කෙටියෙන් ලියන නවකතා – ලියනගේ අමරකීර්ති

ලියනගේ අමරකීර්ති

ආර්ථික අර්බුදය ඇවිත් කඩදාසි ගණන් ගිය පසු මා මාස ගණනාවක් ගත කළේ කෙටි නවකතා හදාරමින්. එක් කෙටි නවකතාවක් ලියන්නත් පටන්ගත්තත් ඒක පසෙකින් තියල කැළලිකාරයෝ ඉවර කළා.

අර කෙටි නවකතා හදාරද්දී ආන්ද්‍රේ ෂීද්, හර්මන් හෙස, ජෝන් ස්ටයින්බෙක් වගේ අයගේ පොත් කියෙව්වා. ඒ සමහර පොත් පළමු වරට සමහර පොත් දෙවන වරට. ඔය පිටු සීයට ටිකක් වැඩි නවකතා ලියූ අය අතර මම කැමතිම රචකයා ස්ටයින් බෙක්.

කුන්දේරාගේ ජීවිතයේ අවසාන කාලෙ ලියපු නවකතාත් ඒ වගේ. කෙටියි. දාර්ශනිකයි. හැබැයි ඔහු හැටේ සහ හැත්තෑව දශකයේ ලියූ නවකතා එක්ක සසඳන්න බෑ.

අමරසේකරත් ඒ වගේ කෙටි නවකතා තුනක් ලිව්වා ඔහුගේ ලේඛක ජීවිතයේ මැද කාලෙ. පස්සෙත් එහෙම කෙටි ඒවා දෙකක් ලිව්වට ඒවා අර තරම් හොඳයි කියන්න බෑ.

ස්වර්ණ පුස්තක දිනපු පේත (ඉලයප්ආරච්චි) වුණත් හොඳ නවකතාවක් කියන්න බෑ. සිංහලෙන් ලියවුණ කෙටි නවකතා අතර තුංමංහන්දිය තමයි මගෙ කැමතිම එක. අත්සන සහ පෙත්සම නරක නෑ.

මේ ඡායාරූපයේ එන කෙටිනවකතා හතරම පසුගිය දවස්වල කියෙව්වා. ඒවා ගැන සෞන්දර්ය විනිශ්චමය විචාරයක් කරන්න කැමති නෑ.

නමුත් ඒ පොත් හතරම කියෙව්වම ජයතිලක කම්මැල්ලවීරගේ රංගනා (පිටු 140යි) ඒ අතර හොඳම එක කියල පහසුවෙන් කියන්න පුළුවන්. මෑතකදි කෙටි නවකතාව කියන උපශානරය හොඳටම භාවිත කරල තියෙන්නෙ කම්මැල්ලවීර වෙන්න පුළුවන්. ඔහු දක්ෂ ලේඛකයෙකුවීම ඒකට එක හේතුවක්. රංගනා නවකතාවෙ ප්‍රධාන චරිතය වන තරුණ නිළියගෙ චරිතය ඔස්සෙ විසි එක් වෙනි සියවසේදීවත් තරමක් වෙනස් ආකාරයක විවාහ සංස්ථාවක් හොයන නිදහස්කාමී පරම්පරාවක කතාව කියවෙන්නෙ මානුෂීය ගැඹුරකුත් එක්ක.

මේ කෙටිනවකතා හතරම ස්ත්‍රිය හා මනුෂ්‍ය ලිංගිකත්වය ගවේෂණය කරනවා කියන්න පුළුවන්.

පාලික ලොකුපෝතාගමගෙ ආදර කුටිය ඔහුගෙ පළවෙනි නවකතාව. මේක තරමක් දිග වුණත් ඒක කෙටි නවකතාවකට සමීප වෙන්නෙ පිටු ගාණෙන් නෙමෙයි එක් තනි සිද්ධියක් වගේ කේන්ද්‍රගතවීම අතින්. අමරසේකරගෙ අසත්‍ය කතාවක් හා ප්‍රේමයේ සත්‍ය කතාව වීරසූරිය ඝාතනය වටේ කේන්ද්‍රගත වෙනවා වගේ.

අපේ රට කියන්නෙ දරුවන්ගෙ අධ්‍යාපනයට අමතරව ඔවුන්ගේ විවාහ උත්සවවලට පුදුම වියදමක් දරන රටක්. අපි පුදුම විදිහය ඒ ගැන කරදර වෙනවා. විවාහය නමැති සංස්ථාව එක්තරා අධිනිශ්චය වීමකුත් තියෙනවා.

ඒත් අපේ සමාජයේ ‘ආදර කුටි’ කුලියට දෙන තැන් කෙළවරක් නැතුව තියෙනවා. “රූම්ස් ” කියල ගහපු බෝඩ් වැහි වැහැලා.

