ නොහැක. කියනවාට සමාවෙන්න! එය මේ විදියට කළමණාකරනය කළ නොහැක. පීඩනය වැඩි වනු ඇත. ආණ්ඩු විරෝධය වැඩි වනු ඇත. මහා සංදර්ශනාත්මක ත්‍රස්ත කිරීමක් නොමැතිව මේ පශ්චාත් වොෂිංටන් සම්මුති න්‍යායන්ගෙන් රටවල් පාලනය කළ නොහැක. බඩගින්න, දුප්පත්කම, අසහනය, මන්දපෝෂය, විරැකියාව මෙන්ම වැටුප් නැතිකම, ගොවිතැනේ ඛේදවාචකය සමඟ සාමාන්‍ය ජනතාව මහ දවාලේ කොල්ලකන රටාවක ආරක්ෂකයා වෙන්නට නිකම්ම බැරිය.

ඉතින්! මේ ආර්ථික රටාවට එරෙහි වෙනවා වෙනුවට අනුර කුමාර දිසානායක අලුගෝසු භූමිකාවක් අතට ගන්නේ නම්, ඉල්ලා සිටින්නට ඇත්තේ එකම එක දෙයක් පමණි.

ගරු අලුගෝසුතුමනි! ප්ලීස් අපට නම් වෙඩි තියන්න එපා!  

Author

2 Comments

Comments are closed.

Related Posts