ඒ කියන්නෙ අර මගුල් පෝරු, අෂ්ටක මෙන්ම ප්‍රිෂූට් විඩියෝ ආදියෙන් සැදුණ විවාහ උත්සව ධනවාදායට සමාන්තරව ලිංගික සේවා ධනවාදයත් තියෙනවා. ඒවා එළිපිටව පවතිනවා.

අපේ තරුණ පරම්පරාව විවාහ මංගල ධනවාදයට පුදුම විදිහට අහුවෙලා ඉන්න බව පේනවා. ඒ වගේ අර ලිංගික සේවා ධනවාදයටත් ඒ තරමටම අහුවෙලා නැත්නම් රූම්ස් සහ ස්පා කර්මාන්තය මෙච්චර පැතිරෙයිද? දෙවැන්නේ පැවැත්මට පළමු වැන්නේ පැවැත්මත් හේතුවක්ද?

ලොකුපෝතාගමගේ නවකතාව රූම් යන ආදරවන්ත පිරිසකගේ ජීවිත ගවේෂණය කරන්නේ රහස් පරීක්ෂක නවකතාවක ස්වරූපය ගත් කෙටි නවකතාවකින්. නවකතාව නම් කලාව පිළිබඳ ආධුනික බව පෙනුණත් පළවෙනි නවකතාව විදියට මේක අගේ කළ හැකියි.

කවුරුවත් කිසිවක් නොලිව්ව ඒ පොත ගැන මොනව හරි ලියල ඔහු දිරිගන්වන්න ඕනෙ. ඔහු කලාව නම් අඩවිය තෝරාගෙන ඒකත් එක්ක ගමට වෙලා හැප්පෙන කෙනෙක්.

සාලිය කුලරත්නගේ මකර හීනය නවකතාවත් කෙටියි. ඔහුගෙ නවකතාවත් ආඛ්‍යානමය නවකතාවකට වඩා අර්ධ රචනාමය නවකතාවක් වගේ. අද්භූත් ස්ත්‍රී චිත්තය විදාරණය කරන්න ඔහු තැත් කරනවා. කුලරත්න ඔහුගේ ප්‍රබන්ධ කථාවලින් කැරකෙන්නේ ඔහු හොඳින් දන්නා විශ්වවිද්‍යාල පරිසරය තුළ. එහි වසන ආචාර්ය ශිෂ්‍ය ස්ත්‍රී පුරුෂයන් අතර පවත්නා ආදර ලිංගික සම්බන්ධතා කුලරත්න විසින් ගවේෂණය කෙරෙන්නේ මනුෂ්‍ය පැවැත්මේ සංකීර්ණය අඩවිය මනෝ ලිංගික අඩවිය කියන විශ්වාසය ඇතිව. මෙය ලිංගික ප්‍රීතිය එක්තරා ගූඪත්වයකට නැංවීමක් බවත් කියන්න පුළුවන්. ඒ අද්භූත අඩවිය ගවේෂණයෙදි පුරාණෝක්ති, යාං හෑලි, මනෝ විශ්ලේෂණ ආදිය ඔහු රචනය වෙත කැඳවනවා. මකර හීනය නම් නවකතාවේ නමින්ම ඒක පේනවා. ඔහුගෙ නවකතාවෙ ආඛ්‍යානමය පැත්තට වඩා ප්‍රධානත්වය ගන්නෙ රචනාමය පැත්ත. විශ්වවිද්‍යාල අඩවියේ ඉන්න චරිතවලට ඔහු යොදන නම් පවා සංකේතාර්ථ සහිතයි. මෝදිනි නැණමිලින. ‘නැණමිලින’ හෙවත් ඥානය මිලාන වී ගිය අය. පොත ගැන වැඩිය ලියලා මමත් නැණමිලින කෙනෙක් වගේ පෙනෙයි කියල බයත් හිතෙනවා!!

වැඩිහිටි පිරිමියා තරුණ ස්ත්‍රී ශරීරය වෙත දක්වන ආසාව. තරුණ ස්ත්‍රිය වැඩිහිටි පිරිමියාගේ හෙවණැල්ලේ සිටින්නට දක්වන ආසාව ආදී තේමා ගවේෂණය කරන මේ නවකතාවේ ඇතැම් නිරූපණ ස්ත්‍රී විමුක්ති දෘෂ්ටිකෝණයෙන් බලන කල විවාදාත්මක වෙන්නත් පුළුවන්.

ඔහු නවකතා පහක් හයක් ලියා තිබෙන ප්‍රවීණ කෙනෙක් වුණත් විචාරක අවධානය අඩුයි.

සත්‍යපාල ගල්කැටියගේ දෙවොල් බිම දෙදරයි තවත් කෙටි නවකතාවක්. ඒක ඔහුගෙ පළමු නවකතාව. එයත් කතාකීමේ කලාවට වඩා අදහස් සංවාදයට ලක් කිරීමට මූලිකත්වය දෙනවා. ඒ නිසා රචනාමය ස්වභාවයක් ගන්නවා. නවකතාව පුරාම නොයෙක් ආකාරයේ අදහස් ප්‍රධාන චරිත දෙක අතර සංවාදයට එක් වෙනවා. සමහර අදහස් චරිත දෙකෙහි ජීවිතය තුළින්ම මතු වෙනවාට වඩා පිටින් එන බවක් පේනවා. ග්‍රාමීය පසුබිමකින් එන කථක පිරිමියා කොළඹ හතේ ඉන්දිරා නම් ප්‍රභූ ස්ත්‍රියට පෙම් කරනවා. ඉන්දිරා කියන කොට අමරසේකරගේ ප්‍රේමයේ සත්‍ය කතාව මතක් වෙන්න පුළුවන්. ඒක කතුවරයා සවිඥානකව තරන අන්තර්පඨිතමය දෙයක් වෙන්නත් පුළුවන්. ප්‍රේමානිසංස වැනි මෑත කාලීන නවකතාවකුත් කෙනෙකුට මතක් වෙන්න පුළුවන්. ඉන්දිරා සත්‍යයේ ගීතය ප්‍රසංගයේ අත්වැල් ගායිකාවක් වූ නිසා සුනිලා අබේසේකර වගේ කෙනෙක් යම් පාඨකයෙකුට සිහිවෙන්නත් පුළුවන්. පිටු 94ක මේ නවකතාවේ එන සිද්ධි චරිත අවස්ථා ආදිය තුළ ආකර්ෂණීය තැන් තියෙනවා. ඒ සියල්ල නවකතාවක් ලෙස හරියට කැටි ගැසෙනවාද යන්න කල්පනා කරන්න ඕනෙ දෙයක්.

එහි ඇතැම් තැන රචනාමය වශයෙනුත් ආඛ්‍යානමය වශයෙනුත් දීප්තිය පෙන්වනවා. ඒ දීප්තිමත් තැන් දීප්තිමත් ආඛ්‍යානමය සමස්තයක් ගොඩනගන්න දායක නොවෙන්නෙ ඇයි? සෝදුපත් කියවීමේ අඩුපාඩු නිසා පොතට පාඩු වූ තැනුත් තියෙනවා.

කම්මැල්ලවීරගෙ රංගනා ඒ අතින් ආඛ්‍යාන රචකයෙකුගේ ශූරකම පෙන්වනවා. ලොකුපෝතාගමටත් ආකර්ෂණීය ලෙස කතාවක් කීමේ හැකියාව තියෙනවා.

ඇගේ ඇස අග ස්වරූපයේ ශිෂ්‍ය-මහාචාර්ය ප්‍රේමයකින් නාට්‍යමය ලෙස ඇරඹෙන මෙම කතාව ලිංගිකත්වය, ආදරය හා වෘත්තිය වැනි ක්ෂේත්‍රවලදී රැඩිකල් ලෙස ඉදිරිගාමී නව ස්ත්‍රිය වෙත ආධ්‍යාත්මික බරක් එකතු කරනවා. අර ක්ෂේත්‍රවල ඇය පෙන්වන අසම්මත චර්යා නිසා ඇයට මනුෂ්‍යත්වය අහිමි නොකළ යුතු බව පෙන්වා දෙනවා. හොඳ ජාතක කතාවක් හෝ උපමා කතාවක් කියෙව්වාක් වැනි හැඟීමක් කෙනෙකුට දැනෙන්න පුළුවන්. තේමාව හා ඒ තේමාව අඛ්‍යානමය වශයෙන් කළමනාකරණය කිරීම අතින් කෙටි නවකතාව නම් උපශානරයට හොඳම නිදර්ශනය එය බව හිතෙනවා.

ප.ලි.:

මේ පොත් හතර ගැන අමතර නිරීක්ෂණයක් මේ. ඒ අපේ රටේ පොත් මිල කිරීමේ ඇති අසංගතභාවය ගැන.

මේ බලන්න:

ආදර කුටිය (2021) පිටු 188. මිල: 400යි

දෙවොල් බ්ම දෙදරයි (2024) පිටු 94. මිල: 350යි

රංගනා (2024) පිටු140. මිල: 600යි

මකර හීනය (2024) පිටු 99. මිල: 950යි

(අමරකීර්ති මහතාගේ ෆේස්බුක් පිටුවේ පළ වූවකි.)

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading